
මගේ ගමන යන්නෙමි
මෑත භාගයේ වැඩියෙන් ම කතාබහට ලක් වූ සිංහල කිවිඳිය මොනිකා රුවන් පතිරණ යැයි කීමෙහි වරදක් නැත. ඇය කාව්‍ය සංග්‍රහ කිහිපයක් පළ කළ අතර “තහනම් දේශයකින්” යන කාව්‍ය සංග්‍රහය ද ඒ අතර තිබේ. මේ කෘතිය පළමුව එළි දැක්වූයේ 1972 දී ය. පසුව මුද්‍රණ කිහිපයක් ද පළ වී ඇත. සංග්‍රහයට පද්‍ය නිර්මාණ අසූහතරක් ඇතුළත් ය. ඒ අතර “දිසාපති කාමරයේ දී ය” “පියසේන ඇසූ ප්‍රශ්නයක්” වැනි ප්‍රකට කාව්‍ය ප්‍රබන්ධ ද තිබේ. අද අපගේ අවධානයට ලක්වන්නේ එහි ඇති තිස්තුන් වන නිර්මාණය යි. එය “සපත්තු මහන්නාගේ ගීතය” ලෙසින් නම් කර ඇත.
බැලූ බැල්මට නම්; එය සරලමතික කාව්‍ය ප්‍රබන්ධයකි. සපත්තු මහන්නා තම ජීවිතය හා වෘත්තිය ගැන ප්‍රකාශනයක් නිකුත් කරයි. ඉන් කියැවෙන්නේ සපත්තු ඇති නුඹලා මහ පාරේ වේගයෙන් පලයල්ලා! හැකි ඉක්මනින් සපත්තු කඩාගනිල්ලා! පසුව මා ළඟට වරෙල්ලා! එවිට මට ජීවත්විය හැකි ය යන්න ය. මට සපත්තු නැතත් සපත්තු ඇති නුඹලාගේ දෙපයින් මම මගේ ගමන යන්නෙමි යැයි ද ඔහු කියයි.
ඉහතින් දක්වා ඇත්තේ කවියෙහි මතු පිට අර්ථය යි. එහෙත් මේ කවියේ යටි අරුත හෙවත් ධ්වනිය ඉන් ඔබ්බට ගමන් කරයි. මොනිකා සමාජ ක්‍රමය, ජීවිතය හා දිළිඳුකම ප්‍රශ්න කිරීමට ලක් කරයි. සපත්තු මහන්නා දිළිඳු ය. ඒ තරමට ම නූගත් ය. ඔහුට මේ සමාජ ක්‍රමය පිළිබඳ නිවැරැදි දැක්මක් නැත. එබැවින් සිය පාරිභෝගික සමාජය දෙස උත්ප්‍රාසාත්මක බැල්මක් හෙලන්නට සපත්තු මහන්නා පෙලඹෙයි.
“කවුදෝ ලුහුබැඳ එන සේ
ඉක්මන් ගමනින් යනු මැන”
සපත්තු මහන්නාගේ පාරිභෝගිකයෝ ද ධනවත්තු නොවෙති. ධනවතුන් කැඩුණු සපත්තු මහන්නේ නැත. ඔව්හු කැඩුණු සපත්තු කුණු බක්කියට වීසි කොට මිල අධික අලුත් සපත්තු ගනිති. ධනවතුන් මහ පාරේ පයින් ගාටන්නේ ද නැත. සපත්තු මහන්නා හා පාරිභෝගිකයන් අතර විශාල පරතරයක් නැත. මේ එක ම පන්තියක කොටස් දෙකක් ලෙස ගත හැකි ය. සමාජයේ ඇති අවිඥානක බව ද, අවිධිමත් බව ද මේ කවියෙන් හොඳ හැටි පැහැදිලි වේ.
ලෝකය වෙනස් කළ හැක්කේ කෙසේ දැ’යි කෘතියක් සම්පාදනය කරන ඩේවිඩ් බ්‍රොන්ස් ටයින් නම් පඬිවරයා නො නිසා වැඩ කරන මිනිසුන් සංවිධාන ගත කිරීමෙන් පමණක් ලෝකය වෙනස් කළ හැකි බව පෙන්වා දෙයි. මිනිසුන් සංවිධනා ගත කිරීම යනු කුමක් ද? ඔවුනට අවශ්‍ය දැනුම, විනය හා කළමනාකරණය කියා දීම ය. දෙවනුව සාමූහිකව වැඩ කිරීම හා ප්‍රතිලාභ ලැබීම ය. ශ්‍රී ලංකාව වැනි රටවල එවැන්නක් නැත. ගොවියන් ගේ සංවිධාන ගත වීමට හොඳ නිදසුනක් ඉන්දියාවෙන් ගත හැකි ය. ඒ අමූල් ව්‍යාපාරයයි.
ඊළඟට ජීවිතය පිළිබඳ සංකීර්ණත්වය මේ නිර්මාණයෙන් ප්‍රකට කෙරේ. පුද්ගලයාට වටින්නේ තමන්ගේ ආදායම, ලාභය හා ජීවත්වීම පමණි. සමාජයක් ලෙස ඉදිරියට යෑමේ උපාය මාර්ග බොහෝ දෙනා නො දනිති. ඒ දැනුම ඉබේ පහළ වන්නේ නැත. ඒ සඳහා දේශපාලන ව්‍යාපාර ක්‍රියාත්මක විය යුතුය. අපේ සමාජය ආපසු හැරී බලන්නේ නැත. එබැවින් කව්රුන් හෝ හඹා එන ලෙස ඔවුහු ඔහේ දුවති.
සපත්තු මහන්නා දැන හෝ නො දැන යම් විරෝධාකල්පයක් දරන බව ද පෙනී යයි. ජන නාට්‍ය සම්ප්‍රදායේ දී මුදලිට තල්අත්ත අල්ලාගෙන යන ආවතේවකාරයා ඉතා යටහත් පහත් බෙර තාලයට අනුව මුදලිට තල්අත්ත අල්ලන අතර හිටිහැටියේ එය තමන්ගේ හිසට අල්ලාගනෙ මුදලිට කෝචොක් කරයි. එය විරෝධාකල්පයකි. සපත්තු මහන්නා ද සිය පාරිභෝගිකයන්ට සපත්තු කඩා ගනිල්ලා එතකොට මගෙ කරල පැහෙයි යනුවෙන් කෝචොක් කරයි. එය මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරු අදහසක් ලෙස ද ගත හැකි ය.
කිවිඳියගේ කාව්‍යානුභූතිය තුළ ලෝක දෙකක් තිබේ.
(I) සපත්තු මහන්නාගේ ලෝකය.
(II) කිවිඳියගේ විචාර ලෝකය
සපත්තු මහන්නාගේ ලෝකයෙන් නිරූපණය වන්නේ පොදු මනුෂ්‍යත්වය යි. කිවිඳියගේ ලෝකයෙන් ඉඟි කරන්නේ සමාජ සාධාරණ රටක් හා යුක්ති සහගත සමාජයකි.
“මහ මග යන දෙනෝ දහක්
මිනිසුනි මෙය අසනු මැනවි”
මේ ආමන්ත්‍රණය එන්නේ සපත්තු මහන්නාගෙන් නො ව; කිවිඳියගෙන් ය. සමාජය දෙසත් එහි ක්‍රියාකාරිත්වය දෙසත් විමර්ශනාත්මක ලෙස බලන්නැ’යි කිවිඳිය කියා සිටී. කිසිවකුට සහනයක් නැත. බොහෝ දෙනා අරමුණක් - ඉලක්කයක් නැතිව ඔහේ ගාටති. ඔවුන්ගේ සපත්තු නිතර කැඩෙයි. ඒවා මහන තැනැත්තා සපත්තු කැඩෙන තරමට සතුටු වන’මුත් ඔහුට ද සහනයක් නැත. රක්ෂණයක් නැත. පවත්නා නිෂ්පාදන ක්‍රියාවලිය, සම්පත් බෙදීයාම මේ මඟින් ප්‍රශ්න කිරීමට ලක් වේ.
ධනපති ක්‍රමයේ පැතිකඩක් ලෙස ද මේ තත්ත්වය උපුටා දැක්විය හැකි ය. පවත්නා තරගකාරිත්වය හා එකිනෙකා පරයා යෑෙම් ආශාව මෙයින් නිරූපණය කෙරේ. සමාජ පන්තිය කුමක් වුව මනුෂ්‍යත්වය කෙමෙන් ගිලිහී යෑම ධනපති ක්‍රමයෙන් සමාජයට කාන්දු වන නරක පුරුද්දකි. සපත්තු මහන්නා ඊට තදින් ම ගොදුරු වී සිටී. එබැවින් ඔහු නැවත ගොඩ එන්නේ නැත.
ජීවිතය, ජීවිතයේ අවස්ථා හා එහි අර්ථ ඉතා සංක්ෂිප්ත ලෙස දැක්වීම මොනිකා ගේ ශෛලියේ කැපී පෙනෙන ලක්ෂණයකි. ඉන් මතු වන්නේ ඇගේ වාග් විලාසය යි. ජීවිතය සංක්ෂිප්ත පද පේළි හතරකට ගැනීමට ඇයට හැකි ය.
“මිරිවැඩි නැති මගේ දෙපා
මාවත අයිනේ රඳවා
මිරිවැඩි ලූ ඔබෙ දෙපයින්
මගේ ගමන යන්නෙමි මම”
සපත්තුකාරයා සතු සියල්ල හා ඔහුගේ අභිමතය ද මේ පද පේළි හතරෙහි ඇත. ඇමෙරිකන් කිවිඳියක වූ එමිලි ඩිකින්සින් අප සිහියට නැඟේ. “I cannot dance upon my toes” නම් කවි පෙළ ඊට නිදසුන් ය.
“I cannot dance up on toes
No man instructed me
But oftentimes, among my mind
A glee passesseth me”
එමිලි සිය කෙටි පද කැටි තුළ ජීවිතය නිරූපණය කරන අතර පෙරළා ඒ ගැන ප්‍රශ්න කිරීම ද සිදු කරයි. මොනිකාගේ ශෛලියෙහි ද එම ගුණය පවතී.