චීනය සූර්ය බලය දෙගු ණ කරයි | Page 2 | සිළුමිණ

චීනය සූර්ය බලය දෙගු ණ කරයි

 ලොව වැඩිම ජනගහනය සහිත රාජ්‍යය, ලොව විශාලතම හමුදාව සහිත රාජ්‍යය හා ලොව දෙවැනි ආර්ථික බලවතාද වන චීනය ලොව විශාලතම සූර්ය බල ශක්ති නිෂ්පාදකයා ලෙස අලුත්ම වාර්තාව තබා තිබේ. පසුගියදා ජාතික බල ශක්ති පාලන ආයතනය ඒ බව නිල වශයෙන් නිවේදනය කළේය. එහිදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ ඉකුත් වසරේදී ඔවුන් සූර්ය බල වෝල්ටීයතා ධාරිතාව දෙගුණයක් කරගැනීමට සමත්ව ඇති බවයි.

2016 වසර අගදී එම අගය සටහන් වූයේ ගිගා වොට් 77.42ක් වශයෙනි. රටේ ජනගහනයත් සමග සසඳන විට ඉතා කුඩා ප්‍රතිශතයක් ලෙස මෙය හඳුනාගත හැකි වුවද සූර්ය බල ශක්තිය ඉපදවීම සම්බන්ධයෙන් සලකන විට එය කිසිසේත් සුළු කොට තැකීමට නොහැකිය.

චීනයේ සමස්ත බල ශක්ති උත්පාදනයෙන් සූර්ය බල ශක්තිය මගින් සපුරාලන්නේ සියයට එකකි. එහෙත් පරිසර හිතකාමී බලශක්ති ප්‍රභව ගැන වඩවඩාත් අවධානය යොමු කිරීමට පටන් ගැනීමත් සමග මේ තත්ත්වය වඩාත් වර්ධනය වන බවට සැකයක් නැත.

ජාතික බලශක්ති පාලන ආයතනය පවසන පරිදි ඉදිරි තුන් වසර තුළ අමතර ගිගාවොට් 110කට වැඩියෙන් ජාතික බලශක්ති උත්පාදනයට එකතු කිරීමට අපේක්ෂා කෙරේ. එමගින් චීනයේ පුනර්ජනනීය බලශක්ති භාවිතය වසර 2030 වන විට සියයට විස්සක් වනු ඇත. දැනට එය සියයට 11ක් පමණ වේ.

චීනයේ භූගෝලීය ලක්ෂණ විශාල පරිමාණයෙන් සූර්යකෝෂ පැනල ස්ථාපිත කිරීමට හැකි වන අයුරින් පිහිටා තිබීම වාසිදායක තත්ත්වයකි. ඉකුත් වසරේදී ෂැංඩොක්, ෂිංජියැංග් සහ හෙනාස් පළාත්වල සූර්ය බලශක්තිය භාවිතය විශාල ලෙස ඉහළ නැංවී තිබේ. ෂිංජියැංග්, ගංෂු, කිංහායි සහ මොන්ගෝලියාව ඇතුළත එම සමස්ත ධාරිතාව 2016 වසරේදී සපුරා ගැනිණ.

ෆොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වීම සඳහා කිරීමට සිදු වන ආයෝ්ජනය ඉතා විශාල වේ. එහෙත් එම ආයෝජනය කිරීමට චීනය සූදානම් බව මේ වන විටත් පෙන්නුම් කර තිබේ. වාර්තා වී ඇති පරිදි මේ දශකය අවසන් වන විට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කරා යොමුවීම වෙනුවෙන් චීනය යෙදවීමට අපේක්ෂා කරන මුදල යුවාන් ට්‍රිලියන 2.5කි. අමෙරිකා ඩොලර්වලින් නම් එය බිලියන 364ක් වේ.

පරිසර හිතකාමී බලශක්ති ප්‍රභව සඳහා නැඹුරු වීම වෙනුවෙන් තමන් දක්වන ප්‍රයත්නය සහ එම කැපවීම ලොව පුරා සෙසු ජාතීන් විසින්ද අනුගමනය කරනු ඇත යන්න චීනයේ අපේක්ෂාවයි.

අයර්ලන්තය පසුගියදා පනතක් සම්මත කරමින් ෆොසිල ඉන්ධන භාවිතය අත්හළ ලොව පළමු රාජ්‍යය බවට පත් විය. තවත් රටවල් කිහිපයකම ෆොසිල ඉන්ධන වෙනුවට යොදා ගත හැකි වෙනත් නිර්මාණශීලී විසඳුම් කෙරෙහි අවධානය යොමු කර අවසන්ය.

නිදසුනක් ලෙස අයිස්ලන්තය ලොව විශාලතම භූ තාප බල ශක්ති උත්පාදන ළිඳේ කැණීම් කටයුතු සිදු කරමින් සිටීම දැක්විය හැකිය.

දේශගුණික විපර්යාස සඳහා වැඩිම බලපෑමක් ඇති කරන රටවල් අතර චීනයේ නමද ඉහළින් සඳහන් වන පසුබිමක පුනර්ජනනීය බලශක්ති සඳහා චීනයට ඇති කැප වීම හා උනන්දුව ඔවුන් දෙස වෙනත් දෘෂ්ටිකෝණයකින් බැලීමට අවස්ථාව සලසා දෙනු ඇත.

ධම්මික සෙනෙවිරත්න

Comments