
ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර තානාපති සබඳතා ගොඩනැඟී වසර 70ක් සපිරෙන ඓතිහාසික මොහොතෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට නිල සංචාරයක නිරත වීම ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව මහත් අභිමානයට ලක් කරන්නක් විය.
ජනපතිට ඉහළ පිළිගැනීමක්
සිය ඕස්ට්‍රේලියානු රාජ්‍ය සංචාරය ආරම්භ කරමින් 24 දා උදෑසන කැන්බරා අන්තර්ජාතික ගුවන් තොටුපළෙන් කැන්ගරු දේශයට පා තැබූ ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ එරට අධ්‍යාපන ඇමැති මෙන්ම සෙෙනට් සභික සයිමන් බර්මින් හම් සහ අග්‍රාණ්ඩුකාරවරයා නියෝජනය කරමින් ඔහුගේ ලේකම් මාර්ක් ප්‍රෙසර් ඇතුළු රජයේ ඉහළපෙළේ රාජ්‍යතාන්ත්‍රිකයන් විසිනි.
ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් හමු වීමට නියමිතව තිබුණේ 25 දාය. එදින පෙරවරු 9.55ට පමණ ජනාධිපතිවරයා කැන්බරාවේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අවස්ථාවේ එහි ප්‍රධාන දොරටුව අබියසට ගිය ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා එම ස්ථානයේදී ජනාධිපතිවරයා මහත් සුහදශීලීව පිළිගත්තේය. එරට අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් අතර සාකච්ඡාව පැවැත්වුණේ අගමැති කාර්යාලයේදීය.
ඔස්ට්‍රේලියානු අගමැතිට ඇරියුමක්
එහිදී ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා කළ ආරාධනය එකහෙළා පිළිගත් ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා ඉතා ඉත්මනින් ඒ සඳහා දිනයක් යොදාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන බව කියා සිටියේය. එම සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලාංකික නියෝජිතයන් හා ඕස්ට්‍රේලියානු නියෝජිතයන් අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා ආරම්භ වූ අතර, එම සාකච්ඡාවලින් අනතුරුව ගිවිසුම් කිහිපයක් අස්සන් කිරීම සිදු කෙරිණි.
මේ ගිවිසුම් අස්සන් කිරීමේදී ශ්‍රී ලංකාවේ රජරට ඇතුළු ප්‍රදේශ ගණනාවක පැතිර තිබෙන වකුගඩු රෝග නිවාරණය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වා තිබිණි. එය ජනාධිපතිවරයා ජාතික කර්තව්‍යයක් ලෙස සලකා වකුගඩු නිවාරණ වැඩසටහන ක්‍රියාවට නංවා තිබීම නිසාම විය හැකිය.
ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය, වෙළෙඳ, ආයෝජන ක්‍රියාවලිය යාවත්කාලීන කිරීම සඳහාත් නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට ඕස්ට්‍රේලියානු අගමැතිවරයා කැමැත්ත පළ කර තිබේ. රට විටින් විට මුහුණපාන බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස බලශක්ති රඳවා තබාගැනීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු කරන බවත් ටර්න්බුල් මහතා ප්‍රකාශ කර ඇත. එමෙන්ම සංචාරක ව්‍යාපාරය තවදුරටත් දියුණු කරමින් එම ව්‍යාපාරය තුළ රැකියා කරන අයට නිපුණතා වර්ධනයට අවශ්‍ය සහන සලසාදීමටද අගමැතිවරයා එකඟතාව පළ කර ඇත.
ශ්‍රී ලංකාව හරහා මත්ද්‍රව්‍ය ප්‍රවහනය වැනි නීතිවිරෝධි ක්‍රියා වළක්වාලීම සඳහා ඕස්ට්‍රේලියාවේ සහාය අවශ්‍ය වන බව ජනාධිපතිවරයා පෙන්වා දීමෙන් පසු ශ්‍රී ලංකා මුහුදු තීරය හරහා සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ප්‍රවහනය වැනි නීතිවිරෝධි ක්‍රියා වළක්වාලීමට අවශ්‍ය තාක්ෂණික හා නාවික පුහුණුව ලබාදීමටද ඕස්ට්‍රේලියානු අගමැතිවරයා එකඟත්වය පළ කර තිබේ. මේ අතර ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ඇති ස්ථාන ගවේෂණය කර, එහි උපරිම ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට ලබාදීමටත් ගෑස් නිධි සෙවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට උපරිම සහාය ලබාදීමටත් අගමැතිවරයා එකඟත්වය පළ කර තිබේ. මීට අමතරව කෘෂිකර්මාන්තයේ දියුණුවට අවශ්‍ය තාක්ෂණික ආධාර ලබාදීමටත් ඕස්ට්‍රේලියානු රජය එකඟ වීම ශ්‍රී ලංකාව ලද භාග්‍යයකි.
කැන්බරා උයනට පැළයක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය රාජ්‍ය සංචාරය ආරම්භ කරමින් ඕස්ට්‍රේලියාවට පැමිණි විගස මුලින්ම සිදු කළේ කැන්බරා ජාතික වනෝද්‍යානයේ පැළයක් සිටුවීමය.
මේ උද්‍යානය කාලයක් දැවැන්ත වනාන්තරයක් වුවද එය ළැව් ගින්නකින් විනාශ වී ඇත. එයින් පසු කැන්බරා ප්‍රාන්ත රජය එම වනාන්තරය නැවත ගොඩනැගීම සඳහා මේ වන විටත් ගස් 44000ක් වගා කොට තිබේ. එහි වනෝද්‍යාන කොටසෙහි විශේෂ ආරාධනාවකින් ඔස්ට්‍රේලියාවේ සංචාරය කරන රාජ්‍ය නායකයන් අතින් පැළ සිටුවීමට පියවර ගෙන තිබේ.
කැන්ගරුදේශයන් ගෙනෙන වාසි
එසේම 1954 වසරින් පසු ඕස්ට්‍රේලියානු රජය විසින් රාජ්‍ය සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකුට කියා ආරාධනා කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටය. ඒ, මුළු ලොකයේම දැඩි විවේචනයටත් කොන් කිරීමටත් ලක්ව තිබු රටක් බාර ගෙන, ජනතාවට සියලු අතින් නිදහසේ ජීවත් විය හැකි රටක් ගොඩනගා දීමට ගත් වෙහෙසට උපහාර දැක්වීමක් ලෙසිනි.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආරම්භ කරන ලද වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධක බළකායට ඩොලර් මිලියන 50ක ආධාරයක් ලබාදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉදිරිපත්ව සිටින බව එම රාජ්‍යය ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
මේ රෝගයෙන් ගොදුරු වන අහිංසක ජීවිත බේරාගැනීමට ජනාධිපතිවරයා පෞද්ගලිකවත් වෙහෙසුණු බව අපි දනිමු. මෙම ඕස්ට්‍රේලියානු සංචාරයේදීත් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් වෙනම ගිවිසුමකටද එළඹුණේ එබැවිනි.
එය තවදුරටත් ප්‍රායෝගිකත්වයට ගෙන යමින් ඔහු ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික තාක්ෂණ පර්යේෂණ ආතනය නැරඹීමට සිකුරාදා උදෑසන ගියේය. වකුගඩු රෝග නිවාරණ ඔසු මෙන්ම පිළිකා නිවාරණ ඖෂධ ගණනාවක්ද මේ ආයතනය මඟින් නිෂ්පාදනය කරනු ලබයි.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට
ටී. චන්ද්‍රසේකර
ඡායාරූප - සුදත් සිල්වා