බ්‍රිතාන්‍යය සසල කළ මැන්චෙස්ටර් ප්‍රහාරය | සිළුමිණ

බ්‍රිතාන්‍යය සසල කළ මැන්චෙස්ටර් ප්‍රහාරය

 බෝම්බයට සිතක් පපුවක් නැත. ඒ එය අජීවී දෙයක් වන බැවිනි. බෝම්බය තබන ත්‍රස්තවාදියාට ද අනුකම්පාවක් නැත. ඒ ඔහු මනුෂ්‍යයකු වුවත් මැරුණු සිතැත්තෙක් වන බැවිනි. ත්‍රස්තවාදය යනු කොතරම් භයංකර දෙයක් ද යන්න පිළිබඳව ශ්‍රී ලාංකේය අපට ඇත්තේ මනා අත්දැකීමකි. ඒ කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ඝාතන රැසකට වසර තිහක කාලයක් තිස්සේ මේ රටේ අහිංසක පුරවැසියන් වූ අප දහස් ගණනක් ලක්වූ නිසාවෙනි.

මේ නිසා රුදුරු ත්‍රස්තවාදයේ බිහිසුණු බවත්, එයින් මිදුණු පසු ලැබෙන මානසික, ශාරීරික සුවයත් පිළිබඳව අත්දැකීමත් අපට මිස ලොව වෙත කිසිදු රටකට ඇතැයි සිතිය නොහැකිය.

ත්‍රස්තවාදියාට සිතක් පපුවක් නැත. මේ නිසා ත්‍රස්තවාදයට තැනක් නොතැනක් නැත. ත්‍රස්තවාදී ක්‍රියාවක් ලොව කොතැනක සිදු වූවත් එයින් සිදුවන විනාශය එකය. ලැබෙන ප්‍රතිඵල එකමය.

මේ නිසා ත්‍රස්තවාදය මේ ලොවෙන් අතුගා තුරන් කර දැමිය යුතු බවට විවාදයක් නැත. එහෙත් සමහර බටහිර ජාතීන් ඇතුළු ලොව රටවල් ගණනාවක්ම අපේ රටත්, අපේ හමුදාවත් වෙත යුද අපරාධ චෝදනා එල්ල කරමින් චෝදනා කරන්නේ එල්ටීටීඊ ත්‍රස්තවාදී නායකයින් විනාශ කර දැමීම වැරැදි බව කියන්නට මෙනි. එහෙත්, ත්‍රස්තවාදය විනාශ කර දැමිය යුතුය යන්න සාමය අගයන කාගේත් යුතුකමය. මේ සටහන එලෙස ආරම්භ කළේ අපේ රටේ සිදුවුණු ත්‍රස්ත ක්‍රියා පිළිබඳව පවසන්නට නොව, පසුගිය සඳුදා (22) බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නුවර ‘මැන්චෙස්ටර් අරීනා’ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති දැවැන්ත සංගීත ප්‍රසංගයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳ ඇතිවුණු කම්පනය නිසාවෙනි.

ජනප්‍රිය පොප් ගායිකා අරියානා ග්‍රාන්දේ සහභාගි වූ දැවැන්ත සංගීත ප්‍රසංගයේ අවසානයේදී මෙම බෝම්බය පුපුරා ගොස් තිබේ. බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 10.30ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් 22 දෙනෙකු මියගොස් 119කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. මේ අතරින් කීප දෙනකුගේම තත්ත්වය බරපතළ බවට වාර්තා වෙයි.

ඇමෙරිකානු ජාතික පොප් ගායිකාවක වන අරියානා ග්‍රාන්දේගේ රසිකයින් හිරිමල් යොවුන් වියේ පසුවන අය වන අතර පාසල් යන වයසේ දරුදැරියන් ද ඒ අතර වෙයි. මැන්චෙස්ටර් දුම්රිය පොළ ආසන්නයේ පිහිටා ඇති මෙම ක්‍රීඩාංගණයේ 21000ක පමණ පිරිසක් සඳහා ඉඩකඩ ඇති අතර, ප්‍රසංගයට ක්‍රීඩාංගණය පිරෙන්නට රසිකයින් රැස්ව සිට ඇත. අරියානා ග්‍රාන්දේ ගීත ගයා වේදිකාවෙන් නික්ම ගිය පසු පිරිස පිටවන අවස්ථාවේදී මෙම බෝම්බය පුපුරවන්නට ඇත්තේ වැඩි පිරිසක් ඉලක්ක කරගෙන බව මේ පිළිබඳ පරීක්ෂා කරන පොලීසිය පවසයි. මෙම ප්‍රහාරයේ වගකීම අයිඑස්අයිඑස් (ඉස්ලාමීය ස්ටේට් ත්‍රස්ත කණ්ඩායම) විසින් බාරගෙන ඇති අතර මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර ඇත්තේ සල්මාන් අබේදි නමැති තරුණයකු බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ හඳුනාගෙන ඇත.

අබේදි 22 හැවිරිදි තරුණයකු වන අතර 1994 මැන්චෙස්ටර්හිදී උපත ලැබූවෙකි. ඔවුන්ගේ මවුපියන් ලිබියානු ජාතිකයන් වන අතර බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූවන්ය. අබේදි පවුලේ දෙවැනියා වෙයි.

අබේදි කීප වරක් ලිබියාවට ගොස් ආපසු පැමිණ ඇති බවට තොරතුරු හෙළිකර ගෙන ඇති අතර එහිදී ඔහු මෙවැනි ප්‍රහාර සඳහා පුහුණුව ලබන්න ඇති බව ආරක්ෂක අංශ සැක කරයි.

මෙම ප්‍රහාරය සඳහා යොදාගන්නා ලද බෝම්බය සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලින් පසු හෙළිකරගෙන ඇති තොරතුරුවලට අනුව එම බෝම්බය තරමක සංකීර්ණ තාක්ෂණයකින් යුතු එකක් බව ආරක්ෂක අංශවල නිගමනයයි. මෙවැනි බෝම්බයක් නිපදවීමට සහ ක්‍රියාත්මක කිරීමට කිසියම් විශේෂඥ දැනුමක් සහ මනා පුහුණුවක් අවශ්‍ය බවට විශ්වාස කරන බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ අබේදිගේ මෙම ප්‍රහාරය කිසියම් සංවිධානාත්මකව කළ එකක් බවට විශ්වාස කරයි. මේ නිසා ඉදිරියේදී තවත් මෙවැනි ප්‍රහාර එල්ල විය හැකි යැයි සැක පළ කරන ආරක්ෂක අංශ රට තුළ අවදානම් මට්ටම ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. විශේෂයෙන් ජූනි 8 වැනිදා බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබීම ඊට හේතුවයි. මේ නිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල හා බකිංහැම් මාලිගය අවට හමුදා රැකවල් තර කර තිබේ. මේ අතර අබේදිට මෙම ප්‍රහාරය සඳහා සහාය දුන් බවට සැක කරන හත් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සමත් වී තිබේ. මෙම මැන්චෙස්ටර් ප්‍රහාරය වසර 12කට පසු එල්ල වූ දරුණුම ප්‍රහාරය ලෙස සැලැකෙයි.

මීට පෙර මෙවැනි ප්‍රහාරයක් එල්ල වූයේ 2005 වසරේදී වන අතර, එහිදී 52ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ත්‍රස්තවාදයට ලොවේ කිසිම රටක ක්‍රියාත්මක වීමට ඉඩ නොතැබීමට වග බලා ගැනීම ලෝක බලවතුන්ගේ වගකීම විය යුතුය. මේ නිසා ඉදිරියේදී මෙවැනි ක්‍රියා වැළැක්වීමට බ්‍රිතාන්‍ය හැකි සෑම පියවරක්ම ගන්නවා නිසැකය. ඒ සංක්‍රමණිකයන් අතර සැඟවී අයිඑස්අයිඑස් වැනි ත්‍රස්තවාදී කණ්ඩායම්වල සටන්කාමීන් රට තුළට පිවිසෙන බවට ඇතැමුන් විශ්වාස කරන නිසාය.

විශේෂයෙන් බ්‍රිතාන්‍යයට ඇතුළු වන සංක්‍රමණිකයන් සීමා කිරීමට බ්‍රිතාන්‍ය අගමැතිනිය කටයුතු කරනු ඇත. මේ සඳහා බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේගේ කොන්සවේටිව් පක්ෂයට ඉදිරි මහා මැතිවරණයේදී වැඩි බලයක් හිමිකර දීමට එරට වැසියන් උනන්දු වනු ඇත.

ඉඳුනිල් වීරරත්න 

Comments