රටවල් අටක් එක පැතුමක් | සිළුමිණ

රටවල් අටක් එක පැතුමක්

ජාත්‍යන්තර ක්‍රිකට් ලොව සුපිරි රටවල් අට දෙපිල බෙදී එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අට වැනි චැම්පියන්ස් ශූරතා ක්‍රිකට් තරගාවලියට එක්ව සිටයි. මූලික වටයේ තරග 12 ක් සමඟින් සමස්ත තරගාවලිය තරග 15 කින් සමන්විතය.

තරගාවලියේ සෑම තරගයක්ම අතිශයින්ම තරගකාරී බව නොරහසකි. ශ්‍රී ලංකාව මැතිව්ස්, ඉන්දියාව කෝලි, පාකිස්තානය සෆ්රාස්, එංගලන්තය මෝර්ගන්, ඔස්ට්‍රේලියාව ස්මිත්, දකුණු අප්‍රිකාව ඒ. බී., නවසීලන්තය කේන් සහ බංග්ලාදේශය මොර්ටාසා යටතේ ද මෙවර තරගාවලියට එක්වෙති. අටවැනි චැම්පියන්ස් ශුරතාවලියට රොද බැඳගත් රටවල් අටම උත්සහ කරනුයේ තරගයෙන් තරගය ඉදිරියට පැමිණ අවසානයේ තම ඉලක්කය සපුරා ගැනීමය.

කෙසේ වෙතත් කිසිම කණ්ඩායමකට සුව පහසු විලසින් නම් මේ ගමන යාමට නොහැකි වනු ඇත. එකී කඩඉමට ළඟා වීමට නම් සෑම කණ්ඩායමකට ම උපරිම වෙහෙසක් දැරීමට සිදුවනු නියතය.

මේ තරගාවලිය කණ්ඩායම් අටටම අමතර බරකි. එකී බර සැහැල්ලුවෙන් බිම තියන්නට නම් සියලුම දෙනා සෑම අභියෝගයකටම අභියෝග කරන තැනක සිට ගත යුතුය. එසේ නැතිව සුපිරි අට දෙනා ගෙන් එක් අයකුට අති සුපිරි විය නොහැකිය.

මේ කණ්ඩායම් අටම අද සෑම තරගයකටම එක්වනුයේ චැම්පියන් ශූරයන් වීමටය. ඒ සඳහා ඇත්තේ ද එක් අවස්ථාවක් පමණි. මේ නිසාම මෙකී අට දෙනාගෙන් වඩාත් දක්ෂ දෙපල අවසන් තරගයට එක්වනු ඇත. එසේ එක්වන දක්ෂයන් දෙපල අතරින් වඩාත් ශූර සහ කාර්යක්ෂම ලෙස අවසන් තරගයේ පාලනය සියතට ගන්නා නායකයාට අටවැනි චැම්පියන්ස් ශූරතාව හිමිවීම වැලැක්වීමට කිසිවකුට නොහැකි වනු ඇත. අප වඩාත් විවෘත වන්නේ නම් මෙකී දුෂ්කර ව්‍යායාමය වඩාත් හොඳින් පාලනය කර ගන්නාට ජය ගැනීමට ඇති හැකියාව ද වැඩිය.

 

Comments