
ප්‍රශාන්ත ඇල්පිටිය
දිනය 2017 වසරේ මැයි මස 17 වැනිදාය. ඉතාලියේ රිමිනි ප්‍රදේශයයි. එහිදී බරපතළ අනතුරක් සිදු විය. ඒ මෝටර් රථයක් සහ පාපැදියක් ගැටීමෙන්ය. එමඟින් පාපැදිකරුවාට බරපතළ ලෙස තුවාල සිදුවිය. ඔහුගේ මොළයට වැඩිපුර හානි වී තිබිණි. ඔහුව රිමිනි රෝහලට ඇතුළත් කළේය. ඉන් අනතුරුව පැය සතරකට පමණ පසුව ඔහුව සෙසිනා රෝහලට මාරු කළේය.
එහිදී ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක නිරත විය. ඒ දැඩි සත්කාර ඒකකයේදීය. තවත් දින පහක් ගත වූයේය. ඔහු පරාජයට පත් විය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 35 ක් පමණි. මෙම මරණය ක්‍රීඩා ලොව නැවත වතාවක් ප්‍රබල කම්පනයක් ඇති කළේය. ඒ මිය ගියේ අමෙරිකාවේ නිකී හේඩන් බැවිනි.
හේඩන් යනු 2006 වසරේ මොටෝ ග්‍රෝන් ප්‍රී මෝටර් සයිකල් ලෝක ශූරයාය. ඔහුගේ සමුගැනීම ලොවට අනාවරණය කළේ වැඩිමහල් සොහොයුරු ටොමීය. මෝටර් සයිකල් ලෝක ශූරයකු වූ හේඩන් සිය අවසන් ගමන ගියේ පාපැදියකිනි. පසුව හෙළි වූයේ අනතුර සිදුවන විට ඔහු සිය අයි පොඩ් එක පැලැඳගෙන සිටි බවය.
නිකී හේඩන් මිය යන විට මොටෝ ග්‍රෝන් ප්‍රී (මොටෝ ජී. පී.) තරගවලින් විශ්‍රාම ගෙන තිබුණි. නමුත් සුපර් බයික් ලෝක ශූරතාවලියට සහභාගි වෙමින් සිටියේය. හෙතෙම සෙසු තරගකරුවන් සහ ක්‍රීඩාලෝලීන් අතර අතිශය ජනප්‍රිය චරිතයකි. ඔවුහු හේඩන්ගේ අකල් වියෝව පිළිබඳ සිය කණගාටුව ප්‍රකාශ කළහ.
ඒ අතරට සුපිරි ක්‍රීඩක ඉතාලියේ වැලෙන්ටිනෝ රොසිත් අයත්ය. තවමත් තරග කරන 38 හැවිරිදි රොසි මොටෝ ජී. පී. ලෝක ශූරතා හතක හිමිකරුවෙකි. මින් පහක්ම හෙතෙම හිමිකර ගත්තේ පිට පිටය. ඒ 2001 සිට 05 දක්වාය. එම ජයග්‍රාහී ගමන 2006 වසරේදී නතර කළේ හේඩන් විසිනි. එවර ලෝක ශූරතාවයේ ජයග්‍රාහකයා තීරණය වූයේ ස්පාඤ්ඤයේ වැලෙන්ෂියා නුවර පැවැති 17 සහ අවසන් තරගයේදීය. එහිදී හේඩන්ට තෙවැනි තැනය. රොසිට 13 වන තැනය. එවර ලෝක ශූරතාවලියේ අවසන් ලකුණු සටහනට අනුව හේඩන්ට 252 කි. රොසිට ලකුණු 247 කි.
එවිට හේඩන් නියෝජනය කළේ හොන්ඩා කණ්ඩායමයි. රොසිගේ කණ්ඩායම වූයේ යමහාය. නමුත් ඔවුන් දෙදෙනාම 2003 වසරේදී නියෝජනය කළේ හොන්ඩා කණ්ඩායමයි. 'නිකී ගැන මට කතා ගොඩාක් තියෙනවා. ඒ වගේම මතක සටහන් රැසකුත් තියෙනවා. අපි ප්‍රතිවාදීන් ලෙස තරග කළා. ඒ වගේම එකම කණ්ඩායමක් වෙනුවෙනුත් තරග කළා. ඔහු විශිෂ්ට මෝටර් සයිකල් පදින්නෙක්. ඒ සේරටම වඩා ඔහු උතුම් පුද්ගලයෙක්." රොසි පැවසීය. හේඩන් නිතරම සිනාමුසුව සිටිය ඉතා සැහැල්ලුවෙන් තරග කළ ක්‍රීඩකයකු ලෙසට ප්‍රකටය.
කෙන්ටකි ළමයා (කෙන්ටකි කිඩ්) නමින් ඔහු ප්‍රකටය. ඔහුගෙන් අනතුරුව තවමත් ප්‍රධානතම මෝටර් සයිකල් ලෝක ශූරයකු අමෙරිකාවෙන් බිහි වී නැත. 2006 වසරේදී මොටෝ ජී. පී. තරග හැඳින්වුයේ 500 සී. සී. ලෙසටයි. ඔහු මොටෝ ජී. පී. ලෝක ශූරතාවලියට 2003 සිට 16 දක්වා තරග කළේය. නමුත් 2006 වසරේදී මෙන් දස්කම් දැක්වීමට ඔහුට හැකි වූයේ නැත. එසේ වුවත් අවස්ථා කිහිපයකදී හොඳම තරගකරුවන් 10 අතර රැඳී සිටීමට ඔහුට හැකි විය. ඒ අතර 2003 - පස්වන තැන, 2004 - අටවන තැන, 2005 - තෙවන තැන, 2007 - අටවන තැන, 2008 - හයවැනි තැන සහ 2010 - හත්වන තැන වඩාත් කැපී පෙණෙයි.
නිකොලස් නිකී පැට්රික් හේඩන් උපත ලැබුවේ 1981 වසරේ ජූලි මස 30 වැනිදාය. ඒ කෙන්ටකි ප්‍රාන්තයේ ඔවෙන්ස්බොරෝ නුවරදීය. ඔහුගේ මවුපියන් වූයේ අර්ල් සහ රෝස්ය. ඔහුගේ වැඩිමහල් සොහොයුරා 1978 වසරේදී උපත ලැබූ ටොමීය. ඔහුගේ මල්ලී වූයේ 1983 දී උපන් රොජර්ය. ඔහුට ජෙනී සහ කැත්ලීන් නමින් සොහොයුරියන් දෙදෙනෙක්ද සිටියහ. මෙම මුළු පවුලම මෝටර් සයිකලයට පෙම් බැන්දාහ. ඒ අතරින් ටොමී සහ රොජර් ද වෘත්තීයමයව තරග කළහ.
නිකී හේඩන් මුලින්ම තරග කළේ මොටෝ අමෙරිකානු සුපර් බයික් ශූරතාවලියටයි. පසුව සුපර් ස්පෝර්ට් ශූරතාවලියට තරග කරමින් 2002 වසරේ ශූරයා වූයේය. හෙතෙම ප්‍රථම වරට මොටෝ ජී. පී. (500 සී. සී.) ශූරතාවලියට තරග කළේ 2003 වසරේදීය. එතැන් සිට 2016 වසර දක්වාම තරග කරන ලදී. එම කාලය තුළදී හොන්ඩා (2003 - 08) සහ ඩුකාටි (2009 - 13) කණ්ඩායම් ඔහු නියෝජනය කළේය.
එම කාලය තුළදී ඔහු තරග 218 කට සහභාගි විය. හිමිකරගත් ජයග්‍රහණ ගණන තුනකි. මුළු ලකුණු 1698 කි. හේඩන් ප්‍රථම වරට සුපර් බයික් ලෝක ශූරතාවලියට තරග කළේ 2002 වසරේදීය. 2016 වසරේදී නැවත වතාවක් ඔහු මෙම තරගවලට සහභාගි විය. එහිදී අවසන් ප්‍රතිඵලවලට අනුව ඔහුට පස්වන තැන හිමිවිය. එහි මෙවර ලෝක ශූරතාවලියේදී ඔහු 13 වන තැනට පත්ව සිටියේය.
නිකී හේඩන් මෙලොවින් සමු ගත්තේ තමන්ව ප්‍රිය කළ ක්‍රීඩා ලෝලීන් සහ සිය පවුල පමණක් තනිකර නොවේ. ඔහුගේ සහකාරිය වූ ජැකී මාරින් ද ඊට අයත්ය. මෙම යුවළ විවාහ ගිවිස ගත්තේ 2016 වසරේ මැයි මාසයේදීය. ඒ අනුව ඔවුනගේ පළමු විවාහ සංවත්සරය යෙදුණු මාසයේදීම මෙම අනතුරට ලක්වීමට ඔහුට සිදු වීම දෛවයේ තවත් සරදමකි.










