ආනන්දට අවාසනාව උරුම කරමින් නිමා වූ සැලලිහිණි වසන්තය | Page 2 | සිළුමිණ

ආනන්දට අවාසනාව උරුම කරමින් නිමා වූ සැලලිහිණි වසන්තය

 අයියා වේගයෙන් පැමිණ වංගුවක් ගැනීමට යාමේදි යතුරු පැදි දෙක එකිනෙකා පැටලීමෙන් පාලනය ගිලිහී යාම නුවරඑළිය මෝටර් රථ සහ යතුරු පැදි තරගාවලියේදී ආනන්ද වෙඩිසිංහ සහ තමා මුහුණ දුන් දරුණු අනතුරට ‍ප්‍රධාන හේතුව බව යතුරු පැදි ධාවන ශූර සුරාජ් පෙරේරා මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

සුරාජ් වැඩිදුරටත් පවසන්නේ මෙවර තරගාවලියේ වේග සීමා ඉවත් කර තිබීම ද ධාවකයන්ගේ යතුරුපැදිවල වේගය වැඩිවීමට හේතු වූ බවයි.

මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ යතුරු පැදි ධාවකයකු වන ආනන්ද අනතුර සිදු වූ පසුගිය 23 දා සිට ම මේ සටහන තබන විටත්, මහනුවර මහා රෝහලේ ‘දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් ශ්වසන උපකරණ ආධාරයෙන් ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ නුවරඑළිය මෝටර් රථ සහ යතුරුපැදි තරග අතර සිදුවූ පළමු හෝ අවසන් අනතුර නොවේ. මීට වසර නවයකට පෙර මෝටර් රථ ශූර ඩිල්ෂාන් බණ්ඩාරනායකට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූයේ ද මේ ධාවන පථයේදීමය. ඊට පෙර ද මෙකී ධාවන පථයේ සිදු වූ අනතුරුවලට ලක්වූ ධාවකයන්ගේ ප්‍රමාණය මෙතැකැයි කිව නොහැකි තරම්ය.

මෙදා ආනන්ද වෙඩිසිංහ ජීවිතයත් මරණයත් අතර සටන් කරද්දී එදා දරුවන් දෙදෙනකුට සදාදර පියකු, බිරියකට දයාබර සැමියකු, පවුලකට ඥාතියකු, සගයිනට හිතමිතුරු සගයකු අහිමිව ගියේ ද මෙකී ධාවන පථයේදීම ය. තිස් අට වියැති ඩිල්ෂාන්ට සිය ජීවිතයෙන් සමු ගැනීමට එදා සිදු වූයේත් අද ආනන්ද දරුණු අනතුරකට ලක්වූයේත් මෝටර් රථ ධාවන පථයක හෝ යතුරුපැදි ධාවන පථයක තිබිය යුතු නිසි ප්‍රමිතිය, ආරක්ෂාව සහ සුරක්ෂිත බව නුවරඑළියේදී හීනවී ගිය බැවිනි.

නුවරඑළිය වසන්ත සමය පෙරදැරි කොට පවත්වනු ලබන අංග අතර නුවරඑළිය රෝඩ් ‍රේස් තරගාවලියට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මෙකී ප්‍රමුඛ ස්ථානය ක්‍රීඩකයකුට සුදු කොඩි ඔසවන තැනකට මඟ කියන තැනක් නම් මෙකී ස්ථානය පිළිබඳ දැන්වත් පමා නොවී තීන්දු තීරණ ගන්නා තැනකට බලධාරින් එක්තැන් විය යුතුය. තරග සංවිධායකයන් බුරුතු පිටින් අනුග්‍රාහකයන් ද ඒකරාශි කර ගනිමින් තරග සඳහා ඇතුළත් වීමේ ගාස්තු අසීමිතව අය කර ගැනීමේ අටියෙන් තරගකරුවන් ද හැකි තරම් එකතු කර ගනිමින් පවත්වනු ලබන මෙකී තරගාවලිය මුදල් ඉපයීමේ ජාවාරමක් බවට නැගෙන චෝදනා ද මෙවැනි සිදුවීම් හරහා කිසිසේත් ම බැහැර කළ නොහැකිය.

මාර්ගය ධාවන පථයක් වෙලා

මෙකී ධාවන මාර්ග තරගකරුවන් සහ ප්‍රේක්ෂකයන් අතර වඩාත් ප්‍රචලිතව ඇත්තේ රේස්කෝස් වට රවුම ලෙසය. රේස්කෝස් වටරවුම ‍මෝටර් රථ ධාවන තරග සඳහා පමණක් නොව, සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 50 - 75 ක වේගයකින් වාහනයක් ධාවන කිරීමට සුදුසු මට්ටමක පවතින මාර්ගයක් නොවන බව මෝඩ සංවිධායකයන්ගේ මැටි මොළවලට නොතේරුණාට මේ පිළිබඳ දැනුමැති ඕනෑම කෙනෙක් දන්නා සාමාන්‍ය කරුණකි. කොටින් ම මෙය ධාවන පථයක් නොව ප්‍රධාන මාර්ගයකි. මෙකී මාර්ගයේ සාමාන්‍යයෙන් ධාවන තරග පවත්වන දින දෙකේ පෙරහුරු තරග සහ තරග පවත්වනු ලබන හෝරා කිහිපයට පමණක් වසා දමා ධාවන පථයක් කර ගන්නා මාර්ගයකි.

තහනම් කිරීම

මෙවන් අනාරක්ෂිත මාර්ගයක මෝටර් රථ ධාවන තරග පැවැත්වීම වසර කිහිපයක් ම අවසර ලබා නොදී ඇති බව ද ප්‍රකට කරුණකි. ඩිල්ෂාන් ජීවිතයෙන් සමුගත් 2008 දී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නුවරඑළිය නාගරික කොමසාරිස්වරයාට මාර්තු 15 දා ලිඛිතව දැනුම් දී ඇත්තේ මෝටර් රථ ධාවන තරග තහනම් කිරීම පිළිබඳ හා යතුරු පැදි තරග පමණක් පැවැත්වීමට අවසර ලබාදීම පිළිබඳ කරුණු සලකා බලන ලෙසය. ඒ නුවරඑළිය ධාවන පථය මෝටර් රථ ධාවන තරග සඳහා සුදුසු මට්ටමක නොපවතින බව සඳහන් කරමින් 2008 මාර්තු මාසයේ මුල හිටපු ප්‍රවීණ ධාවන ශූරයකු වූ චන්ද්‍රා ද කොස්තා හිටපු ජනාධිපතිවරයාට යොමු කර තිබූ ලිඛිත දැනුම් දීමකට අනුවය.

ඩිල්ෂාන්... වන්දි ගෙවීම

උක්ත ඉල්ලීම පවා ගණනකට නොගෙන සංවිධායකයින් කටයුතු කිරීම නිසා ඩිල්ෂාන්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු වූ අතර, එකී ජීවිත වන්දියට නිසි ක්‍රියාමාර්ග නොගෙනීම නිසා අද ආනන්ද වෙඩිසිංහට ද එකී පාප කර්මයට ම කර ගසන්නට සිදු ව තිබීම කනගාටුවට කරුණකි. මෙදා ආනන්ද සහ සුරාජ් මෙන් ම එදා ඩිල්ෂාන්ගේ මිනි 1000 සීසී මෝටර් රථය අජිත් හේමචන්ද්‍රගේ රථයේ ගැටී ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරින් ඩිල්ෂාන්ට සිය දියණියගේ උපන් දිනයදා ජීවිතයෙන් සමු ගැනීමට සිදු විය. සිය දියණිගේ උපන් දිනය සැමරීම සඳහා සියලු කටයුතු සූදානම් කර තම ජයග්‍රහණය එයට මුසු කිරීමට පෙර මඟ බලා සිටි පියාට සිදු වූයේ තමා බෙහෙවින් ම ආදරය කළ ඇලුම් කළ ක්‍රීඩාවෙන් ද සදහටම සමු ගැනීමටය.

අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දැමීමෙන් පලක් නොවේ. ඩිල්ෂාන් ජීවිතයෙන් වන්දි ගෙවූ පසු හෝ ක්‍රීඩා අමාත්‍යාංශය මේ පිළිබඳ ක්‍රියාත්මක වූයේ නම් වසර නවයකට පසුව හෝ ආනන්ද මෙවැනි ඉරණමකට ගොදුරු නොවනු ඇත. ඩිල්ෂාන් තරග කළ 2008 දී 1000 CC මිනි රථ ඉසව්ව සඳහා රථ 13ක් ඉදිරිපත්ව තිබෙන අතර ධාවන පථයක් හෝ නොවන තැනක මෙතරම් රථ සංඛ්‍යාවක් තරග කරවීම ද බරපතළ කරුණකි. ඩිල්ෂාන් ජීවිතයෙන් වන්දි ගෙවූ පසු නුවරඑළිය නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මාර්ගය නවීකරණය කළ යුතු බවයි. මෙයින් මනාව පැහැදිලි වන්නේ අඩු තරමින් එකී තරගයට පෙර මාර්ගයවත් නිසි පරිදි නඩත්තු කර නොමැති බවයි.

උඩින් විසි වුණා

ආනන්ද සහ සුරාජ් යනු මේ ක්ෂේත්‍රයට නවකයෝ නොවෙති. දෙදෙනා ම අත්දැකීම් බහුල ධාවකයන්ය. මීට පෙර වසරවලදී ද සුපර් මෝටාඩ් ඉසව්ව සඳහා තමා සහ ආනන්ද අතර තියුණු තරග පැවැති බවත්, ඒ කිසිදු අවස්ථාවක මෙවැනි සිදුවීමකට මුහුණ දී නොමැති බව ද සුරාජ් එකී අනතුරින් පසුව ප්‍රකාශ කර තිබේ.

අපි දෙන්නා වංගුවේ අමාරුම හරිය පහු කරලා තිබුණේ. වංගුව ඉවර වෙන හරියේ අපි දෙන්නගේ යතුරු පැදි දෙක එකට පැටළුණා කියලා තේරුණා. අපි ආපු වේගය එක්ක දෙන්නට ම යතුරුපැදි පාලනය කර ගන්න බැරුව ගියා. අපි දෙන්න ම පාරේ අයිනේ තිබ්බ වැටේ වැදිලා උඩින් විසි වුණා.

මේ අනතුරින් ආනන්ද වෙඩි සිංහගේ හිසට හා සුෂුම්නාවට බරපතළ හානි සිදු වී තිබෙන අතර, සුරාජ්ගේ දකුණු අතක් බිඳී තිබේ.

මෙවර තරගාවලියේදී තරගකරුවන්ට පුහුණුවීම් සඳහා අවස්ථාවක් ලබා නොදුන් බවත්, කාල ගණනය කිරීමක් නොකර කුසපත් ඇදීමකින් සුපර් මෝටාඩ් තරගයේ ආරම්භක ස්ථානය ලබාදීමට තරග සංවිධායකයන් පියවර ගෙන තිබූ බවත්, තරග ආරම්භයට පෙර ඇඟ උණුසුම් කර ගැනීම සඳහා වට දෙකක ධාවන කාලයක් ලබා දුන් බව ද සුරාජ් වැඩිදුරටත් කියා සිටියි. ඒක ධාවන පථය ගැන අවබෝධ කර ගන්න ප්‍රමාණවත් නැහැ. පුහුණුවීම් සඳහා කාලයක් ලබා දුන්නා නම්, අනතුර වළක්වා ගැනීමට හෝ බරපතළකම අවම කර ගැනීමට අවස්ථාව තිබූ බව ද සුරාජ් තවදුරටත් පවසයි.

මෙවන් තරගවල අනතුරු සිදුවීම් සාමාන්‍ය නමුදු, එකී අනතුරු අවම කර ගැනීමට සැලසුම් සැකසීම, ක්‍රියාත්මක කිරීම පරම යුතුකමක් වන්නේ මෙය නුවරඑළියේ පැවැති ප්‍රථම රෝඩ්රේස් තරගය නොවන බැවිනි. මෙවැනි බොහෝ තරගවල තරගකරුවන් තරග කරන්නේ හුදෙක් විනෝදාස්වාද සහ ප්‍රේක්ෂකයින් පිනවීමේ අටියෙන් මිස වෙනත් කිසිදු ලාභ ප්‍රයෝජනයක් සඳහා නොවේ. මන්ද යත් මෙකී තරගවලට ඉදිරිපත්වීම යනු හුදෙක් අතින් කා ණයට හරක් බැලීමකට වඩා දෙයක් නොවන බැවිනි. ජයග්‍රාහකන්ට පවා ලැබෙනුයේ ලී - ප්ලාස්ටික් - වීදුරු හෝ තහඩු කැබැල්ලක කොටන ලද සැමරුමකට වඩා වැඩි දෙයක් නොවන බැවිනි.

ආරක්ෂාව බින්දුවයි

තරගකරුවන්ගේ හෝ ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳ වග විභාගයකින් තොරව කටයුතු කර තිබීම ද මෙහි එල්ල වන ප්‍රධාන චෝදනාවකි. විශේෂයෙන් වංගුවල ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ආරක්ෂාවක් වෙනුවට හරියට වැලි කොට්ට හෝ ටයර් දමා නොතිබූ බවද පැවැසේ.

වැලි කොට්ට ද ඈතින් ඈත තබා තිබෙන අතර, එක්තරා මාධ්‍යයක් මෙය වාර්තා කර තිබුණේ නිවෙස්වල අලංකාරයට මල් පෝච්චි තබා ඇති ආකාරයට වැලිගෝනි තබා තිබූ බවය. ධාවනය පථයක දරුණු අනතුරක් සිදු වූ පසු තරගයක් අවලංගු කර දැමීම සාමාන්‍ය කරුණක් වුවද, මෙහිදී එවැන්නක් පවා සිදු නොවූ බවට ද චෝදනා එල්ල වේ. අනතුර සිදු වූ ධාවකයනට ගිලන් රථයක් පවා ගෙන්වා ගැනීමට පැය බාගයකට ආසන්න කාලයක් ද ගතවී තිබේ. මෙකී ධාවන පථය සහ නුවරඑළිය මහා රෝහල පිහිටා ඇත්තේ පෙනෙන නොපෙනෙන දුරකින් ය.

නුවරඑළිය රෝහලේ ද ආනන්දට ප්‍රතිකාර කිරීමට පහසුකම් තිබී නොමැති බව ද අනාවරණය වන අතර මෙ නිසා ම පස්වරු එකේ පමණ සිට හය වන තෙක් මහනුවර මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉඩ පහසුකම් සලසා ගන්නා තෙක් නුවරඑළියේ රඳවා ගැනීමට සිදුවූ බවද පැවැසේ. කෙසේ වෙතත් මහනුවර රෝහලට පවා ආනන්ද වෙඩිසිංහ රැගෙන යෑම කඩිනම් වී ඇත්තේ ෂේන් ගුණවර්ධන සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත බවද පැවැසේ.

නුවරඑළියට කිලෝමීටර් තුනක් පමණ මෙපිටින් පිහිටි සුළං කපොල්ලේ සුළං දෝතින් නතර කළ නොහැකි බව දන්නේ බොහෝ කලකට පෙර සිටය.

එය මෙවන් තරගාවලියක් සංවිධානය කරන සංවිධායකයන්ට නොතේරීම ඩිල්ෂාන්ගේ ආනන්දගේ පමණක් නොව, අනාගතයේ මෙකී ධාවන පථයට ගොඩවෙන සියලු දෙනාගේ අවාසනාවකි. අභාග්‍යයකි.

ඛේදනීය ඉතිහාසයකට උරුමකම් කියන මෙකී තරගවලින් ක්‍රීඩකයන්ගේ ජීවිත වටිනාකම තුට්ටුවට ඇද දමා කටයුතු කරන සංවිධායකයන්ගේ මැටි වැඩ ගැන බලධාරීන් දැන්වත් සිහි බුද්ධියෙන් විමසා බැලිය යුතුය. එවිට ආනන්ද වැනි ක්‍රීඩකයන්ට යහතින් තරග කර යහතින් ම යෑමට හැකිවනු ඇත.

බන්දුල ජයමාන්න

Comments