
සිංහල සාහිත්‍යයේ නැඟීමට හා වැඩීමට බාධා පැමිණවූ ප්‍රබල බලවේග දෙකක් පසුගිය අවුරුදු දෙදහස තුළ ලක්දිව පැන නැඟිණ. ඉන් පළමුවැන්න වූ කලී දෙළොස් වැනි සියවසේදී සකු බමුණු භාෂා සාහිත්‍යය සාම්‍රාජ්‍යයට හසුවීමෙන් සිංහල සාහිත්‍යයෙහි හා බෞද්ධ සංස්කෘතියෙහි ස්වාධීනත්වයට සිදුවූ හානියයි. දෙවැන්න නම් විසිවැනි සියවසේ මැද භාගයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහලාංශය විසින් බටහිරට ගැති සාහිත්‍යය විචාර ක්‍රමයක් හඳුන්වා දෙන ලදුව තරුණ ලේඛක පරපුර නොමඟ යැවීමෙන් සිදු කරන ලද හානියයි.
පොලොන්නරු යුගයෙන් පසුව අප සමාජයෙහි අධ්‍යාත්මය වෙළාගත් සකු බමුණු බලපෑමෙන් අපගේ නිදහස් දේශජ සාහිත්‍ය සම්ප්‍රදාය මුදා ගැනීමට හැකි වූයේ දඹදෙණි - කුරුණෑගල කාලයේ සිංහල ජන බසින් ග්‍රන්ථ රචනා කළ ධර්මසේන, විල්ගම්මුල, ධර්මකීර්ති යනාදී හිමිවරුන්, ජාතක කතා හෙළ බසට නැඟූ කතුවරුන්, කෝට්ටේ කාලයේ විසූ වෑත්තෑවේ, වීදාගම හිමිවරුන්, සීතාවක සමයේ විසූ අලගියවන්න මුකවෙටි පඬිතුමන් හා සිංහල ජනකවි පරපුරත් නිසාය.
ඉන් අනතුරුව අපරදිග ජාතීන් තුනකගේ නිර්දය බලපෑමට හසුවූ සිංහල සංස්කෘතිය හා සභ්‍යත්වය අවුරුදු හාරසියයකට වැඩි කාලයක් දැඩි පීඩනයකට හසුව පැවතිණ. 1818 දීත් 1848 දීත් බටහිර ආධිපත්‍යයට එරෙහි ව නැඟී සිටි සිංහල ජනයාගේ විමුක්ති අරගල කුරිරු ලෙස මර්දනය කිරීමෙන් පසුව සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කර දැමීමට අධිරාජ්‍යවාදී පාලකයෝ උපා යෙදූහ. අවුරුදු දෙදහසකට වැඩි කාලයක් සිංහල ජන සමාජය හික්ම වූ භාෂාව” ආගම හා කුල සිරිත් වලට සිදුවන හානිය ගැන සංවේගයට පත් අනගාරික ධර්මපාලතුමා ඊට එරෙහිව ප්‍රබල හඬක් නැඟීය. ඉන් පිබිදුණ එවක සිටි ලේඛකයන් වූ පියදාස සිරිසේන, ඇල්බට් ද සිල්වා, එම්. සී. එෆ්. පෙරේරා, ඒ. සයිමන් ද සිල්වා ආදීහු ප්‍රබන්ධ කතා (නවකතා) රචනා කරමින් සිංහල භාෂා සාහිත්‍ය උරුමය ජන හදවත් තුළ යළි පිබිදවිමට කටයුතු කළහ. ඔවුන්ගේ නිර්මාණ ඉංගිරිසි නවකතා අනුකරණයෙන් බිහිවූ ඒවා නොවේ. එවකට පැවති සංස්කෘතික ගැටුමේ ඵල වශයෙන් බිහිවූ කතා ය.
පියදාස සිරිසේනගේ නවකතා වලින් විශද වන්නේ බෞද්ධ සංස්කෘතිය, සිංහල බස, සිංහල ජනකතා හා ජනකවි අනූව හික්මුණු ලේඛකයන්ගේ ස්වාධීන කතා සන්දර්භයකි. බටහිර නවකතා වල බලපෑමක් ඔහුගේ කෘතිවල එය නොසැලකිය යුතු තරම් අල්ප බව මාර්ටින් වික්‍රමසිංහ කියයි. (සිංහල විචාර මඟ 109 පිටුව) මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර පැවසුවේ පියදාස සිරිසේනට ඉංගිරිසි නවකතා ගැන දැනුමක් නොතිබුණ බවයි. (සිංහල නවකථා - ඉතිහාසය හා විචාරය 60 පිටුව) මුල් යුගයේ නවකතා ලියූ එම ලේඛකයන්ගේ කෘති චිරන්තන කතා කලාවේ හා භාෂා සම්ප්‍රදායේ අවිච්ඡින්න උරුමයක් බව සරච්චන්ද්‍රයන් වටහාගෙන තිබුණේ නැත.
සිංහල නවකතාවේ පදනම වූයේ ඇල්බට් සිල්වා සිංහලයට නැඟූ අරාබි නිසොල්ලාසය බවත් එහි බස ඇසුරෙන් සිංහල නවකතාවේ බස සකස් වී ඇති බවත් සරච්චන්ද්‍රයන් පවසන්නේ අතීත සම්ප්‍රදාය නොවිමසූ හෙයිනි’ සරච්චන්ද්‍රයන්ගේ කියුම මේය:
20 වැනි ශත වර්ෂයේ පහළ වූ ලේඛකයන්ගේ නිර්මාණ කෙරෙහි අරාබි නිසොල්ලාසය බලපෑ හැටි සලකන විට එයින් අප සාහිත්‍යයේ විප්ලවයක් සිදු වේ යැයි කීම අතිශයොක්තියක් නොවේ. අරාබි නිසොල්ලාසය සිංහල නවකථාවේ පදනම විය. ආදී නවකතා කතුවරුන් වන ඇම්. සී. ඇෆ්. පෙරේරා, ඒ. සයිමන්ද සිල්වා, පියදාස සිරිසේන ආදී ලේඛකයෝ අරාබි නිශොල්ලාසයේ ආභාසය ලැබුවෝ වූහ(සිංහල නවකථා - ඉතිහාසය හා විචාරය 1984 මුද්‍රණය 32 පිටු)
මේ බව සනාථ කිරීමට අරාබි නිසොල්ලාසය පරිවර්තනයේ ඡෙද දෙකක්ද සරච්චන්ද්‍රයන් ඉදිරිපත් කොට තිබිණ. ඒ ඡේදයන්හි බස්වහර සමිප වන්නේ ජාතක කතාවන්හි ව්‍යවහාරයටය. ඊට සරිලන පාඨයක් ජාතක පොතෙහි ඕනෑම කතාවකින් උපුටා ගත හැකි බව මාර්ටින් වික්‍රමසිංහයෝ කියති (ජාතක කතා විමසුම - දොරකඩ අස්න). ඒ අනුව මුල් යුගයේ සිංහල නවකථා අපගේ චිරන්තන භාෂා සාහිත්‍යය උරුමයේ අවිච්ඡින්න ඵලයකි. ඒ මාහැඟි උරුමය සඵලදායි ලෙසින් සිංහල කතා කලාවට යොදා ගෙන එය අර්ථසම්පන්න නිර්මාණවලියක් බවට පත් කළේ වික්‍රමසිංහයන්ය. ඔහු ලියු නවකථා දහතුනේ ක්‍රම විකාශයත් එකසිය දොළහක් පමණ වන කෙටි කථා නිර්මාණත් ඊට නිදසුන්ය.
මානව සිත් සතන් තුළ වැඩෙන චෛතසිකයන් සමනය කොට අාධ්‍යත්ම පහන් සංවේගය දැනවීමට සමත් වන්නාවූ, සිංහලයන් විසින් සිංහල බසින් පබැඳූ (සීහල වෙඨිකාය - සීහල කෙනෙව) ගැදි පැදි වලින් යුතු නිර්මාණ දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් අභාවයට ගොස් ඇත. සීගිරි කැටපත් පවුරේ ගී ලියූවෝ ඒ පරපුරේ නිර්මාණ කරුවෝය. කෙළ සුවහස් විරිතින් කවි පබඳින ලද්දේ ඒ කවියන් විසිනි. එක් රජකුගේ රාජ සභාවක පමණක් මහා කවීන් දෙළොස් දෙනෙකු සිටි බව සලකන කල එවක නිර්මාණ සාහිත්‍යය කොතරම් පොහොසත්ව පවතින්නට ඇත්දැයි සිතිය හැකිය. ඔවුන්ගේ නිර්මාණයන්හි උධෘතයන් පසුකාලීන යුගයේ රචිත එළු සදැස් ලකුණ, සිදත් සඟරාව වැනි ග්‍රන්ථයන්හි දැක්වෙයි.
අපගේ මේ විශිෂ්ට භාෂා සාහිත්‍යය උරුමය අමතක කළ අනුකාරකයෝ නූතන සාහිත්‍ය ප්‍රබෝධය ඇති වුණේ මීට අවුරුදු දෙසීය ගණනකට ඉහතදී බිහිවූ බටහිර සාහිත්‍ය නිසා බව පැවසූහ. නූතන තරුණ පරපුර නොමඟ යැවූ බටහිරට ගැති මේ ගුරු කුලය බිහිවුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙනි. එහි නායකයා වූයේ මහාචාර්ය එදිරවීර සරච්චන්ද්‍රයන්ය. නූතන සිංහල ප්‍රබන්ධ සාහිත්‍යය අරභයා 1951 දී සරච්චන්ද්‍රයන් රචනා කළ සිංහල නවකතා ඉතිහාසය හා විචාරය කෘතිය ආරම්භයේදී ම අපගේ මාහැඟි භාෂා සාහිත්‍ය උරුමය කණපිට හැරවූයේ මෙපරිද්දෙනි.
සිංහල සාහිත්‍යයේ පෝෂණයට ප්‍රධාන වශයෙන් හේතුවූයේ අපරදිග සාහිත්‍යය බව ඉඳුරා පෙනෙන කරුණකි. සංස්කෘත සාහිත්‍යයෙන් හැකිතාක් සාරය උරාගෙන පසු අවදිවල ක්ෂුත් පිපාසාවෙන් මෙන් මලානිකව ගිය සිංහල සාහිත්‍යයට බටහිර සාහිත්‍යයෙන් ලැබුණේ විවිධ අලුත් රසයෙන් යුත් ප්‍රණීත ආහාරයකි. මේ මාර්ගයෙන් අලුත් සම්ප්‍රදායක් ද අමුතු සිද්ධාන්ත ද වෙනත් ශෛලිද පළමු වරට හැඳිනගත් වර්තමාන ලේඛකයා පැරණි සාහිත්‍යයෙන් නොලත් විරූ රස වෛචිත්‍රයක් අපරදිග සාහිත්‍යයෙන් ලැබුවේය. මෙයින් වූයේ සිංහල සාහිත්‍යයෙහි පුනර්ජීවනයකි. නොයෙක් රචනා ක්‍රම අත්හදා බැලීමට සිංහල භාෂාව අභ්‍යාස භූමියක් විය.
(සිංහල නවකථා ඉතිහාසය හා විචාරය - 1964 මුද්‍රණය - 2 පිටුව)
මේ කියුම වූ කලී අතීත සිංහල භාෂා සාහිත්‍ය සම්ප්‍රඳාය නොදැන හෝ නොවිමසා හෝ කළ ප්‍රකාශයකි. එය දීර්ඝ ඉතිහාසයක් ඇති ලොව ශ්‍රේෂ්ඨ භාෂාවකට කළ නිග්‍රහයක් ද වන්නේය. මුල සිට ම සිංහල භාෂාව පෝෂණය වූයේ සකුවෙන් නොව පාලි භාෂාවේ සාරය උරාගෙනය. ඇතැම් උගතුන් සකුව කාලයේද හෙළ බසේ අදීනත්වය නොනැසී පැවතුණි. අමාවතුර, බුත්සරණ, සද්ධර්මරත්නාවලිය, සිංහල ජාතක පොත, ගුත්තිලය, ලොවැඩ සඟරාව හා ජන කාව්‍යාවලිය ඊට නිදසුන් ය. සිංහල පාඨකයා රස වෛචිත්‍රයක් පමණක් නොව අධ්‍යාත්ම ප්‍රමුදිත බවක් ද ලැබුවේ ඒ පොත් කියවීමෙනි. සිංහල භාෂාවට අභ්‍යාස භූමියක් වූයේ ද නොයෙක් රචනා ක්‍රම අත්හදා බැලුණේ ද ඒ යුගයේ දීය. සරච්චන්ද්‍රයන්ගේ මඟ පෙන්වීමෙන් කළ අත්හදා බැලීම් වල ප්‍රතිඵලය වූයේ, නිසදැස්, අයමක, විඥන ධාරා, අධියථාර්ථවාදය, පශ්චාත් නූතන වාදය, ඉන්ද්‍රජාලික යථාර්ථවාදය, පරාජිත - නිශ්ක්‍රිය චරිත ආදී රට පඬිවදන් රැසක් නූතන ලේඛන සාහිත්‍යයට එකතු වීමයි.
ආදි යුගයේ සිටම පරිණාමයට පත් වූ කතා කලාවක් අප සතුය. ඒ අතර පොදු ජනකාය වෙතින් නිර්මාණය වී අඛණ්ඩව පැවත ආ ජනකතා විශේෂ විය. හියු නෙවිල්, හෙන්රි පාකර් වැනි ඉංගිරිසි විද්වතුන් ඒ ජනකතා ඒකරාශි කළේ එහි වටිනාකම අවබෝධ කොටගත් හෙයිනි. පාකර් ඒ ජනකතා ඉංගිරිසියට නඟා කාණ්ඩ තුනකින් යුතු පොතක් වශයෙන් එංගලන්තයෙහිදී පළ කළේය. ඉපැරණි යුගයේ සිට සම්භාවිත අපගේ නිදහස් ජනකතා සම්ප්‍රඳාය සමාජ විපරිණාමයත් සමඟ ලොව වෙනත් කතා කලාවන්ගෙන් පෝෂණය ලැබීය. එය හුදු අනුකරණයක් නොවේ. බටහිර ලේඛකයන්ගේ කෘති අඳ බැතින් වැළදගත් ඩබ්ලිව්. ඒ. සිල්වාගේ කෘති හැරුණු විට මුල් යුගයේ සියලු ම නවකථාකරුවන්ගේ කෘති මෙරට අත්දැකීම් පදනම් කොට ගත් ස්වාධීන රචනාය.
නූතන කතා කලාවේ බාහිර මෝස්තරය අපරදිග හා වෙනත් කතා ශෛලීන් ප්‍රතියෝජනයෙන් සකසා ගත්හයි අදහනු ලැබුව ද අධ්‍යාත්ම තතු හා භාෂා රීතිය විසින් එය අපගේ දේශීය කතා කලාවට නැකම් කියන්නක් වෙයි. මේ බව 1945 වර්ෂයේ සිටම මාර්ටින් වික්‍රමසිංහ ඔහුගේ සෑම විචාර ග්‍රන්ථයකම විවිධ ලෙස විවරණය කොට තිබෙයි. විශේෂයෙන් සිංහල සාහිත්‍යයේ නැඟීම, සිංහල විචාර මඟ, ජාතක කතා විමසුම, නවකතාංග හා විරාගය යන කෘතීන් ඉන් ප්‍රධානය.
අවුරුදු එක්දහස් හාරසියයක් පමණ වූ කාල පරිච්ඡේදයන් තුළ ස්වාධීන ව වැඩී ගිය අපගේ භාෂා සාහිත්‍යය අනුකාරක වෙස් ගන්ට පටන් ගත්තේ 13 වැනි සියවසේ සිටය. අනුරාධපුර යුගයේ දී බිහිවූ විශිෂ්ට භාෂා සාහිත්‍යයකට උරුමයකට හිමිකම් කියූ එසේම ගණනින් කියා දැක්විය නොහැකි ගද්‍ය පද්‍ය ග්‍රන්ථ සම්භාරයක් එවක ලෝකයේ කවරම රටක වුවද බිහිවූහයි කිය හැකි නොවේ. ඒ මහරු සාහිත්‍ය උරුමය වැනසී ගියේ පරසතුරු උවදුරු හේතුවෙනි. කාලිංඝ මාඝ ආක්‍රමණිකයා, රුවන්වැලි සෑය උසට පොත් කඳු ගොඩගසා ගිනි තබා විනාශ කර දැමීම පිළිබඳව සිහිපත් කරන විට ඒ මහා විපතේ තරම වටහා ගත හැකිය. ඉන්පසු ගෙවී ගිය කාලයේදී අපගේ ආඛ්‍යාන සාහිත්‍යය ගොඩ එන්ට කළ වෑයම අමාවතුර, ධර්මප්‍රදීපිකා, සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය, පන්සිය පනස් ජාතක පොත වැනි ග්‍රන්ථයන්ගෙන් හෙළි වෙයි.
පන්සිය පනස් ජාතක පොත සිංහල බසට නැගීම, පැරණි සිංහල කතාකරුවන්ගේ දේශීය කතා කලාවේ පුනර්ජීවනයට හේතු වීය. මනුෂ්‍ය ජීවිතය නිර්මාණ සාහිත්‍යයට උපයුක්ත කර ගැනීමේ හොඳම මූලාශ්‍රය ජාතක පොත හැදෑරීමයි. ජාතක කතා බෝසත් චරිත කතා සංග්‍රහයක් වශයෙන් පමණක් නොව මිනිසුන්ගේ සිතුම් පැතුම් ගති පැවතුම් පිළිබඳව අවබෝධයක් ලබා දෙන්නක් බවත් කතා සාහිත්‍යයේ විකාශනයට ඉන් බලපෑමක් ලද හැකි බවත් මහාචාර්ය ආනන්ද කුලසූරිය පවසයි. (සිංහල සාහිත්‍යය - 3,32 පිටුව)
මනුෂ්‍ය චරිතය විනිවිද දකින නූතන උසස් බටහිර නවකථා වලට ළංවන කතා වස්තු ලක්දිව බිහිවූයේ ජාතක කතා රචනා කළ යුගයේ දී බව මාර්ටින් වික්‍රමසිංහ කියයි. බටහිර නවකථාකාරයන් විසින් මහත්කොට විකාශනයෙන් නිර්මල ස්ථානයට නඟන ලද නවකථා කලාවෙහි බීජවස්තුව ජාතක වස්තූන්හි දැක්ක හැකි බව වික්‍රමසිංහ සිය ජාතක කතා විමසුමෙහි ලා දීර්ඝ වශයෙන් පෙන්වා දුන්නේය. බටහිර හා ඇතැම් රුසියන් නවකථාවලට ද ගුරුවන්ට ඇත්තේ ජාතක කතා රීතිය යැයි සිතන්ට කරුණු ඇත. කතා කලාව හා රීතිය විසින් එම කතා එක්බඳු වන බැවිනි. එසේ තිබියදී නූතන අනුකාරකයෝ සිංහල නවකථා හා කෙටිකථා බටහිර බලපෑමෙන් පහළ වී යැයි කියන්ට වෑයම් කළහ.
සිංහල භාෂාව භාවිත කොට ගෙන සිංහලයන්ගේම ජීවන තතු පදනම් කොට ශ්‍රේෂ්ඨ ගද්‍ය පද්‍ය කාව්‍ය අනුරාධපුර යුගයේ සිට ම බිහිවූ බවට සාධක පවතී. පරසතුරු උවදුරු වලින් යටපත් වී ගිය ඒ මාහැඟි උරුමය යළි පණ ලැබුවේ දඹදෙණි කුරුණෑගල සාහිත්‍ය යුගයන්හි දීය. දඹදෙණි යුගය සිංහල කථා සාහිත්‍යයේ නවෝදාවක් ඇති වූ සමයකි. ගැමි බස ගුරු කොට ගෙන ධර්මසේන හිමියන් විසින් රචිත සද්ධර්මරත්නාවලිය වූ කලී දේශකයා ධර්මාසනයෙන් බැස ගැමියන් අතර හිඳ කතා රසයෙන් දහම් රසය මතු කොට ශ්‍රාවක දනන් වෙත ලොවී ලොව්තුරා සම්පත් සාදා දුන් කතා රත්නාවලියකි. එසේම විල්ගම්මුල හිමියන් විසින් රචිත අනාගත වංශය අසා සිටීමට ප්‍රිය වූ ශ්‍රවණ රමණීය බණ පොතක් වී යැයි මහාචාර්ය ආනන්ද කුලසූරිය පැවසීය. (සිංහල සාහිත්‍යය - 2, 129පි) එහි බස නූතන කතා සාහිත්‍යයේ බසට කෙතරම් සමීපද යන්න පහත සඳහන් නිදසුනින් පෙන්වා දිය හැකිය. මඟුල් උළෙල දා සිනා නොසුන් මහපනාද කුමාරයා සිනාසෙවන්නට දිව නළුවකු දැක්වූ රංග විලාසය අනාගත වංශ කතුවරයා ඉදිරිපත් කළේ මෙසේය:
‘එකම අනෙක් සැලෙයි. එකම පයෙක් සැලෙයි. එකම ඇසෙක් නටයිත සැලෙයිත වෙවුලයි. ශරීරයේ අන්භාගයේ අතපය, ඇස, බැම,රැවුල නොටනයිත නොසැලෙයිත නොවෙවුලයි. ඒ ආශ්චර්යවත්වූ නෘත්‍ය දැක්ම හා සමග මහපනාද රජ්ජුරුවෝ සිනාසී පූහ./(82 පිටුව)
රටක ජනකායකගේ සිතුම් පැතුම් වලටත් ලේඛකයන්ගේ අත්දැකීම්වලට හා චිත්තාවන්ටත් යානය වන්නේ භාෂාවයි. බුදු සමයෙන් ලද ශික්ෂණයෙන් හා සම්බුද්ධ දේශනා සඳහා උපයෝගී කොට ගත් භාෂාව අනුසරින් වැඩුණු අදීන භාෂා සංස්කෘතියක් අපට හිමිය.
පොදු ජන ජීවිතය හා ඔවුන් විසින් භාවිත උපකරණ ඇසුරෙන් ස්වාධීන ලේඛන රීතියක් හා උපමා රූපක නිපදවූ ආදී සිංහලයෝ කවරම අත්දැකීමක් වුවද ප්‍රකාශ කළ හැකි භාෂා සම්ප්‍රඳායක් ගොඩනඟා ගත්හ. ඒ නිදහස් භාෂා රීතිය අනුබල දුන්නේ අසංකෘත ක්ලේශ චෛතසිකයන් වැඩීම නොව පහන් සංවේග දැනවීමෙන් ක්ලේශ චෛතසිකයන් හික්මවීමයි. මෙය සනාථ කරන කදිම නිදසුනක් පැරණි සීහලට්ඨකථාවකින් හමුවෙයි. එය නම්, ඇල්කෙත් රකිමින් සිටි ගෙවිලියන් ගැයූ ජාති ජරා මරණ ප්‍රතිසංයුක්ත බුදුගුණ ගීත ගායනයට සවන් දුන් භික්ෂූන් වහන්සේ සැට නමක් රහත් ඵලය සාක්ෂාත් කර ගැනීමේ පුවතය. එම සිදුවීම පරමත්ථජෝතිකා අට්ඨ කථාවේ ද කෝට්ටේ කාලයේ රචිත ලොවැඩ සඟාවේද දැක්වෙයි.
ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවස දක්වා වූ අතීතයක් කරා දිවෙන එපුවත සිහි ගන්වන සංවේදී දේශනයකට පසුගියදා සවන් දීමට ලැබීම ඒ සොඳුරු අතීතය පුනරාවර්ජනය කිරීමකැයි හැඟේ. දේශකයා විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායකය. නිමිත්ත වූයේ සුනිල් සරත් පෙරේරා කිවිඳුන්ගේ නිර්මාණ අගැයීමයි. රුවන් ඒකනායකයන්ගේ දෙසුමෙන් ඇසුමසක් මෙසේය:
‘සිංහලයන් වන අපි අපගේ සංස්කාතික මාතාව හඳුනා ගත යුතු වෙමු’ ඒ මාතාව අප අරභයා ජනිත කොට ඇති බසේ ගීතවත් බවට සංවේදී වන නිර්මාණකරුවා විභව වශයෙන් හෙළ මවගේ රාවයත් අනුවේගයනුත් හඳුනාගෙන විවිධ නිර්මාණ දක්වා වර්ධනය කරනුයේ තම ප්‍රතිභා ශක්තියත් ව්‍යුත්පත්තියත් අභ්‍යසනයත් උපයෝගී කර ගනිමිනි’
අද ලේඛන භාෂාව හා කථන භාෂාව සියලුම මාධ්‍යයන් තුළ මෙන්ම ජන සමාජය තුළ ද බරපතල පරිහානියකට බඳුන් වෙමින් පවතී. වෛද්‍ය රුවන් ඒකනායකගේ පූර්වොක්ත හෘදයංගම ඇමතුම දේශිය භාෂා සාහිත්‍ය සම්ප්‍රදායේ සුවඳ ආස්වාදනය කිරීමෙහිලා උනන්දුවක් දක්වන නිර්මාණකරුවන්ගේ නුවණැස පෑදීමට හේතුවනු ඇතැයි සිතමි.
සිංහලයන්ගේ ජීවිතයත් භාෂාවත් සංස්කෘතියත් අතර සුහද එකමිතියක් පවත්නා බවත් ඒ එකමිතිය ගැන හැඟීමක් නැති ලේඛකයකු හොඳ කවියකු හෝ නවකථාකරුවකු හෝ වන්නේ කලාතුරකින් බවත් මාර්ටින් වික්‍රමසිංහ අවසන් වරට ලියා තැබූ ‘ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය’ (1976) නමැති කෘතියෙහි දක්වා තිබේ.