සෝද සෝදා මඩේම ඔබන ලාංකේය නෙට්බෝල් ක්‍රීඩාව | සිළුමිණ

සෝද සෝදා මඩේම ඔබන ලාංකේය නෙට්බෝල් ක්‍රීඩාව

අපි ලංකාවෙන් යනකොටත් නායකත්වය ගැන ප්‍රශ්න තිබුණා. දැනුවත් කරන්න ඕනෑ අයව දැනුවත් කළා. හුඟක් අය පරාජයට කැමැති වෙලා හිටියේ. මගේ නායකත්වය නිසයි ඔවුන් එහෙම කළේ.

කණ්ඩායමේ බෙදීමක් තිබුණා. අපි මුලින් එකමුතුව හිටියත්, එක එක බලපෑම් නිසා ඒවා යට ගිහින් නායකත්වය ගැන ගැටලු වගේම ගැටුම් මතුවුණා.

කණ්ඩායම තුළ තරගාවලිය ජය ගන්න ඕනා කියන පිරිසක් වගේම, පරාජය විය යුතුයි කියන පිරිසකුත් හිටියා.

මේ යොවුන් ආසියානු නෙට්බෝල් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා නදී ප්‍රනාන්දු මාධ්‍ය හමුවේ දක්වා තිබූ අදහස්ය. ආසියානු නෙට්බෝල් තරගාවලියට 2015 ශුරියන් ලෙස එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර එකෙන් හතරවැනි තැන දක්වා පසුබැස්සේය. ජයග්‍රහණය පොදිබැඳගෙන ගිය කණ්ඩායම අවසානයේ තරගාවලිය නිමා කළේ ප්‍රශ්න පත්‍රයක් නොව ගෝනියක් ඉතිරි කරමින් බව නදී ප්‍රනාන්දු කරන ප්‍රකාශ හරහා මතු වෙයි.

නදී කරන ප්‍රකාශ ලෙහෙසියෙන් බැහැර කළ හැකි නොවේ. නදී 2015 ජයග්‍රාහී කණ්ඩායමේද සාමාජිකාවකි. මෙවර තරගාවලියේ පුහුණුකාරිය ලෙස කටයුතු කළ තමරා ලියනගේ 2015 ජයග්‍රහණ කළ කණ්ඩායමේද පුහුණුකාරිය වූවාය. එසේ නම් මේ තරගාවලිය පිළිබඳ හොඳම අත්දැකීම් මෙන්ම අවබෝධයද පුහුණුකාරිය සහ නදීට තිබූ බවට සාධක සෙවීමට මහා පොත් පෙරළීමට වෙහෙසවිය යුතු නොවේ.

එහෙත් අවසානයේ සිද්ධ වූයේ ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම තරග පාවා දෙන තරමටම කල්ලි ගැසීමය. මේ කල්ලිවාදීන් නදී හොඳින් හඳුනන්නීය. එපමණක් ද නොව, නදීට එරෙහිව මෙකී කල්ලිවාදීන් ඇති කිරීමට මුල්වූවන් ද නදී හොඳාකාරවම දනී. කණ්ඩායම් හැඟීමක් නැතිව ක්‍රීඩා කරනවිට හතරවැනි තැන හෝ ඉතිරිවීම පිළිබඳ පුදුම විය යුතුය. ආසියානු ශුරියන් ලෙස නම් දරා සිටි ශ්‍රී ලංකාව මෙවර ආසියාවේ හතරවැනි තැනට වැටෙනවිට වගකිව යුත්තන් පොල් ගෑවාද කියා ඇසිය යුතුය. කෙස් වැටි පටළවා ගැනීම්වල රන් පදක්කම් ගෝනි පිටින් දිනා ගෙන ඇති ශ්‍රී ලංකා දැල් පන්දුවේ කුණු කන්ද මීතොටමුල්ලටත් දෙවැනි වෙතැයි සිතිය නොහැකි තරමටම කුණු ගොඩකි.

පුහුණුකාරිය තමරා ලියනගේ මාධ්‍යයනට ප්‍රකාශ කර තිබුණේ තේරීම්වල මුල ඉඳලම අඩුපාඩු තිබුණා. මම ඒ දේවල් කිව්වත් ඇහුම්කන් දෙන්නවත් කෙනෙක් හිටියේ නෑ යන්නයි. තුන්වැනි ස්ථානය සඳහා හොංකොං තරගයේදී පවා අපේ ක්‍රීඩිකාවන් හරියට ක්‍රීඩා කළේ නෑ.

කණ්ඩායමක් තේරීමේදී පවා කිසි දිනෙක නිවැරැදි ක්‍රියාමාර්ග අනුගමනය නොකළ බවට මේවා සරල උදාහරණය. එහිදී දක්ෂතාවන්ට වඩා සැම විටෙකම කඩේයාම්වලට, පිට කසා ගැනීම්වලට මූලිකත්වය ලබාදී ඇති බව පැහැදිලිය. පසුගිය දශක කිහිපය දිහා හැරි බැලුවද එකී තත්ත්වයේ වෙනසක් නැත.

ආසියානු යොවුන් තරගාවලියේදී ලත් අන්ත පරාජයට පසුව ක්‍රීඩා ඇමැතිවරයා යොවුන් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි නොකරන බව ප්‍රකාශ කළ ද මේ වන විට එකී තීරණය වෙනස් වී තිබේ.

මේ අතර ආසියානු යොවුන් තරගාවලියේ පසුබෑම පිළිබඳ විමර්ශනය සඳහා හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මිල්ටන් අමරසිංහගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර තිබේ.

මෙකී තරගාවලියට එක් වූ නිලධාරිනියක් අමාත්‍යංශයට ලබා දුන් වාර්තාවකින් බොහෝ කරුණු කාරණා යටපත් කිරීමට කටයුතු කර ඇතැයි ද වාර්තා වන අතර, එහිදී පරාජයට ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ දින 42 ක පමණ පුහුණු කාලයෙන් දින 17 ක්ම අවුරුදු නිවාඩුව නිසා නිසි පරිදි පුහුණුවීම්වලට කාලය මදි වූ බවය.

මේ අතර යොවුන් ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම පවා තෝරා නැතත්, පුහුණුකාරියන් තිදෙනකු ඇතුළු තවත් නිලධාරි නිලධාරිනියන් තිදෙනකු ද මේ වන විට අදාළ සංචාරයට සූදානමින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනුමැතිය නොමැතිව ලකලෑස්ති වෙමින් සිටින බවත්, මේ සඳහා අමාත්‍යංශයේ ඉහළ නිලධාරියකු සම්පූර්ණ සහයෝගය දක්වා ඇති බවත් වාර්තා වෙයි.

Comments