
කර්තෘ - පූජ්‍ය ගැටමාන්නේ ධම්මාලංකාර හිමි
ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි
මිල - රු. 400
ලොව ජීවත්ව සිටින සෑම මනුෂ්‍යයෙකුගේම සෑම ක්‍රියාවක් සඳහාම සිත පූර්වාංගම වන අයුරු සෘජු ලෙසම ප්‍රකාශයට පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේය යන්න අවිවාදාත්මක සත්‍යයකි. ඒ අනුව මනෝවිද්‍යාත්මක ලෙසින් මිනිස් චර්යාවන් දෙස බැලීමටත් ඒවා විශ්ලේෂණය කිරීමටත් පොලඹවනු ලැබූ දැනුම් සම්භාරය විශ්වව්‍යාපී ලෙසත් අර්ථාන්විත ලෙසත් ගොඩ නැගෙන්නේ බුදුන් වදාළ ධර්මය උපකාරවත් කොටගෙනය.
මුලදී බටහිර මනෝවිද්‍යාවට පදනම වූයේ පුද්ගලයා තුළ පවතින්නේ යැයි අදහනු ලැබූ ආත්මය නමැති බලශක්තියයි. එය නිර්මාණවාදී ආගමික විශ්වාසය හා බැඳුණු කල්පිතයකි. Psychology යන්නෙහි මූලික අර්ථය වන්නේ ආත්ම විද්‍යාව යන්නයි. එහෙත් පසු කලෙක නවීන විද්‍යාව මඟින් ලද ආභාසය හා ශික්ෂණය යටතේ එබඳු ආගමික කල්පිතයන්ගෙන් වෙන්ව මනසේ පුදුමාකාර හා සංකීර්ණ ක්‍රියාකාරීත්වය පිළිබඳ වඩාත් ස්වාධීන ලෙස සිතන්නටත් විවරණය කරන්නටත් විද්වතුන්ගේ අවධානය යොමු විය. එහි එක් ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානයෙහි මනෝකායික වෛද්‍ය විද්‍යාවක් (Psychosomatic) පවා බටහිර ලෝකයේ පහළ වී ඇත. එහි මූලික සිද්ධාන්තය වන්නේ කායික සංකූලතා සඳහා මානසික බලපෑමක් ඇත යන්නයි. එනිසාම කයටත් සිතටත් එක්වර ප්‍රතිකාර කිරීමේ ක්‍රමය බිහි වී ඇත. මෙවන් සිද්ධාන්ත බටහිර ලෝකයට අලුත් සොයාගැනීම් වුවද බුදු දහමේ ආභාසයෙන් වැඩෙන සමාජයකට ඒවායේ අමුතු අරුමයක් නැත.
'වින්තන නීයති ලෝකේ, වින්තේන පරිකස්සතී'
(පුද්ගලයා මෙහෙයවනු ලබන්නේත්, ඒ ඒ අවස්ථාවන්ට පමුණුවනු ලබන්නේත් සිත විසිනි) යන ධම්ම පද පාඨයේ ප්‍රායෝගික අර්ථය අප සැමගේ සන්තානගතව මුල් බැසගෙන ඇති බැවිනි.
බෞද්ධ ඉගැන්වීම පෙරටුකරගත් මනෝවිද්‍යාවේ මූලික පරමාර්ථය සත්ත්වයා සුවපත් කිරීමයි. එය කායික සුවතාවත්, එය පදනම වන මානසික සුවතාවයන් යන ඓතිහාසික අංශයත් සංසාරිකසුවය නමැති පාරත්‍රික අංශයත් යන දෙකම අවධාරණය කරයි. නිරෝගීතාව යන්න ආත්මීය අත්දැකීම ඉක්මවා ගිය සාමාජික සත්තාවක් වන අයුරු ද (අසොකං විරජං ඛේමං) අප අත් දකිමින් සිටිමු. ඒ අනුව බෞද්ධ මනෝ කායික චිකිත්සාවන් පිළිබඳ අපේ විශ්වාසය තහවුරු වී ඇත්තේ එය සියලුතැන් සියලු දෙනාටම සුවය හා සතුට (සබ්බත්ථ සොත්ථිං) ළඟාකර දෙන බැවිනි.
මේ ග්‍රන්ථ නිර්මාණය මඟින් පූජ්‍යපාද ගැටමාන්නේ ධම්මාලංකාර හිමිපාණන් ගන්නා උත්සාහ සදුත්සාහයක් වන්නේ ඉහත කී පසුබිම මත සිට කරුණු විමසන විටය. ආගමික හා සාමාජික ක්ෂේත්‍රයේ කාර්ය බහුල ලෙස විවිධ ක්‍රියාකාරකම් හි නියැළෙන උන්වහන්සේ ඒ ඒ අවස්ථාවල අත් දුටු මිනිස් ගැටලු හා දුක්ඛ වේදනාවක් අරභයා ස්වයංව නිශ්චය කරගත් ප්‍රතිකර්ම විධියක් මේ නිර්මාණය මඟින් සමාජගත කිරීමට සම්‍යක් ව්‍යායාමක නිරත වෙති.
අමෙරිකාවේ වර්ජිනියා හිදී 1940 දශකයේ අතිමහත් දාර්ශනික විප්ලවයක් කළ එඩ්ගා කේසි නමැති මනෝ චිකිත්සකයාගේ විස්මයජනක මහජන සේවාව මඟින් එම ක්ෂේත්‍රය කෙරේ ආකර්ෂණය වන කතුවර හිමියෝ එවැනි මනෝ චිකිත්සාවකට ඒ ඒ පුද්ගලයා සතුව එහෙත් සැඟව පවත්නා විභව ශක්තීන් මතු කර ගැනීම සඳහා උපදේශයන් රැසක් මේ පොත මඟින් ඉදිරිපත් කරති.
ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථ නිර්මාණය හා අදාළ තාක්ෂණික ක්‍රමවේදයක් පිළිබඳ පවත්නා ඇතැම් ඌනතා මගහැරගත් විට මේ නිර්මාණය මඟින් සැපයෙන් මාර්ගෝපදේශකත්වය බෙහෙවින් අගය කළ යුතු බව අපගේ හැගීමයි.
පරාර්ථය පිණිස බොහෝ සේවාවන් සිදු කරන මේ ග්‍රනථ කර්තෘවර පූජ්‍ය ගැටමාන්නේ ධම්මාලංකාර හිමිපාණන් ඉදිරිපත් කරන ස්වයං යෝජනා සහිත මානසික අභ්‍යාසයක් මඟින් ඒ ඒ පුද්ගල ප්‍රතිභාවානුගත ප්‍රතිඵල අත් කරගත හැකි වනු ඇත.
පරානුකම්පා පූර්වකව කතුහිමිපාණන් විසින් ගන්නා ලද මේ ප්‍රයත්නය අදාළ විෂයයෙහි අර්ථලාභී හැමගේ නොමඳ පැසසුමට යොමු විය යුතු බව ආශිර්වාද පූර්වකව සඳහන් කරමි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති
ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි