අනුරපුර මැද දිදුලන කිරි සයුරේ පෙණබුබුළ | Page 2 | සිළුමිණ

අනුරපුර මැද දිදුලන කිරි සයුරේ පෙණබුබුළ

 අනුරපුරයට වෙසක් සිරිය පටන්ගත්තේ බක් මහේ සිටය. ඒ රත්නමාලි මහා සෑ රදුන් සුණු පිරියම් කිරීම සඳහා සැරසෙනවාත් සමඟය. නව වසරේ නැකැත් අහවර වනවාත් සමඟ අප්‍රේල් 20 වැනිදා පරණ හුනු සීරීම ඇරැඹූ බව අපට කීවේ එහි ප්‍රධාන පින්තාරුකරු වන සම්පත් තුමාර‍ගේ මහතාය.

"ජය සිරි මහ බෝ සමිඳුන්ට බාර හාර වෙලා තමයි අපි සාම්ප්‍රදායිකව මේ පින් කටයුත්ත අරඹන්නේ. වෙසක් පෝයට පිරියම් කටයුතු අවසන් වුණාට පස්සේ බාර ඔප්පු කළා..."

පියාගෙන් පුතාට උරුම වූ මේ පුණ්‍ය ක‍ටයුත්ත සම්පත් කරන්නේ මහත් ගෞරවයෙනි. වට අඩි 942ක් සහ උස අඩි 338ක් වූ බුබ්බුලාකාර හැඩැති මහාසෑයේ පිරියම් කටයුතු සඳහා ඔවුන් බොහෝ කලක් පුරා යොදා ගන්නා හුනු මාත්තුවක්වද වෙයි.

"සෑබ‍ඳ පිරියම් කරන්න හුනු ටොන් 10ක්, ලුණු මි‍ටි 20ක්, නිල් කිලෝ 150ක්, සීනි මිටි 2ක් සහ සව් හාල් මිටි 2ක් ඕනෑ‍. ඉණිමංවලට උණ ගස් 650ක්, කොහු ලණු ටොන් 1ක්, අඟල් දෙකහමාරේ ලොකු කිත්තං කඹ මීටර් 110ක් සහ ඉණිමං එල්ලන්න ඒ කඹ තව මීටර 300ක් පමණ ඕනෑ කරනවා. පලංචිවලට වඩා මේ ක්‍රමය වියදම අතිනුත් අඩුයි, කිසිම සීරීමක් සෑබඳට සිදු වන්නෙත් නෑ..."

මෑත ඉතිහාසයේ රුවන්මැලි සෑ‍ය සුනු පිිරියම් කිරීම ඇරැඹුණේ 1940 ජුනි 10 වැනි දින නාරංඕවිට සුමනසාර තෙරුන්ගේ මැදිහත් වීමෙන් ස්තූපයට යළි කොත් පැළඳවීමත් සමඟය. ක්‍රිස්තු පූර්ව 140 සිට මේ දක්ව‍ා විවිධ සතුරු උවදුරු මැදහත් සිතින් උසුලා ගෙන නොසැලී සිටි මහා සෑ රදුන් අපේ බෞද්ධ උරුමය මෙන්ම අපේ නිර්මාණ ශිල්පීන්ගේ හැකියාව ලොවට කියා පාන මහඟු නිර්මාණයකි.

දුටුගැමුණු රජු විසින් මේ මහාථූපය නිමවන බවට රන්පතක් මත අනාවැකි පළ කර තිබුණේ ඊට වසර 130කට පෙර රජ කළ දේවානම්පිය තිස්ස රජුය. එළාර පරදා රට එක්සේසත් කිරීමේ මහා යුදයට මුහුණ දුන් ජනතාව පෙළා මෙවන් විශාල ස්තූපයක් ඉදි කිරීමට සම්පත් සොයාගන්නේ කෙසේදැයි සිතමින් නින්දට ගිය ගැමුණු රජුගේ සිතිවිලි දෙවිවරුන් විසින් ශක්‍ර දිව්‍ය රාජය‍ා වෙත දන්වන ලදුව අනුරාධ පුරයේ විවිධ දිශාවලින් මිණි, මුතු, රන් මෙන්ම ගඩොළු ආදිය මතු වූ බව වංශකථාවල සඳහන් වේ.

මෙවර සුනු පිරියම් කටයුත්තද එ් ඉතිහාස කතාව යළි සිහි ගන්වන්නේයැයි වරෙක සිතේ. මේ කටයුත්තට මෙවර බරපැන දැරුවේ ලක්ෂ සිය ගණනක මැණික් හමුු වූ ව්‍යාපාරික පවුලකින් වීම නිසාය. ඔවුන් පිළිබඳ තොරතුරු අප දැනගත්තේ රුවන්පුරය නියෝජනය කරන ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතාගෙනි. රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකු මෙවැනි ආගමික කටයුත්තක් වෙනුවෙන් භක්තියෙන් කැප වීම පිළිබඳ මෙන්ම දහස් ගණන් බැතිමතුන්ට රුවන්මැලි සෑය සතුටින් වැඳපුදාගැනීමට හැකි වීම ගැන ඔහුට බොහෝ පහන් සිත් පහළ වුණු බව ඒ අවස්ථාවේ පැවසුවේය. කහවත්ත, නීලගම මැණික් පතල් ව්‍යාපාරික එන්එල් ආරියපාල (රාජා) මහතා සහ ඔහුගේ බිරිඳ කේඩී රාණී ඥානලතා යුවළට 2011-2012 වසරවල මැණික් ඉල්ලම් රැසක් පහළ වී තිබේ. ඒ කතාව අපට කීවේ ආරියපාල මහතාය.

"අපේ ගමේ පන්සල මොරතොට ශ්‍රී බෝධිරුක්ඛාරාමය. පොඩි පන්සලක්. පුංචි චෛත්‍යයකුත් තිබුණා. ඒක කවුරුහරි කඩලා දාලා. විහාරාධිපති හාමුදුරුවන් මුණගැහිලා චෛත්‍යය හදන්නද කියලා ඇහුවාම කීවා ඒක හැදුවේ නීලගම පැත්තේ දායක මහත්මයෙක් නිසා ඔහුගෙන් අහලම පිළිසකර කරන්න කියලා. පස්සේ මම ඒ මහත්මයා හමු වෙලා අවසර අරගෙන චෛත්‍යය හැදුවා. ඒ කාලේ අපි ඒ පන්සල ගාව කුඹුරක තමයි පතල් කණිමින් සිටියේ. ඒ පතලෙන් අපට ලක්ෂ 500ක මැණික් ඉල්ලමක් මතු වුණා. ඒ වගේම 2011 ලක්ෂ 330ක මැණිකක් හමු වී තිබුණා. ඒ සියල්ල අපි අලෙවි කළේ මැණික් සංස්ථාව මඟින්.

"පතල් කර්මාන්තේ යෙදෙන අය එ් විදිහට මැණික් ලැබුණාම පිනට කියලා සියයට ගණනක් වෙන් කරනවා. ඒ වෙන් කළ මුදල මගේ බිරිය බැංකුවක තැන්පත් කළා. ඒ අතර අපි අනුරාධපුර පොලොන්නරුව චාරිකාවක් ගියා. ඒ වෙලාවේ රාණි කීවා නායක හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන සුනු පිරියම් කරන්න අවස්ථාවක් ලබාගමු කියලා. ඒ කාලේ ලක්ෂ 55ක වගේ මුදලක් තමයි ඒ සඳහා ඇස්තමේන්තු කර තිබුණේ. ඒත් වසර කීපයකට සුනු පිරියම් සඳහා කීපදෙනෙක් අවසර ගෙන තිබුණා. ඉතින් අපේ අවස්ථාව ලැබුණේ මේ වසරේදියි. මේ පින්කම කරන්න කතාබහ ඇති කරගනිද්දී අපේ ගමේ පන්සලේ නායක හැමුදුරුවෝ- බෝපිටිය ආනන්ද ස්වාමීන් වහන්සේ, හුනුවල පන්සලේ සුනන්ද ස්වාමීන් වහන්සේ, මුත්තෙට්ටුපොළ සෝමානන්ද හිමියන්, සංඛපාල, මල්වැස්සාව හා කහවත්ත සේමින්ද විහාරස්ථානාධිපතිවරුන්ගේ වගේම ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ ආශීර්වාදය හා උපදෙස් අපට බොහෝම වැදගත් වුණා."

මේ සැදැහැවතුන් පිළිබඳවත් සෑ රදුන්ගේ සුනු පිරියම් කටයුතු පිළිබඳවත් අපට පැහැදිලි කර දුන්නේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේය.

"ශ්‍රද්ධා සම්පන්න බෞද්ධ පින්වතුන්ගේ බොහෝ කැමැත්තක් තිබෙනවා මේ පුණ්‍යකර්මයට සහභාගි වෙන්න. මේ වර සුනු පිරියමට ලක්ෂ 75ක පමණ මුදලක් වියදම් වුණා. එය මේ කාලේ හැටියට ඉතා විශාල මුදලක්. ඒත් දානපතියන් මේ සඳහා සතුටින් ඉදිරිපත් වෙනවා. අරියපාල මහත්මිය පොරොත්තු ලේඛනයේ සෑහෙන කලක් හිටියා වගේම ඉදිරි අවුරුදු 10කට මේ කටයුත්ත සඳහා ලියාපදිංචි වුණු පිරිස ඉන්නවා. ශ්‍රද්ධාවන්ත තවත් දායක පිරිස් මේ වරත් පින්කමට දායක වෙන්න ඇහුවාට ආරියපාල මහත්මිය කීවේ මෙය තමන්ගේ වියදමින් පමණක් කිරීමට ඔවුන්ගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා කියලයි. 2000 වසරේ සිට අවුරුදු පතා මේ කටයුත්ත කරන්නේ වැස්ස වැටෙන ආකාරයත් සමඟයි. මේ වර වැස්ස අඩු වීම නිසා පුරුදු කාලයට පටන්ගන්න බැරි වුණත් අපට වෙසක් පෝය වන විට කටයුතු අවසන් කරගන්න හැකි වුණා. සම්පත් බාසුන්නැහේ ඇතුළු පිරිසත් මෙය මුදලට වඩා කැප වීම මුල් කරගෙන බොහොම ගෞරවයෙන් ඉටු කරන්නේ. උෂ්ණත්වය අංශක 35-36 මට්ටමේ තිබියදීත් ඔවුන් සුනු පිරියම් කටයුතු ඉතා හොඳින් කරගෙන ගියා. රත්නත්‍රයේ ආශීර්වාදයෙන් මේ ‍වන තුරු මෙතරම් උසක අපහසු කටයුත්තක් කළ කිසිම කෙනකුට කිසිම කරදරයක් ඇති වෙලා නෑ. මේ මාසේ 27 සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනයකින් පස්සේ 28 වැනිදා තිස් නමකට අධික මහා සංඝරත්නයට දානමය පුණ්‍යකර්මය සිදු කර මේ පින්කම නිමා කරනවා."

දුටුගැමුණු යුගයේද රුවන්මැලි සෑ රජුන්ගේ මඟුල් රන්ගල් තැබීම් ආදිය සිදු වී ඇත්තේ මෙසේ මහසඟරුවන පිරිවරා සැදැහැවතුන්ගේ රැස් වීමෙනි. ඒ යුගයේ නුවරම සැරසිලි කොට පැමිණෙන්නන්ට ඇඳුම්, ආහාරපානාදිය සැපැයීම පමණක් නොව, පිරිසුදුව පින්කමට සහභාගී වීම සඳහා වාසල් දොරටු අසල කරනැවෑමීන් යොදා දැළිරවුළු පවා බෑවූ බව මහාවංශයේ සදහන් වේ. රජුගේ අණ වී තිබුණේ කිසිවකුත් ‍නොමිලේ සේවය නොකළ යුතු බවය.

මේ සියල්ල කළ මුත් දුටුගැමුණු රජු මහාසෑය නිමා කරන්නට පෙර කාලක්‍රියා කළේය. ඊට පෙර සොහොයුරු සද්ධාතිස්ස අමතා සත්කම් හා සුණුකම් ආදි නොනිමි කර්මාන්ත නිම කරන ලෙස ඉල්ලීමක් කර තිබිණි. ඒ සියල්ල රජු දක්නට ඇත්තේ තුසිත දෙව්ලොව සිටයැයි වැසියන්ගේ විශ්වාසයයි. එදා මෙන්ම අදත් කිරි සයුරෙන් මතු වූ පෙණ බුබුළක් බඳු බුබ්බුලාකාර ස්වර්ණමාලී මහසෑරදුන් සුනු පිරියමින් පසු සුදෝ සුදට බබළමින් අනුරපුරය ආලෝකවත් කරන අපූරුව බොදු ජනයාට අැති කරන්නේ මහත් බුද්ධාලම්භන ප්‍රීතියකි.

අරුණි මුතුමලී
සේයාරූ - සුදම් ගුණසිංහ

Comments