ගොඩනැඟිල්ල කඩාවැටී දුන් සංඥාව | Page 2 | සිළුමිණ

ගොඩනැඟිල්ල කඩාවැටී දුන් සංඥාව

 “වැල්ලවත්ත සැවෝයි සිනමා එක ළග තට්ටු හතක බිල්ඩිමක් කඩාගෙන වැටිලා.” මේ ගිය බ්‍රහස්පතින්දා දහවල් වෙද්දී මුළු රටම දැනගත් ප්‍රවෘත්තියකි. මේ ගොඩනැගිල්ල නිකම්ම තට්ටු ගොඩනැගිල්ලක් නොවේ. ද එක්සලන්සි නම් වූ සුපිරි හෝටලයක් ද පිහිටි ගොඩනැගිල්ලකි. මේ හෝටලය කා අතරත් ප්‍රසිද්ධ මංගල ප්‍රිය සම්භාෂණ පැවැත්වෙන උත්සව ශාලාවක් ලෙසය. ඊට අමතරව අමුත්තන් සඳහා එහි කාමර පහසුකම්ද සැපයෙන බව කියවේ. මේ හෝටලය පිහිටියේ සැවෝයි සිනමා ශාලාවට පිටුපසිනි. කෙසේ වෙතත් ද එක්සලන්සි හෝටලයේ කඩා වැටුණු ගොඩනැගිල්ල එහි ප්‍රධාන ගොඩනැගිල්ල නොවේ. එහි ප්‍රධාන ගොඩනැගිල්ලට සම්බන්ධකොට යූ හැඩයට ඉදි කොට තිබු මහල් පහකින් යුතු ගොඩනැගිල්ලකි. එහි අයිතිකරු සහජහාන් නම් මුස්ලිම් ව්‍යාපාරිකයෙකි. වසර හතක පමණ කාලයක සිට ඉදි කෙරෙමින් තිබු මේ පස්මහල් ගොඩනැගිල්ල හදිසියේ කඩා වැටුණේ කෙසේද? කවුරුත් අසන පැනය එයයි. නිල නොවන ප්‍රකාශ අනුව කියැවෙන්නේ නිසි ප්‍රමිතියකින් තොරව මේ ගොඩනැගිල්ල ඉදි කර තිබු බවකි.

කෙසේ වෙතත් පසුගිය සිංහල හින්දු අලුත් අවුරුද්ද දා කොළඹ නගර සභා බල ප්‍රදේශයේ කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ සිදුවූ මහා ඛේදවාචකයකයට සමාන ඛේදවාචයයක් සිදු වීම අනු නවයෙන් වැළකී ගිය බව නම් කිව යුතුය. එසේ නොවන්නට මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් සිදුවු ජීවිත හානිවලට වඩා වැඩි ජීවිත හානි මේ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් සිදු වන්නට ඉඩ තිබිණි. ඊට හේතුව නම් ලබන සතියේ මංගල ප්‍රිය සම්භාෂණයක් මේ හෝටලයේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ පැවැත්වීමට නියමිතව තිබූ නිසාය. ඒ සඳහා යූ හැඩයට ඉදිකොට තිබූ කඩා වැටුණු ගොඩනැගිල්ල සුදානම් කරමින් කරමින් තිබූ බවද කියැවේ. ඒ වෙනුවෙන් පෙදරේරුවන් සහ කම්කරුවන් 40 කට ආසන්න පිරිසක් එහි වැඩකරමින් සිටි බවද කියැවිණි. කෙසේ වෙතත් මේ ලිපිය ලියන මොහොත වන විට සුන් බුන් අතර සිරවී සිටි අයගෙන් රෝහල් ගත කොට තිබුණේ පුද්ගලයන් විසිහත් දෙදෙනෙකි. එක් පුද්ගලයකු සහන කණ්ඩායම් විසින් බේරා ගනු ලබද්දීත් මරු තුරුලට ගොස් තිබිණි. මේ සිදුවීමෙන් තුවාල ලැබුවන් ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ දකුණ ශික්ෂණ රෝහල හෙවත් කළුබෝවිල රෝහලේය. ගොඩනැගිල්ල කඩා වැටෙද්දී එහි සේවය කරමින් සිටි දැනට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන පිරිසක් ගොඩනැගිල්ල කඩා වැටීමට ආසන්න අවස්ථාවේදී තමන් මුහුණ දුන් බිහිසුණු අද්දැකීම් සිළුමිණට විස්තර කළේ මෙලෙසය.

“අපි කඩා වැටුණු ගොඩනැගිල්ල අලුත්වැඩියා කරමින් හිටියේ. එක පාරටම අපි වැඩකරමින් හිටපු තට්ටුවට උඩ තට්ටුව පාත් වෙන්න පටන් ගත්තා. අපිත් එක්ක වැඩ කර කර හිටපු උදවිය මරළතෝනි දෙන්න පටන් ගත්තා. මම මැද ගොඩනැගිල්ලේ පලංචි උඩ බිත්ති බඳිමින් හිටියේ. ඒ වෙනකොට උදේ 10. 30 ට විතර ඇති. ඊට පස්සේ බිල්ඩිම පාත් වෙන්න පටන් ගත්තා. මට බිල්ඩිමෙන් පැන ගන්න විදියක් තිබුණේ නෑ. පස්සේ මං තැනකින් රිංගලා එළියට ආවා.” ගොඩනැගිල්ල කඩා වැටෙද්දී එහි සේවය කරමින් සිටි පෙදරේරුවකු වන රිකිල්ලගස්කඩ ජයන්ත බණ්ඩාර තමන් මුහුණ දුන් බියකරු මොහොත ගැන කිවේ එලෙසය.

“ගොඩනැගිල්ල කඩා වැටෙනකොට මං හිටියේ ගොඩනැගිල්ලේ ඉහළ තට්ටුවක. එක පාරටම බිල්ඩිම දෙදරන්න පටන් ගත්තා. මොකක්ද වෙන්නේ කියලා එක පාරටම හිතා ගන්න බැරි වුණා. ඊට පස්සේ ගොඩනැගිල්ල කඩාගෙන වැටුණා. මාත් එක්ක හිටපු අය දිව්වා. ඒත් මට දුව ගන්න බැරි වුණා. මගේ එක කකුලක් කොන්ක්‍රීට් තට්ටුවකට හිර වුණා. හමුදාවේ සහ පොලිසියේ අය තමයි මාව බේරා ගත්තේ.” ඒ ගොඩනැගිල්ල කඩා වැටෙද්දී එහි ඉහළ මාලයක සිට දිවි බේරා ගත් රත්මලානේ චමිල ප්‍රසාද්ගේ කතාවය.

ද එක්සලන්සි හෝටලයේ යු හැඩති පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් සිදු ඇති හානිය තවමත් තක්සේරු කර නැත. අදාළ හෝටලයේ මෝටර් රථ ගාල් කරනු ලබන භූගත මහල් දෙකක් තිබු බවද කියැවේ. එහි ගාල් කරනු ලබන එක් මෝටර් රථයකින් මසකට රුපියල් 3000 ක් පමණ අය කරනු ලබන බව පැවසේ. වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව ආසන්නයේ ඇති ශාන්ත පීටර්ස් විද්‍යාලයට සහ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය වෙත පැමිණෙන දෙමවුපියන්ගේ සහ පාසල් සේවා වෑන් රථ කඩා වැටුණු ගොඩනැගිල්ලේ පහළ මාලයේ ගාල් කර තැබෙන බවද කියැවේ.

“බිල්ඩින් එක කඩාගෙන වැටෙනකොට මං හිටියේ මගේ කාර් එක ළග. මගේ ළගටත් බිත්ති කොටසක් කඩාගෙන වැටුණා. මේ බිල්ඩින් එක කඩා වැටීමෙන් වාහන හුඟාක් විනාශ වුණා. හුඟ දෙනෙක් විලාප නගන හඬ ඇහුණා.”කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන මෝටර් රථ රිය­ැදුරකු වන ජස්ටින් සෝලංගආරච්චි පැවසීය. කෙසේවුවද සිදුවීමෙන් කොපමණ වාහන සංඛ්‍යාවකට හානි සිදු වුවාදැයි මේ ලිපිය ලියන මොහොත වන විටත් නිශ්චිතව වාර්තා වී නොතිබිණි.

කඩා වැටුණු ගොඩනැගිල්ල ඉදි කිරීම සදහා කොළඹ නගර සභාවේ අනුමැතිය ලබා ගෙන ඇත්තේ 1985 වසරේ බව කොළඹ නියෝජ්‍ය නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න මහතා අප කළ විමසුමකදී කීය. එසේම 2009 වසරේදී ගොඩනැගිල්ලට තවත් මහල් කීපයක් එක් කිරීමට කොළඹ මහ නගර සභාවෙන් අවසර ඉල්ලුව ද එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇත්තේය. මීලිමීටර 10 කම්බි යොදා ගෙන අදාළ ගොඩනැගිල්ලේ ස්ලැබ් සහ කොන්ක්‍රීට් බීම් දමා තිබු බව වැල්ලවත්ත පොලීසියේ ප්‍රකාශකයෙක් තහවුරු කළේය. කොළඹ නගර සභාව විසින් මේ ස්ථානයේ මහල් දෙකක් සඳහා අවසරය ලබා දී තිබුණද හෝටයේ හිමිකරු විසින් වරින් වර තවත් අනවසර මහල් තුනක් ඉදි කොට තිබිණි. එලෙස යු හැඩයට ඉදි කළ මහල් පහක ගොඩනැගිල්ලේ බර උසුලා ගැනීමට නොහැකිව ගොඩනැගිල්ල කඩා වැටෙන්නට ඇති බවද නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි කොළඹ නගර සභාවේ තාක්ෂණික ඉංජිනේරුවෙක් අප සමඟ පැවසීය. මේ ගොඩනැගිල්ලට එකතු කෙරෙන අනවසර මහල් පිළිබඳ කොළඹ මහ නගර සභාවට මහජන පැමිණිලි ලැබී තිබූ බවද ඒ වෙනුවෙන් වගකිව යුත්තන් ක්‍රියාත්මකවී නොමැති බවද අනාවරණය විය.

සාමාන්‍යයෙන් ඕනෑම ගොඩනැගිල්ලක් ඉදි කිරීම සදහා අදාළ පළාත් පාලන ආයතනයේ අවසරය ලබා ගත යුතුය. විශේෂයෙන්ම නාගරික බල ප්‍රදේශයන්හි ගොඩනැගිලි ඉදි කිරීමේදී මේ නීතිය තදින්ම ක්‍රියාත්මක වේ. අනුමත සැලසුමට පටහැනි ලෙස ඉදි කරනු ලබන ගොඩනැගිලි සඳහා නඩු පැවරීම සහ දඩ අය කිරීම බොහෝ පළාත් පාලන ආයතන සිදු කරනු ලබයි. එහෙත් ඇතැම් පළාත් පාලන ආයතනයන්හි තාක්ෂණික ඉංජිනේරුවන් සහ ප්‍රධාන ඉංජිනේරුවන් වෙත මුදල් කුට්ටි හෝ වෙනත් සන්තෝෂම් ලබා දෙන්නේ නම් ගොඩනැගිලි සැලසුමට පිටින් ඕනෑම ඉදි කිරීමක් කර ගැනීම පහසුය. අදාළ හෝටලයේ මංගල ප්‍රිය සම්භාෂණයක් පැවැති අවස්ථාවක ගොඩනැගිල්ල කඩා වැටුණේනම් ජීවිත විශාල ගණනක් විනාශ වීමට ඉඩ තිබිණි. එම නිසා අනවසර ගොඩනැගිලි ඉදිකිරීම වැළැක්වීමට පළාත් පාලන ආයතන තදින් ක්‍රියාත්මක විය යුතු කාලය දැන් එළඹ තිබේ. කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ප්‍රමිතියෙන් තොරව ඉදි කොට ඇති මෙවන් මහල් ගොඩනැගිලි ගැන අවධානය යොමු කිරීම කොළඹ මහ නගර සභාවේ යුතුකමක් සහ වගකීමකි.

කොළඹ මහ නගර සභාව පමණක්ම නොව දෙහිවල ගල්කිස්ස , ශ්‍රීජයවර්ධනපුර කෝට්ටේ වැනි දැඩි නාගරීකරණයක් පවතින ප්‍රදේශවල මෙලෙස අනුමත සැලසුමට පටහැනි ලෙස ඉදි කොට ඇති මහල් ගොඩනැගිලි පිළිබඳ අදාළ මහා නගර සභාවන්හි තාක්ෂණික ඉංජිනේරුවන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ඇතැම් ගොඩනැගිලිවල පවතින දැඩි අනාරක්ෂිත භාවය පිළිබඳ මහජනතාව කොතෙක් පැමිණිලි කළත් එය කනට නොඇසෙන ගානට අදාළ ඉංජිනේරුවන් සිටින්නේ නම් වැල්ලවත්ත සිදු වීම වැනි සිදු වීම් යළි ඇති වීම වැළැක්විය නොහැකිය. මහජන බදු මුදලින් වැටුප් ලබා ගන්නා රාජ්‍ය සේවකයන්ගේ වගකීම එය දැයි ඔවුන් තම හෘද සාක්ෂියෙන්ම විමසිය යුතුය.

Comments