අපිට සම්මාන නෑනේ - සංගම් අටවන්නෝ | සිළුමිණ

අපිට සම්මාන නෑනේ - සංගම් අටවන්නෝ

ඇඩ් එකක නම් කියන්නේ චිකන් වැඩ කෝටියයි කියලා. ටොම් සහ ජෙරියා ගිය සම්මාන උළෙලකත් බැනුම් කෝටියයි කියලා තමයි ආරංචි වුණේ.

මුන් දෙන්නා හම්බ වුණේ නැති හින්දා කිසි විස්තරයක් හරියට දැනගන්නත් බැරි වුණා.

ඩබල වැනි වැනී එනවා. කාලයකට පස්සේ වැස්ස හින්දා දෙන්නා හොඳටෝම තෙමිලා වගෙයි. මොකද වැලේ වැල් නැතුව වගේ.

නෑ. අපි දෙන්නා අර සම්මාන උළෙලට ගියානේ,

ඉතින්,

මේ කතා අපි එහෙම කියන ඒවා නෙවෙයි. සම්මාන උළෙලේ විනිශ්චය හා තාක්ෂණික කමිටුවේ කෙනෙක් මාධ්‍යකාරයකුට කියලා තියෙන දෙයක්.

සම්මාන උළෙලට තම තමන්ගේ නිර්දේශ ඉදිරිපත් කරපු සමහර අය තෝර ගත්තේ නෑ කියලා දොස් කියලලු.

පව්...

තවත් සමහර අය සම්මානවලට නිර්දේශ කරපු පුද්ගලයන්ට අපහාසවන විදියට කතා කියලලු.

මොන කඩප්පුලියෝ ද ඒ...

ඒත් කට්ටිය ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් සම්මානලාභීන් තෝරා ගත්තලු...

එහෙනම් බැනුම් අහන්නේ ඇයි?

බලපන්කෝ ජෙරියෝ සම්මාන 53 ක් තිබිලත් දීලා තියෙන්නේ 39 යිලු.

මම නම් හිතන්නේ දෙන්න තරම් වැඩ්ඩෝ නැතුව ඇති බන්.

නැත්නම් ඉතින් සම්මාන වෙන් කරලත් දෙන්න කෙනෙක් නෑ කියන්නේ තෝරපු කට්ටියට ඕනා අයට ඒ ටික දීගන්න බැරි වෙච්ච එකට ද දන්නේ නෑ.

දැන් බලපන් මචං, ස්වර්ණ ශ්‍රේණිගත සම්මානය අවුරුදු දෙකක්ම පිට පිට දිනා ගත්ත රටේ ක්‍රීඩා සංගමයක් නෑ කියන්නේ ම මොන තරම් අවුලක් ද කියලා.

ඒකනේ මචං අවුරුද්දක ක්‍රීඩා සංගම්වල ක්‍රීඩාකාරීත්වය, අන්තර්ජාතික තරග සහභාගිත්වය, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා, රටේ තරග සංවිධානය කිරීම සාර්ථකත්වය ගැනලු බලලා තියෙන්නේ.

හරි නම් මචං මේ සම්මානය දෙන්න තෝරන්න තිබ්බේ ඕවා නෙවෙයි. මෙච්චර කාලයක් මේ කිසි දෙයක් නැතුව සංගම් අටවගෙන හිටපු රොත්ත බුරුත්ත කවුද කියලයි.

දැන් බලපන් ඔය අටවගෙන ඉන්න සංගම්වලට රිංගන්න දෙන ගේම්, අදින අංචිවලට වෙනම සම්මාන උළෙලක් තියන්න ඕනා.

අන්තර්ජාතික තරගවලට ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය මොනවා වුණත්, නිලධාරින්ගේ සහභාගිත්වය ගැන හිතුවත් සම්මාන 50 - 60 ක් ඊට දෙන්න වටිනවා. ඒවට යන්න දාන සෙල්ලම් ටිකම කොච්චර වටිනවද?

දැන් බලපන් කුසලයාගේ තහනම් උත්තේජක කේස් එකේදි රසායනාගාර වාර්තා පරීක්ෂා කරලා කුසලයාව බේර ගන්න මාර ෆයිට් එකක් දීපු රාගම ශික්ෂණ රෝහලේ විශේෂඥ ඩොක්ටර් ප්‍රියංකර දයානාත් ආරාධනවක් එක්ක උත්සවයට ආවත් අන්තිමේට කරලා තියෙන.. වැඩේ. ඒ සම්මානය කැන්සල් කරලාලු.

මට මොකද මතක නැත්තේ. ඩොක්ටර් ප්‍රියංකර දයානාත්ගේ වාර්තාව නැති වෙන්න අද එහෙනම් කුසලයා ලොවෙත් නැති ලොවි ගහෙත් නැති කෙනෙක් විතරයි.

මේවගේ වැඩවලට ජනාධිපතිතුමාගේ නමත් මුලට දාගෙන කරන නාඩගම්වලින් එතුමාගේ නමත් හෑල්ලු වෙන එක ගැන නම් මට මාර දුකයි මචං.

මටත් එහෙම තමයි මචං අනිත් උන් නම් තිස්තුන් කෝටියක් බැනුම් ඇහුවත් කමක් නෑ.

 

Comments