නගරය කාලය හා මරණය | සිළුමිණ

නගරය කාලය හා මරණය

මහගම සේකර කවියා ‘ව්‍යංගා’ (1960), සක්වා ලිහිණි (1762), හෙට ඉරක් පායයි (1963), මක්නිසාද යත් (1764), රාජතිලක, ලයනල් හා ප්‍රියන්ත (1967), බෝඩිම (1970), නොමියෙමි (1973), ප්‍රබුද්ධ (1977), වැනි කාව්‍ය ග්‍රන්ථවල නිර්මාතෘවරයා ය. ෙම් කෘති කවියකු වශයෙන් මහගම සේකරයන්ගේ වර්ධනය අවබෝධ කර ගැනීමටත් නවීන සිංහල පද්‍ය සාහිත්‍යයෙහි වර්ධනය සලකුණු කිරීමටත් ම‍හෝපකාරී වේ. මෙම කෙටි ලිපියෙන් සේකරයන් ගේ පද්‍ය කෘති පිළිබඳ මූලික ලක්ෂණ කිහිපයක් මතුකොට, මා බෙහෙවින් අගය කරන ඔහුගේ කාව්‍ය රචනයක් වන ‘හඳ සඳ නිව්යෝර්ක් නුවර’ යන්න පිළිබඳ අදහසක් දෙකක් ගෙනහැර පෑම මගේ අභිප්‍රායයි.

‘ව්‍යංගා’ යන්න මහගම සේකරගේ හා කේ. ජයතිලකගේ සම කර්තෘත්වයෙන් පළවුණු ග්‍රන්ථයකි. උදාන කාව්‍ය නිර්මාණයෙහිලා සේකරයන් දැක්වූ නිපුණත්වය. ‘රන් එතනාට කියන කවි’, ‘ධීවර ගීතය’ වැනි කවිවලින් ප්‍රකට වේ. ‘සක්වා ලිහිණි’ කාව්‍ය ග්‍රන්ථය ඔහුගේ මුල් කෘතියට වඩා සාර්ථක ය. මෙහි සේකරයන්ගේ ප්‍රතිභා ශක්තිය විදහා දක්වන ප්‍රබන්ධ ගණනාවක් ඇතුළත් ය.

ඔහ‍ුගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය ‘හෙට ඉරක් පායයි’ යන්නයි. මහගම සේකර කිවිඳුන්ගේ ගවේෂණාත්මක නිර්මාණ බුද්ධියෙහි ස්වරූපය මෙම කෘතියෙන් පිළිබිඹු වේ. වර්තමාන බටහිර කවීන්ගේ මෙන් ම ජපන් කවීන්ගේ ද නිර්මාණවලින් ආභාසය ලබමින් රචනා කොට ඇති මෙම කාව්‍ය සංග්‍රහය සම්පූර්ණයෙන් ම සාර්ථක කෘතියක් ලෙස හැඳින්විය‍ නොහැකි ය. සිංහල කාව්‍ය සංකථන ක්ෂේත්‍රය පුළුල් කිරීමට සේකරයන් තුළ තිබුණු අභිලාසය මෙම ග්‍රන්ථයෙන් ප්‍රකාශයට පත් වේ.

‘මක්නිසාද යත්’ යන්න සේකරයන් ගේ ඊළඟ කාව්‍ය කෘතියයි. සමාජ අනුභූතීන් වඩා ප්‍රගල්භ ලෙස කාව්‍යගත කිරීමට ඔහු දැරූ ප්‍රයත්නය මෙහි මැනවින් සටහන්ව ඇත. සමකාලීන මිශ්‍රණය හා බැඳුණු අත්දැකීම් ගණනාවක් මෙහි විශ්ලේෂිතව තිබේ. කාලයෙහි දෘඪතර බලපෑම වෙනස්වීමෙහි අනිවාර්යත්වය. යුහුව පරිවර්තනය වන ලෝකයක ස්ථාවර මානව සාරධර්ම සොයා ගැනීමේ අව ශ්‍යතාව වැනි තේමා මෙම කෘතියෙන් නිරූපණය කිරීම මහගමසේකර කිවියාණන්ගේ අභිලාෂය විය.

සේකර කිවිඳුන් විසින් රචනා කරන ලද පස්වැනි කාව්‍ය කෘතිය රාජතිලක, ලයනල් හා ප්‍රියන්ත යන්නයි. ඔහු මීට පෙර රචනා කළ කාව්‍ය නිර්මාණවලට වඩා මෙහි නාට්‍යාත්මක සිද්ධි සංඝටනයක් දක්නට ලැබේ. නාගරික ජීවිතයෙහි නිෂේධනීය ලක්ෂණ චිත්‍රණය කිරීමට මහගම සේකර තුළ තිබුණු හැකියාව මෙම නිර්මාණයෙන් පැහැදිලි වේ. නාගරික ජීවිතය හා ගැමි ජීවිතය අතර විද්‍යමාන විසදෘශතා ඔහුගේ මුල් කාව්‍ය ග්‍රන්ථවල ද නිරූපිතව ඇත. එම අසමානකම් වඩාත් තීව්‍ර ලෙස රාජතිලක, ලයනල් හා ප්‍රියන්ත කෘතියෙන් ඉස්මතු වෙයි. ආත්ම විචිකිච්ඡාව හා අවිනිශ්චිතතාව අබිබවා ස්වතන්ත්‍ර, අධිකාරිත්වය මතුකොට දැක්වීමට කවියා යත්න දරා ඇත. සාහිත්යික සංවාදය තුළ විවිධ අත්හදා බැලීම් පැවැත්වීමට කවියා තුළ ඇති උද්‍යෝගය මෙම කෘතියෙන් අනාවරණය වේ.

මීට අනතුරුව මහගම සේකර පළ කළ කාව්‍ය ග්‍රන්ථය ‘බෝඩිම’ යි. බෝඩිම ආඛ්‍යාන කාව්‍යයක භෞතික පරිස්ථිතිය මෙන් ම මාර්ගදේශක රූපකය ද වෙයි. මෙම ආඛ්‍යාන කාව්‍යයෙහි ප්‍රධාන චරිතය ලිපිකරුවෙකි. ඔහු හා සෙසු බෝඩිම්වාසීන් අතර පවත්නා සම්බන්ධතා එහි නිරූපිතව ඇත. නාගරික ජීවිතයෙහි කටුකත්වය තීව්‍ර ලෙස දැක්වීමට කවියාගේ සදය උපහාසය ඉවහල් වේ.

වර්ෂ 1973 දී මහගම සේකර කවියා ‘නොමියෙමි’ කාව්‍ය කෘතිය පළ කළේය. කාව්‍ය වක්තෘ අසනීප වී රෝහලෙහි කල් ගෙවයි. ඔහුගේ සිතුවිලි, හැඟීම්, ධාරණා, විඥාන ප්‍රවාහයන් මෙම කාව්‍යයෙන් මැනවින් මතු වේ. මේ අතර ම පාරිභෝගික සමාජයෙහි අනර්ථකර ලක්ෂණ මෙන් ම ගිලහී යන මානව සා ධර්මයන්හි අවශ්‍යතාව ද කවියා පෙන්නුම් කරයි. මරණයෙහි අනිවාර්යත්වය, එය අභිභවා නැග සිටීමේ වැදගත්කම මෙන් ම එය ස්වාභාවික ප්‍රපංච‍යක් බව ද කවියා ධ්වනිත කරයි. කාලයාගේ කෲරත්වයට නොබියව මුහුණ දීමේ අවශ්‍යතාව සමර්ථනය කරන කාව්‍යෝක්ති ගණනාවක් කවි ගෙතුමෙහි දක්නට ලැබේ.

මහගම සේකරයන් විසින් රචනා කරන ලද අවසාන කාව්‍යය ‘ප්‍රබුද්ධ’ යන්නයි. මෙය ඔහුගේ අභාවයෙන් පසු වර්ෂ 1977 දී පළ කරන ලදි. මෙම කෘතියෙහි පිට කවරයට මම ප්‍රශංසා පාඨයක් සම්පාදනය කළෙමි. එහි මා කියා සිටියේ ‘ප්‍රබුද්ධ’ මහගම සේකර කවියාගේ කවිත්වයෙහි අග්‍ර ඵලය බවයි. මෙම විනිශ්චය අදටත් වලංගු යයි සිතමි. ග්‍රන්ථ නාමයෙන් සූචිත ප්‍රබුද්ධත්වය නැමැති චින්තාව කාව්‍ය ශරීරය පුරා පැතිර ඇත. කවියෙහි වාංමය ගෙතුම එම චින්තාවෙන් ප්‍රමුදිත වෙයි. මෙහි කාව්‍ය ආඛ්‍යානය ස්වර කිහිපයක් ඔස්සේ විකාශනය වයි. පෞද්ගලික සාමාජික හා පාරභෞතික ස්තරවල හමුව කාව්‍යාර්ථය උද්දීපනය කරයි.

පාරිභෝගික සමාජයෙහි අනර්ථදායී බලපෑම් නිසා උද්ගතව ඇති අර්බුදයට පිළිසරණක් බෞද්ධ මානවවාදයෙන් ලබාගත හැකි බව කවියා ගේ විශ්වාසයයි. ‘ප්‍රබුද්ධ’ කාව්‍යය රචනා කිරීමේදී මහගම සේකර කවියා භාෂා උල්පත් ගණනාවකින් ‍පෝෂණය ලබා ඇත. ගැමි වහර, කට වහර, පුර වහර ඔහු සුහද ලෙස සංයෝගය කරයි. කාව්‍ය ස්වරය මනා ලෙස හසුරුවන්නට සමත් මගමසේකර බෞද්ධ චින්තන රටා තුළින් කාව්‍යෝක්ති පණ ගන්වයි.

සාහිත්යික නවීනත්වයෙහි එක් විශේෂ ලක්ෂණය නම් ස්වාත්ම ගවේෂණයයි. නව්‍යවාදය පිළිබඳ ගැඹුරු විවරණ සපයා ඇති මහාචාර්ය පීටර් ගේ මහතා පවසන ආකාරයට ආත්ම පරීක්ෂණයට ඇති ප්‍රියත්වය නාව්‍යවාදයෙහි මුඛ්‍ය ලක්ෂණයකි. මහගම සේකරයන්ගේ පද්‍ය කාව්‍ය විශ්ලේෂණය කරන විට පීටර් ගේ මතුකොට දක්වන යට සඳහන් කරන ලද ධර්මතාව පැහැදිලි ලෙස දැකගත හැකි ය. ඔහුගේ අත්දැකීම් ක්ෂේත්‍ර, රචනා විලාස ශිල්පෝපක්‍රම තුළින් මතුවන්නේ ආත්ම ගවේෂණ අභිලාෂයයි; ජීවන ශක්‍යතාවන් විමර්ශනයයි.

මහගම සේකර කිවිඳුන්ගේ කාව්‍ය නිර්මාණ පිළිබඳ මෙම විවරණයෙහි පිහිටා ඔහුගේ එක් නිර්මාණයක් කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු කැමැත්තෙමි. එම නිර්මාණය නම් ‘හඳ සහ නිව්යෝර්ක් නුවර’ යන්න යි. සේකරයන්ගේ වෙනත් පද්‍යවල දක්නට ලැබනෙ ස්වායත්ත ලක්ෂණ මෙහි මැනවින් සම්මිශ්‍රිතව තිබේ.

කවියා නිව්යෝර්ක් නුවර ආක්‍රමණශීලී නාගරික පරිසරයෙන් පීඩනයට පත්වෙයි. හුදකලා බව හා කනස්සල්ල ඔහු වෙළා ගනියි. ඔහු අචේතනික වස්තුවක් බවට පත්වෙයි. ලෝ‍කයෙහි එහා පැත්තෙහි වෙසෙන සිය බිරිඳ, දූ දරුවන්, නෑසියන් ඔහුට සිහිපත් වෙයි. මේ අතර හදිසියේ ම ගුවනෙහි බබළන සඳ මඬල ඔහු දකියි. එය ඔහුට මැනවින් හුරු පුරුදු, ගමෙහි අහසට උඩින් පෑයූ සඳ ඔහු තුළ සොම්නසක් ජනිත වෙයි. මෙම අත්දැකීම සංක්ෂිප්තතාව ආත්ම කොටගත් අගනා කවියක් බවට පත් කිරීමට කවියා සමත් වෙයි.

විසංයෝජනවාදය ප්‍රිය කරන විචාරකයන් මෙම කාව්‍ය නිර්මාණය තුළ විශේෂ ලක්ෂණ ගණනාවක් දැක ගනු ඇත. කවියා ස්වභාව ධර්මය හා සභ්‍යත්වය අතර පරතරයක් මතු කොට දක්වයි. කවියා පෙළන කනස්සල්ලට මෙය එක් හේතුවකි. ඒ අතර කවියා‍ගේ මනො­්වෘත්තිය වෙනස්වීමට හේතු වන්නේ ස්වභාව ධර්මයෙහි සංකේතයක් වන සඳ මඬලයි. ගමට උඩින් පෑයූ සඳ දැන් නිව්යෝර්ක් පුරයට උඩින් පායා ඇත. එය කවියාගේ පරිකල්පනය තුළ අකාලිකත්වයක් ලබයි. සොබා දහමෙහි මූර්තියක් වන සඳ මඬල දැන් පාරභෞතික ප්‍රභාවන් ලැබ තිබේ. ඒ අතර ම මෙම පාරභෞතිකත්වය කවියාගේ නිර්මිතයක් බව අමතක කළ යුතු ‍නොවේ. වෙනත් වචනවලින් පවසතොත් එය මානව නිෂ්පාදනයකි. විසංයෝජන වාදයෙන් ආභාසයක් ලබන විචාරකයන් මෙම ගවේෂණ පථය ඔස්සේ ඉදිරියට ගමන් කරනු ඇත.

නිව්යෝර්ක් පුරය පිළිබඳ මහගම සේකරයන්ගේ කවිය ස්පාඤ්ඤ ජාතික ෆ්‍රෙඩෙරිකෝ ගාර්සියා ලොර්කාගේ නිව්යෝර්ක් පුරය පිළිබඳ පද්‍ය රචනා සිහියට නඟයි. අධිතාත්වික වාදයෙන් ද එළියක් ලබමින් ලොර්කා සිය පද්‍ය රචනා කළේය. නිව්යෝර්ක් නගරය මතු කළ දැඩි තනිකම කවීන් දෙදෙනාට ම පොදු ය. අනෙක් අතට කාව්‍ය ස්වරය හා දෘෂ්ටිය විසින් සේකරගේ හා ලොර්කාගේ නිව්යෝර්ක් නුවර කේන්ද්‍ර කොටගත් පදවල පැහැදිලි අසමානකම් ද දක්නට ලැබේ.

Comments