
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති වෙසක් කලාපය ඓතිහාසික ඉන්දු ශ්‍රී ලංකා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් වන්නක් බවත්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පැවැති එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය සැමරීමට පැමිණීමෙන් එම සම්බන්ධතා තව දුරටත් ශක්තිමත් වූ බවත් අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් මහතා පැවැසී ය. අධ්‍යාපන ඇමැති අකිල විරාජ් මහතා මේ බව සඳහන් කළේ පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති වෙසක් කලාපයේ ඉදිකර තිබූ ඉන්දියාවේ පළමු තොරණ විවෘත කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.
නවදිල්ලි නුවර පැවැති මෙම වෙසක් කලාපය සංවිධානය කර තිබුණේ ඉන්දියාවෙන් බුදුදහම ලැබීම සංකේතවත් කරමිනි.
මෙම උත්සවයේ අවසාන කොටස සංවිධානය කර තිබුණේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසිනි. අඩි 40 ක් පමණ උස මෙම තොරණ ඉදිකර තිබුණේ නවදිල්ලි නුවර තානාතිපති පෙදෙසේ ශාන්ති මාවතේ ඇති උද්‍යානයට මුහුණ දීය. 'බුද්ධ පූර්ණිමා' යන වෙසක් උලෙළට සමගාමිව ඉදිවූ මෙම තොරණ විදුලි බුබුළු 15000 කින් ආලෝකමත් වු අතර එය බොහෝ දෙනෙකුගේ ආකර්ෂණයට නතු වන්නක්ද විය. මෙම තොරණේ ආකෘතිය ශ්‍රී ලංකා ඉන්ජිනේරුවන් 17 දෙනෙකුගේ කණ්ඩායමක් විසින් සකසා ඉන්දියාවට ගෙන ගිය අතර සෙසු කටයුතු ඉන්දියාවේදි සකසා ගන්නා ලදී.
ඉන්දියාවේ මහාබෝධි සංගමයේ වරණාසි මධ්‍යස්ථානයේ ප්‍රධාන මේධාලංකාර හිමි , මහබෝධි සංගමයේ නවදිල්ලි මධ්‍යස්ථානයේ ප්‍රධාන සුමිතානන්ද හිමියන් ඇතුළු හිමිවරුන්ගේ ආශිර්වාදය මධ්‍යයේ ආරම්භ වු මෙම උත්සවයට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් චිත්‍රාංගනී වාගීශ්වර, ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති කිරන් රිජ්ජු, සමාජ සාධාරණත්වය හා සමාජ බල ගැන්වීම් ඇමැති රාජේෂ් ආතවාලේ, නවදිල්ලි නුවර මහනගර සභා සභාපති නරේස් කුමාර, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ඉන්දිය සාගර කලාපයේ සම ලේකම් සංජය පැන්ඩා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක්ද ශ්‍රි ලංකාවේ අධ්‍යපන ඇමැති අකිල විරාජ් කාරිවසම් මහතා සමඟ මේ උත්සවයට සහභාගී වූහ. විශේෂයෙන්ම ශ්‍රි ලංකාවේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඉල්ලිමකට අනුව එක්සත් ජාතීන් විසින් වෙසක් උත්සවය ජාත්‍යන්තරය පිළිගැනිම ගැනද මෙහිදි අවධාරණය කෙරිණි.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති මෙම වෙසක් කලාපය සාර්ථක කර ගැනිමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතන කිහිපයක්ද හවුල් විය. ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය, අයි.සී.ටී මයුරා ගෲප්, ඉන්දීය දුම්රිය මාර්ග සැකසිමේ සමාගම, ඉන්දීය තෙල් සමාගම ඒ අතර වෙයි.
සුභාෂිණි ජයරත්න