අන්තර් පාසල් ලීග් රග්බි පිටියේ රාජකීය-ත්‍රිත්ව ගොඩ යයි | සිළුමිණ

අන්තර් පාසල් ලීග් රග්බි පිටියේ රාජකීය-ත්‍රිත්ව ගොඩ යයි

පාසල් රග්බි ලීග් පිටියේ තීරණාත්මක සති අන්තය නිමා වූයේ එළැඹෙන බ්‍රැඩ්බි ශූරතාව තරග ද්විත්වයේ පළමු අදියර ලීග් ශුරයන් කරළිගත කෙරෙන අවසන් මහා සටනක පෙර නිමිති පහළ කරමින්ය.

ලීග් රග්බි පිටියේ එක් එක් තරගය බැගින් පරාජය වී ලීගයේ පළමු ස්ථාන තුන අතර පසු වූ ත්‍රිත්ව, රාජකීය සහ ඉසිපතන විද්‍යාලීය කණ්ඩායම් අතරින් ගෙවී ගිය සති අන්තයේ පැවැති ත්‍රිත්ව සහ ඉසිපතන තරගය 15 - 10 ක් ලෙස ත්‍රිත්ව කණ්ඩායම ජය ගැනීම නිසා, බ්‍රැඩ්බි පළමු අදියරයෙන් අවසන්වීමට නියමිත ලීග් තරගාවලියේ පෙරමුණ ගැනීමට රාජකීය සහ ත්‍රිත්ව කණ්ඩායම් සමත්ව තිබේ. ඒ අනුව මේ කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරගය දෙපිලටම අතිශයින්ම තීරණාත්මක වනු ඇත.

රාජකීය සහ වෙස්ලි විද්‍යාලය අතර පැවැති තරගය 35 - 19 ක් ලෙස ජය ගනිමින් ලීග් ශූරතාවට තවත් පියවරකින් ළංවීමට රාජකීයෝ සමත් වූහ. දැන් ලීග් කිරුල සටන ත්‍රිත්ව සහ රාජකීයන් අතර සටනක් බවට පත්ව තිබේ. දෙපිල අතර පැවැත්වෙන බ්‍රැඩ්බි පළමු අදියර ලීග් ශූරයන් සොයා යන අවසන් මහා තරගයක ස්වරූපයක් උසුලනු ඇතැයි රග්බි ලෝලීහු බලාපොරොත්තු වෙති.

රාජකීය වෙස්ලි තරගයේ ලකුණු පුවරුව දඬුවම් පහරකින් ක්‍රියාත්මක කළේ වෙස්ලි ක්‍රීඩකයන්ය. ඒ අනුව පළමු අර්ධය 9 - 7 ක් ලෙස පෙරමුණ ගන්නට වෙස්ලි ක්‍රීඩකයන් සමත් වුවද. දෙවැනි අර්ධයේදී සියල්ල කණපිට පෙරලාගත් රාජකීයයෝ 35 - 19 ක් ලෙස තරගයේ නිමාව සටහන් කරගනිමින් එළඹෙන බ්‍රැඩ්බි ශූරතා තරගාවලියේ පළමු අදියරයට රාජකීය - ත්‍රිත්ව ද්වි ශූරතාවන් සඳහා දොරගුළු විවර කර ගැනීමට සමත් වූහ.

මේ අතර ශාන්ත ජෝශප් සහ ශාන්ත තෝමස් කණ්ඩායම් අතර පැවැති තරගයෙන් ශාන්ත ජෝශප් කණ්ඩායම ජය ගත් අතර, සහිරා සහ ශාන්ත පීතර තරගයෙන් ශාන්ත පීතර කණ්ඩායම ජය ගැනීමට සමත් විය.

Comments