
සිටුගෙදර මල් ගස
දරාගෙන මල් රැසක්
හිනැහේය තුරු හිසක්
සුවඳ, හැඩරුව මිසක්
මුසු නොවුණු වසවිසක්
සරු පොහොර මුසු පසක්
දියෙන් තෙත සිසිලසක්
මිස නොවිඳි සරතැසක්
එය, සිටුගෙදර මල් ගසක්
අතින් ගෙන හිස් පැසක්
නඟා මුව මඳහසක්
ඇදුණාය උවැසියක්
සොයා මල් ඇති ගසක්
ගෙවී ගිය මුළු මසක්
නොලැබ වැහි මුහුලසක්
ඉපල් වූ තරු මිසක්
හමු නොවිණි මල් ගසක්
මැඳුර නොපෙනෙන උසක්
හිමි පවුරු පදනම් මිසක්
නොම දිටී කිසි ඇසක්
සිටුගෙදර මල් මිසක්
අජිත් නිශාන්ත
ආදරය
ඔබ මා හමු වන තුරු
ගෙතුවෙමි දහසකුත් කව්
ආදරය, සෙනෙහස මේයැයි කියා
සිත්තම් කළෙමි එලෙසම
ආදරය කිමයැයි කියා
කළෙමි දේශාටනය
මිතුරු කැල හා
සිත් විඳින්නට ඇති පුරා
එහෙත් මම දැන්
ආදරෙයි ඔබට
එක තැන කරකැවී, අක්‍රීය වී
නැවතී ඇත මා දිවිය
ඔබ අබියස,
ඔබ හැරෙන්නට
අන් ලොවක් මට නැති නිසා
සමන් හේරත්
ඈ
මන බන්දනී
හද රන්දනී
නෙතු කැන්දනී
නුඹ නන්දනී
සෙනෙවි ගුණවර්ධන
දියවන්නා ගීතය
වියපත් සිතකට පවනේ සඟවා පර වුණු කුසුමක් සෙනේහයේ
සුසිනිඳු සියුමැලි සුවඳ උරාගෙන මල් පූදිනවා පබාතයේ
හඬන්න අහසට වැහි දිය මඳි දා දියවැල් වී දියවන්නාවේ
සැඟවී ඉන්නම් මරු මඟ එන තුරු පාළු නිසා දිවි සැන්දෑවේ
තරු මල් පූදින සඳ අම්බරයේ නුඹ නෙතු මා නෙතු වී යාවේ
ආදර ගං දිය ගලා ගියාවේ මත කොවුලිඳු ගී ගැයුවාවේ
ජයම්පති අල්ගම
රැවටීම
ජීවිතේ අඳුරු අම්බලමේ
මරණයේ ආඩපාලි හඬ අස-අසා...
ඇසට හසු වන රූපයන්ගෙන් මත්ව
කන සොයන විපරීත
ශබ්දයෙන් කුල්මත්ව
සමට දැනෙන ස්පර්ශයට
ආදරයයැයි කිය-කියා
රූපයට වසඟ වී...
හැඳ සළුපිළී
සරුවපිත්තල ලොවක් මවා
රවටයි අපි අපේම සිත...
චාටු බස් දොඩ-දොඩා
මෝහයෙන් මන්මත්ව
රවටාගනිමු අපි අපේම සිත...
සුමිත් ප්රියදර්ශන
ඔබ කළ යුතුව ඇත...
අපවත් වුණා ගරු නාහිමි දවුල් දෙණ
විපතක් වුණා එය හැම සිත් තැවුල් දෙන
උපනත් දෙව්ලොවේ කළ පින් කුසල් ගෙන
සැපවත් නිවන් පතනෙමු අපි සියල් දන
හිස් වී ගිය හෙයින් සකු බස් මහරු කෙත
තොස් කොට නැවත සරසා ගත යුතුව ඇත
විස්කම් නොසඟවා ඔබ හදමඬල මත
දස්නක් කර මුදනු මැන සකු සොඳුරු කත
දහමට ළැදිව සරසවි සිප් සතර දෙන
සහයෝගයෙන් මැද පිළිවෙත හසුරු වන
මහනාහිමි අඩුව සපුරන තරළ මිණ
මහ ඇදුරිඳුතුමනි, ඔබ මිස කවුරු වෙන
සකු බස උසුරුවන විට දෙවිවරුන් බැස
අකුරට සුමට පිළිතුරු කළ යුතුය බස
මුකුළිත නොවන්නට අප ලක්මවගෙ ඇස
විකුමැති පෙළහරක් පෙන්වනු ඉදිරි පස
සඳමඬලකින් එන සොමි රැස් දහර දොවා
පද බැඳ සකු මගද එළු බස රසය නවා
විඳ විඳ රස පහස දෙන්නෙන් හදෙහි හොවා
අද සුරුගුරු ඔබයි පෙර’පර දෙදිග පවා
නුඹ ගැබ සඳ මඬල ලෙස නැඟී මෝරන
සබ මැද ගැටලු හැර දී වියත් තීරණ
බබළන ඔවා මිණි දී ශිල්ප ධාරණ
ඔබ කළ යුතුව ඇත සකු විකුම පූරණ
සොල්වා ඔබේ නැණ පබැඳුම් එළිය දිදී
'කල්පලතා', 'නැණ සිළුමිණ' තරග වදී
මල් හටගැනී 'දූ ගීතය' සුවඳ විඳී
දුල් කර තබනන්ට මගෙ පොඩි දැනුම මදී
චන්ද්‍රිකා දිසානායක
පිනිබිඳ
සීත පිනිබිඳු වැටී මුව මත
බිඳී විසිරී යළිත් මිහි මත
ඉකි ගසා රෑ පුරා දෙඩුවේ
සොඳුරු අහසට පිදූ සෙනෙහස
තාරකා මල් පිපී හිනැහුණ
සොඳුරු අහසේ රුවට පෙම් බැඳ
වලා සළුවක් නැඟී හිනැහී
පෙනී දිස් වන මහ අපූරුව!
සොඳුරු රැය ආනන්දවත් කර
උදා විය සුන්දරම පුන් සඳ
අහස සඳ හා සෙමෙන් පෙම් බැඳ
කඳුළු බිඳුවක් උනා පිනි බිඳ
වගීෂා ඕෂිණි
විපුල්
සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
කීවත් දල්වා ගිනිදැල්
නික්මිලා ඔබ ගියා, විපුල්
සැඟවූයේ හසරැල්
දැල්වූයේ ගිනිදැල්
හිමි වූයේ ළතැවුල්
හැම නෙතකම කඳුළැල්
සුවඳ දි-දී හැම කල්
පිපුණා ඔබේ ගී මල්
තව පවතීවි බොහො කල්
ඔබේ ඒ සුවඳ විපුල්
ජයන්ත ග. ජෝතියරත්න
මැයි 25 දිනට යෙදී ඇති, ප්‍රවීණ ගීපදරචක විපුල් ධර්මප්රිය ජයසේකරයන්ගේ තුන්වන ගුණානුස්මරණය වෙනුවෙනි.
වැස්සේ, කිම මෙලෙස...?
ඉර ඉහළට යන්න දඟලන වෙලාවේ
දුර ආකාස ගව්වක නුඹ මුළාවේ
සරදම් කළත් වැතිරී නුබ තලාවේ
තරහක ලකුණු නැත පියඹන වලාවේ
වැහි කළු පුරෝගෙන ඔබ-මොබ හොඳටෝම
සිහිතල ඉසව්වක සිට හිටිහැටියේම
කොහි යෙද අහස් කුස පහළින් නොකියාම
මිහි මත මා පමණි වටපිට බැලුවාම
සිව් දිග අඳුරු කර දාහය බිම හිඳුවා
අවුකූටකය නොතකා හෙවණැලි හැදුවා
මැවු විදුලිය රිදී රේඛා පොර බැදුවා
දිවුවලු වැස්ස අතරට හෙවණට නොදුවා
බිඳ සත් කඩක් ගන සළු අබරණ ඈගේ
දෙදරවමින් නැඟෙන හඬ හග්ගුඩුවාගේ
හදවත කම්පනය කරමින් එන වේගේ
බැඳ සමනය කරන හැටි අහසට නෑඟේ
කඳු ඉහ මුදුනෙ ගිරිකූටය පිරිමදින
මුදු අත්පසුරු සිහිලස සියොලඟ හැඳින
රැඳුණත් බැහැර නොම යන සේ මන බඳින
පුදුමෙකි අහස් ගඟ එක තැනමය මෙදින
එළඹෙන වැහි කෝඩ පලවා අඳුර මැඬ
වෙලපෙතිවලට පහළින් හිස් අහස උඩ
කලබල නැති ඉමෙහි සියොතුන් නඟන හඬ
නැළවිලි ගීතයකි, දෙමි හදවතෙහි ඉඩ
බැස්සේ කළු වලා පෙළ කලකට පස්සේ
දෙස් දේ දෙණිය, ඕවිට ඇළ දොළ ගැස්සේ
හිස් වේ අහස තව තව ඉහළට ඉස්සේ
වැස්සේ, කිමද වැස්සක් ලෙස නොම වැස්සේ?
ජයසිරි රුවන්පතිරණ
කොහේද ඉන්නෙ තාත්තේ..?
ඒ කාලේ සෙරෙප්පු දෙක පඩිය උඩම තිබුණේ
දැන් ඒකත් එතැන නැහැනෙ ඒ බව මට දැනුණේ
හිටි ගමන්ම මොකද වුණේ හිතාගන්න බැහැනේ
කියන්නකෝ තාත්තෙ දැන් කොහෙද කියා ඉන්නේ
හැමදාමත් කොහේ ගියත් මා ළඟටයි එන්නේ
හිස අතගා කෑවද කියලයි ඔබ විමසන්නේ
ගේ පුරාම ඇවිද ඇවිද තාත්තා සොයමින්නේ
තවමත් මම ළතවන බව නැහැ කවුරුත් දන්නේ
නිඳියන ඇඳ ළඟට ගියත් ඔබෙ සුවඳයි දැනුණේ
ඒ ඇඳ උඩ බැලුවා මම එතැනත් නැහැ උන්නේ
නිතරම සිටි ලියන මේසෙ ළඟත් සුවඳ දැනුණේ
එතැනත් නැහැ හිටියේ සෙනෙහස පමණයි දැනුණේ
එක දවසක් ගේ පුරාම සෙනග පිරී උන්නේ
මොකද කියා බලාගන්න නැහැ අවසර ලැබුණේ
ගේ මැද ලොකු පින්තූරයෙ තාත්තනේ ඉන්නේ
එතනට වැඳ නවතින්නට මට අවසර දෙන්නේ
තිලකා රණේපුර
වැස්ස වහින්නෙ
කෙළින් වුණාට
දිය පාර ගලන්නේ
හරහට
කල්ප එරන්ද
ආදර මැණික
සිතිවිලි බිඳී හද ඉකි ලන පාළු රැයේ
නෙතු අග ඉඟි කළා, සුසුමක රිදුම ළයේ
මතකය පාරවන විට නුඹ පැයෙන් පැයේ
සිත යට උපන් සැනසුම සිත තුළම මියේ
අරුණලු සලා පිබිදුව මල් මකරන්ද
හිරු සැඟවුණා දී ගනඳුරු දුක් කන්ද
තුරුලට වෙලා නුඹ ළඟ සෙනෙහස බැන්ද
මිරිඟුව සිහිනයක් විය පෙරදින වින්ද
නෙතු යුග හඬද්දී රුදු හුදෙකලාවේ
ඇතිරුණි අම වදන් හද තැනිතලාවේ
සැතපී සෙනෙහසින් මැව් රස ගුලාවේ
මතකය තියා සඳ නිඳි නිල් වලාවේ
හිඳ සෙනෙහසින් ළං වී සිහිලස කැන්දා
හද පෙම් අම බසින් උණුසුම් කළ හින්දා
රිදවා ගියත්, නොකියා වදනින් නින්දා
සඳ නැති රැයේ තරු තනිවම ඉකිබින්දා
චතුරි අනූකා දොඩම්පෙ
සීගිරි රූ සිරි!
රන්වන් උන්
නිල්වන් උන්
බෙයද පුරා
මල් මල් උන්
රනේ රුවට
වැට්කොල් මල්
නිලේ නිලට
කට්රොල් මල්
පැතලි ගලේ
ගී ලියවේ
රජුට පිදේ
අපට කොහේ?
බන්දුල වර්ණකුලසූරිය
වැසි වස්සන්න
Let It Rain
වස්සන්න දෙවියනි, වැසි වස්සන්න
සෝදා හරින්න මා සංතාප, වේදනා
මුසු කරන්න මා කඳුළු ඇද හැලෙන වැස්සටම
හරවමින් ශෝකය මල්වලට
නෙරපා නොරිස්සුම, ආත්මයෙ යහපතට
ඉඩ දෙන්න මා හදට, හඟිනු එහි සොබාවට
ශෝධනය කළ මැනව පෙර දිනේ පාපයන්
තිරිහන් කරනසුලු ඔබෙ දියර ඉසිනයෙන්
පොද වැසි වේලයක පිටුපසින්
කඳුළු වියැකෙයි, කාංසාව නවතියි
මිදී අද වේදනාවලින්, බොරු මතවලින්
නොපැකිළව ඈතකට ඇවිද යනු හැකි හෙයින්
විස්මිතයි බෝ, රස මිහිර නිදහසේ
කුන්දු ගසමින් යමි, රඟන මා පා මතේ
සැණින ඇරැඹුම ගනියි වැඩෙන්නට අපේක්ෂා
දිරි ගන්වමින් මසිත, ගමන’තර
එමිල් පයිනට් - කැනඩාව
කවියේ කථකයා, සිය ජීවිතයේ පරිපීඩනයන්ට යටපත්ව සිට, අද යම් සමහන් වීමක් ලැබ එහි ප්රහර්ෂය ප්‍රකාශ කරන බවක් පළ වේ. ඒ සහනය විසල් නිදහසක් සේ හඟින කථකයා, හෙට දවස ගැන වඩාත් අපේක්ෂාසහගත වෙයි.
කවියේ රචක එමිල් පයිනට්, කැනඩාවේ බර්න්ස්වික් ප්රදේශයේ කුඩා නගරයක ඉපදුණෙකි. ගැහැනු දරුවන් දස දෙනකු හා පිරිමි දරුවන් තිදෙනකු වශයෙන් වන දහතුන් දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැන්නා එමිල්ය. පරිසමාප්ත තත්ත්වයක නොවූ පවුල ගොඩනඟාගැනුණේ තරමක් දැඩි ස්වභාවයක් පෑ පියාත්, ආදරයෙන් දරුවන් පෝෂණය කළ මවත් එකතු වී බව එමිල් පවසයි. සිය කවි බහුතරය, තම දිවිය ගොඩනැඟුණු අයුරු හා පරිසරයේ ආදරණීය ස්වභාවය පිළිබිඹු කරන බවද කවියා සටහන් කරයි.
පරිවර්තනය - දේ.වි. ගාල්ලගේ
වෙන් වීම
ළෙන්ගතුකම සුපුරුදු ලෙස දැනිලා
එක් වූයේ දෑඟිලි පටලා
පෙම් බස් දෙඩුවේ සිත් බැඳිලා
තුන් ලෝකෙම අමතක කරලා
පෝරු මස්තකේ විවාහ වූයේ
සාක්ෂිකරුවන් ගෙන්වාලා
මධු සමයට පියමන් කෙරුවේ
සතර වරිගෙන්ම ගුණ අහලා
දුර සිටි ඔබ නොව
ළඟට පැමිණි කල...
ජීවිතයෙන් මට පසක් වුණේ
සියල්ල අතහැර වෙන් වී ආවේ
විනිසුරුවන් ළඟ ගතු කියලා
ළෙන්ගතුකම සරදමක් වුණේ කිම
තනිකම තනියට ළඟ තියලා
සරෝජනී තිබ්බොටුගේ
තාදී
සඳ එළිය
යට ගිනිමැලය
දැවෙන හැටි
එන්.ඩබ්ලිව්.පී. ලාල්