
උදය රුවන් හේරත්
කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය විශේෂවේදී ගෞරව උපාධිය හා සමාජීය විද්‍යාපති පශ්චාද් උපාධිය හිමි කරගන්නා උදය රුවන් හේරත් පාසල් වියේ අට වැනි ශ්‍රේණියේදී ‘නිදන් කොල්ලය‘ යොවුන් නවකතාව (1994) රචනා කරමින් නිර්මාණකරණයට පිවිසෙන්නේ ය. අනතුරුව ඕ තොමෝ ගංගා නම් වූවාය (1999), හෙට අලුත් දවසක් (2007) කෙටිකතා සංග්‍රහයන් ද, හිරු සඳු සේමැයි (2005) කාව්‍ය සංග්‍රහය ද , ගිම්හානේ අග (2007) ගීත රචනා ද, ඉඳුසැව් පාමුල (2006) කෙටි චිත්‍රපටය ද නිර්මාණය කරන්නේ ය. දැනට ජාතික රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති සංස්කාරකවරයකු හා නිෂ්පාදකවරයකු ලෙස සේවය කරන ඔහු විසින් පසුගිය දා ජනගත කළ ‘22 වැනි සියවසේ අභියෝගයට පෙර (2017) සමාජ විශ්ලේෂණ කෘතිය වෙනුවෙන් මෙවර තුරුණු මඬල සංලාපය උදය රුවන් හේරත් සමඟ ය.
• නිර්මාණ කෘති ගණනාවක් රචනා කළ තරුණ ලේඛකයකු ලෙස ඔබ ඉන් ඔබ්බට ගොස් සමාජ විශ්ලේෂණාත්මක කෘතියක් රචනා කර තිබෙනවා. නිර්මාණකරණයේ හා සමාජ විශ්ලේෂණය යන විෂයද්වයේ යම් සාම්‍යයක් ඔබ දකිනවාද?
සැබෑ කලා කෘතියක් කියන්නේ ම සමාජ, ආර්ථික, දේශපාලනික ප්‍රක්ෂේපණයක්. විශ්ව සාහිත්‍යයේ එන ලියෝ ටෝල්ස්ටෝයිගේ “යුද්ධය හා සාමය”, මැක්සිම් ගෝර්කිගේ “අම්මා”, වැනි කතා ගෙන බැලුවත් මේ ලක්ෂණය ප්‍රකට වෙනවා. නිර්මාණකරුවා කියන්නේ සමාජය ප්‍රක්ෂේපණය කරන පුද්ගලයෙක්.
නිර්මාණකරුවන්ට නිර්මාණ කෘති ඔස්සේ සමාජය ආමන්ත්‍රණය කරනවා මෙන් ම යම් විශ්ලේෂණාත්මක කෘති ඔස්සේත් සමාජය ආමන්ත්‍රණය කිරීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලාංකේය සාහිත්‍යයයේ වුණත් මේ ලක්ෂණය අපි දකිනවා. මාර්ටින් වික්‍රමසිංහයන් අපේ අග්‍රගණ්‍ය ලේඛකයායි. ඔහු විටෙක “බමුණු කුලය බිඳවැටීම” කියන ලිපියෙන් සමාජය විශ්ලේෂණය කරනවා. සරච්චන්ද්‍රයන් අපේ ප්‍රමුඛ නාට්‍යකරුවායි. ඔහු සිය “ධර්මිෂ්ඨ සමාජය” කෘතියෙන් සමාජය විශ්ලේෂණය කරනවා. කේ. ජයතිලක, ගුණදාස අමරසේකර වැන්නන් ද එසේ නිර්මාණ සාහිත්‍යයේ යෙදෙන ගමන් සමාජ විශ්ලේෂණ කෘති නිර්මාණය කරනවා. ඒ නිසා මේ දෙකේ යම් සම්බන්ධයක් අපට දකින්න ලැබෙනවා. මා නිර්මාණකරුවකු මෙන් ම මාධ්‍යයේ නියැළී සිටින්නකු ද වශයෙන් සමාජයේ පවතින තත්ත්වයන් පිළිබඳ ව සංවේදී වෙමින් නිර්මාණකරණයේ නිරත වන අතර විශ්ලේෂණාත්මකව සමාජය දෙස දෘෂ්ටියක් හෙළීමේ අවශ්‍යතාවෙන් තමයි මේ කෘතිය ලියන්නේ.
• ඔබ මේ කෘතියෙන් මේ රටේ අධ්‍යාපනයේ සිදු වූ පරිවර්තනය පිළිබඳ ව අවධානය යොමු කරන අතර සාම්ප්‍රදායික අධ්‍යාපනයේ බිඳවැටීම මෙන් ම යළි දේශීය අධ්‍යාපන රටාවක් වෙත යොමු වන ආකාරය විග්‍රහ කරනවා. මේ තත්ත්වය තුළ විසි දෙවැනි සියවසේ අධ්‍යාපනයේ අභියෝගය ලෙස ඔබ අර්ථ දක්වන්නේ කුමක් ද?
මානවයා සන්නිවේදනමය අර්ථයෙන් අධ්‍යාපනයට යොමුවන තැනින් තමයි මගේ මේ සාකච්ඡාව ආරම්භ වන්නේ. ශ්‍රී ලංකාවේ දේශීය අධ්‍යාපනය ආරම්භ වන ආකාරයත්, මිෂනාරී අධ්‍යාපනය සමඟ බටහිර අධ්‍යාපනය මේ රටට එන්නේ කුමන වුවමනාවකට ද කියන කාරණය හා දේශීය අධ්‍යාපනය වළ පල්ලට යවන්නේ ඇයි කියන කාරණා වගේ ම දේශීය අධ්‍යාපනයේ තිබූ සාධනීය ලක්ෂණ මොනවාද කියන කාරණාත් මා මෙහිදී විග්‍රහ කරමින් වර්තමාන තත්ත්වය වෙත අවධානය යොමු කරනවා.
වර්තමානයේ අප දකින පාසල් හා පෙර පාසල් අධ්‍යාපනය ළමයාගේ පෞරුෂය හා මානව සංවේදීතා ගොඩ නැඟෙන අධ්‍යාපන ක්‍රමයක් ද? අධ්‍යාපනය කියන්නේ දැනුම, ආකල්ප, කුසලතා සංවර්ධනය නම් මේ පවත්නා අධ්‍යාපනය තුළ ඒවා කුමන ප්‍රමාණයකින් ඉස්මතුවී තිබෙනවා ද? සත්‍ය වශයෙන් ම බටහිරින් කරපින්නා දුන් සුදු කරපටි මානසිකත්ව අධ්‍යාපනය තුළ මේ සංවර්ධනය සිදුවී නැහැ. විශ්වවිද්‍යාලය අධ්‍යාපනය තුළ සබෑ පර්යේෂකයන් බිහිවී නැහැ. අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් නොතිබීම මත අධ්‍යාපනයේ මානව සම්පත පමණක් නොවෙයි, භෞතික සම්පත්වත් සංවර්ධනය වී නෑ. ඒ වගේ ම අධ්‍යාපනයෙන් බිහිවන මිනිසා පිළිබඳව අපට පැහැදිලි වැඩපිළිවෙළක් නෑ. විශ්වවිද්‍යාලයට ප්‍රවේශ විය නොහැකි දරුවන් යොමු විය යුතු මාවත් පිළිබඳව අධ්‍යාපනයේ නියම විසඳුමක් නෑ. විශ්වවිද්‍යාලයන් තුළ පවතින පාඨමාලා, නූතන වැඩ ලෝකයට හා නූතන අභියෝගවලට මුහුණ දිය හැකි කායික හා මානසික සමබරතාවෙන් යුතු පුද්ගලයකු බිහි කරනවාද? අපට පොදුවේ නූතන වැඩ ලෝකය දිනාගන්න බැරිවීම ම මේ අධ්‍යාපනයේ අර්බුදය ලෙසයි මා දකින්නේ.
• අපේ උසස් දැනුම් පද්ධති බොහොමයක් මේ වනවිට විනාශවී අවසන්. එහෙත් මේ වන විටත් ශේෂ ව පවතින දැනුම් පද්ධති දෙස වුවත් වර්තමාන අධ්‍යාපන පද්ධතියේ අවධානය යොමු වී ඇති බවක් දක්නට නැහැ නොවේ ද?
බෞද්ධ දර්ශනය හා පරිසරය ඇසුරින් ගොඩනැඟුණු දැනුම් පද්ධතියක් අපට තිබෙන්නේ. මිනිසාට වගේ ම පරිසරයටත් ආදරය කරන අධ්‍යාපන ක්‍රමයක් ඇසුරින් තමයි අපේ මහානුභාව සම්පන්න දේශීය වෙදකම, වාරි තාක්ෂණය වැනි දේ බිහි වන්නේ. එහෙත් අප දැන් වෙනත් ම ආකෘතියක සිරවී සිටිනවා. බටහිරින් ගෙනත් අතහැරපු ඒ ආකෘතියෙන් මිදෙන්න අපි තාමත් බයයි. නිෂ්පාදන ආර්ථිකයෙන් පරිභෝජනවාදී ආර්ථිකයට සමාජය පරිවර්තනය වනවිට එහි ඒජන්ත භුමිකාව සිදු කරන්නේ ජන මාධ්‍යයයි. ඒ නිසා සමාජයක ජනමතය නිර්මාණය කරන ප්‍රධාන සාධකය වන ජන මාධ්‍යය තවමත් මේ තත්ත්වය වෙනස් කිරීමට මැදිහත් වී නෑ. ඔවුන් ජනප්‍රිය සංස්කෘතියක් බිහි කිරීමේ හා සියල්ල ඊට අනුගත කිරීමේ වෑයමක කටයුතු කරනවා. දේශීයත්වය, දේශීය දැනුම ඒ න්‍යායපත්‍රයේ සැලකිය යුතු කාරණාවන් වෙලා නෑ. මා ජනමාධ්‍යයට ඇඟිල්ල දිගු කරන්නේ මේ දැනුම් පද්ධති ආරක්ෂා කිරීමට හා ඒවා නැවත සමාජගත කිරීමේ වගකීමක් ජනමාධ්‍යයට තිබෙන නිසායි. ඒ නිසා අධ්‍යාපනයේ පමණක් නෙවෙයි මේක ජන මාධ්‍යයේත් අර්බුදයක්. දේශීය වෙදකම ආරක්ෂා කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට පමණක් බැහැ.ඊට අදාළව සමාජ කථිකාවක්, අලෙවිකරණ ක්‍රියාවලියක් වැනි බොහෝ දේ ඊට අයත් වෙනවා. එහිදී ජනමාධ්‍යයේ වගකීම පෙරටු වෙනවා.
• ඔබත් ජනමාධ්‍යවේදියකු ලෙස ඔබටත් වගකීමක් තිබෙනවා?
අපට ආයතනගත ආකෘති යටතේ මේ දේවල් සිදු කරන්න බැරි වෙන්න පුළුවන්. ආයතනික සීමා අතික්‍රමණය කරන්න කාටවත් පුළුවන්කමක් නෑ. ඒ නිසා තමයි මෙවැනි කෘති ඔස්සේ මේ මොහොතේත් මේ මතවාදය සමාජගත කරන්න හා සංවාදයක් ඇති කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේ ම මා නියෝජනය කරන මාධ්‍ය ආයතනය හා තවත් ඇතැම් පෞද්ගලික නාලිකාත් යම් දුරකට මේ කාර්යයයේ නියැළී සිටිනවා.
• ඔබ මේ කෘතිය තුළ සමාජයේ සියලු පාර්ශ්ව ප්‍රශ්න කිරීම සඳහා මූලාශ්‍රය රැසක් භාවිත කරනවා. එහෙත් ඔබගේ කෘතිය තුළ ඒ මූලාශ්‍රය පිළිබඳ ව ඒතරම් සඳහන් නොවීම නිසා විශ්වසනීයත්වය පිළිබඳ පෙරළා ප්‍රශ්න නැඟෙනවා නොවේද?
මා උපාධි පාඨමාලා දෙකක් සඳහා පර්යේෂණ කෘති දෙකක් ලියා තිබෙන බැවින් මූලාශ්‍රය සහිතව පර්යේෂණ කෘතියක් ලිවීම ඒ තරම් අපහසු දෙයක් නෙවෙයි. මගේ අරමුණ වුණේ තවත් එක් පර්යේෂණ කෘතියක් බිහි කිරීම නෙවෙයි. මේ රටේ සාමාන්‍ය පුරවැසියා රටේ අධ්‍යාපනය, ආර්ථිකය, දේශපාලනය වැනි කාරණා පිළිබඳ ව සවිඥානක විය යුතුයි. ඒ සඳහා අපි ගැඹුරු පර්යේෂණ කෘතියක් ඔස්සේ උත්සාහ දැරීම නිෂ්ඵල කාර්යයක් ලෙසයි මට හැඟෙන්නේ. සාමාන්‍ය මනුෂ්‍යයා අතරට මේ සංවාදය ගෙනයන්න නම් අපි මුහුණ දී තිබෙන මේ අර්බුදය තේරෙන භාෂාවකින් සාමාන්‍ය පාඨකයාට ගෙන යන්න වෙනවා. එහෙත් මා සංඛ්‍යාත්මක දත්තයන්ගේ මූලාශ්‍රය නිතර ම සඳහන් කර තිබෙනවා. ඒ වගේ ම මෙහි එන කිසිදු කාරණාවක් හිතලු හෝ අනුමානයන් නොවෙයි. ඒ බව මෙහි එන පෙරවදන් හා පසුවදන් සපයන ප්‍රාමාණික උගතුන් ද සඳහන් කරනවා. මිනිසාගේ සමාජ ආර්ථික දේශපාලනික සාක්ෂරතාව පෝෂණය කිරීම සඳහා රචිත මේ කෘතියේ මගේ විශ්ලේෂණයන් පිළිබඳව සවිඥානකව සමාජ විචාරයකට ලක් කිරීමට මා සමස්ත සමාජයට ආරාධනා කරනවා.