මෙවර කුසලානය කාටද? | සිළුමිණ

මෙවර කුසලානය කාටද?

ප්‍රශාන්ත ඇල්පිටිය

න්දීය ප්‍රිමියර් ලීග් (අයි. පී. එල්.) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (21) පැවැත්වේ. ඒ හයිදරාභාද් නුවර රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. මෙවර ශූරයන්ට අමෙරිකානු ඩොලර් මිලියන සතරක පමණ මුදලක් පිරිනැමෙයි.

අනුශූරයන්ට මිලියන දෙකක මුදලකි. මීට අමතරව තෙවන සහ සිවුවන ස්ථාන හිමිකර ගත් කණ්ඩායම්වලට මිලියනය බැගින් හිමිවෙයි.

මෙවර මුල් වටය සඳහා කණ්ඩායම් අටක් තරග වැදුණි. ඔවුන්ගෙන් අවසන් වටයට සුදුුසුකම් ලැබුවේ කණ්ඩායම් සතරකි. මෙම සෑම කණ්ඩායමකටම තරග 14 බැගින් තරග කිරීමට සිදුවිය. එහිදී ලකුණු සටහනේ මුල් ස්ථාන සතර හිමිකර ගත් කණ්ඩායම් අවසන් වටයට සුදුසුකම් ලැබිය.

ඒ මුම්බායි ඉන්ඩියන්ස්, රයිසින් පූනේ සුපර් ජයන්ට්, සන්රයිසර්ස් හයිදරාභාද් සහ කොල්කටා නයිට් රයිඩර්ස්ය. මේ අතරින් මීට පෙර අයි. පී. එල්. ශූරතාව හිමිකර ගැනීමට අසමත්ව සිටියේ පූනේ සුපර් ජයන්ට් පමණකි.

මෙම කණ්ඩායම් සතරින් ශ්‍රී ලංකාවටත් වැදගත් වූ කණ්ඩායම් දෙකක් විය. ඒ මුම්බායි ඉන්ඩියන්ස් සහ සන්රයිසර්ස් හයිදරාභාද්ය.

මුම්බායි ඉන්ඩියන්ස් පිලේ මෙවර ප්‍රධාන පුහුණුකරුවා වූයේ හිටපු ශ්‍රී ලංකා නායකයකු වූ මහේල ජයවර්ධනය. ඔහුගේ පුහුණුව යටතේ මෙවර මුම්බායි කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේය.

ගිය වසරේදී ඔවුන්ට මුල් වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී තිබුණි.

සුපුරුදු පරිදි ලසිත් මාලිංග මෙවරත් මුම්බායි වෙනුවෙන් ක්‍රීඩා කළේය. ක්‍රීඩා නොකළත් අසේල ගුණරත්න මෙවර මුම්බායි සංචිතයට අයත් විය. මේ අතර හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මෙවරත් සන්රයිසර්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කළේය. ගියවර අයි. පී. එල්. ශූරයෝ වූයේත් සන්රයිසර්ස් කණ්ඩායමයි.

සන්රයිසර්ස් හමුවේ තියුණු තරගයකින් අනතුරුව ගිය වසරේ අනුශූරයෝ වූයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්ය. මෙවරත් සුපිරිතම තරු සිවු දෙනකුම ඔවුනට ක්‍රීඩා කළහ. ඒ නායක විරාත් කෝලි, බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ක්‍රිස් ගේල්, ඔස්ට්‍රේලියාවේ ෂේන් වොට්සන් සහ දකුණු අප්‍රිකාවේ ඒ. බී. ඩි විලියර්ස්ය. නමුත් ඔවුන්ට මෙවර සාර්ථක වීමට හැකි වූයේ නැත. එහි ප්‍රතිඵලය වූයේ මෙවර අවසන් ස්ථානය ඔවුනට හිමි වීමයි.

ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග ද පසුගිය වසරවල මෙන්ම මෙවර මුල් වටයේ දී වැඩි දස්කම් දැක්වූයේ නැත. එසේ වුවත් සුවිශේෂී වාර්තාවක් ඔහු පිහිටු වූයේය. එනම් අයි. පී. එල්. තරගවලදී කඩුලු 150 ක් දවාලූ ප්‍රථම පන්දු යවන්නා බවට පත් වීමයි.

එවැනිම වාර්තාවක් පිහිටුවීමට වමත් පිතිකරු ක්‍රිස් ගේල් සමත් විය. ඒ පන්දු ඕවර 20 තරගවලදී මුළු ලකුණු 10,000 ක් රැස් කළ ලොව ප්‍රථමයා බවට පත් වීමයි.

ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කළේ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමටයි. එහෙත් ඒ තරග කිහිපයකට පමණි.

මහේල ජයවර්ධනට අයි. පී. එල්. තරගාවලිය අතරතුරදී එංගලන්තයෙන් ඇරයුමක් ලැබිණි. එනම් එංගලන්ත ප්‍රාන්ත පන්දු ඕවර 20 තරගාවලියට තරග කරන ලෙසටයි. ඒ අනුව මහේල ලැන්කෂයර් ප්‍රාන්තයට ක්‍රීඩා කරනු ඇත.

මෙවර අයි. පී. එල්. තරගාවලිය තුළදී බොහෝ දෙනාගේ අවධානය යොමු වූ සිදුවීමකට මාලිංග සම්බන්ධ විය. එනම් ඔහුගේ ස්වරූපයම තිබූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩා ලෝලියකු තරගයක් අතරතුරදී මාලිංගට හමුවීමය.

පිට පිට පන්දු තුනකින් කඩුලු තුනක් දවාලීම ක්‍රිකට් ක්‍රීඩාවේදී හඳුන්වන්නේ හැට්ට්‍රිකයක් ලෙසිනි. එය දුලබ දස්කමකි. මෙවර මුල් වටයේදී එම දස්කම පන්දු යවන්නන් තිදෙනෙකු විසින් දැක්වූහ. ඒ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලේ සැමුවෙල් භද්රි, ගුජරාට් ලයන්ස්හි ඇන්ඩෘ ටයි සහ පුනේ සුපර් ජයන්ට් පිලේ ජේදේව් උනද්කට්ය.

අයි. පී. එල්. තරග ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු ගණන මෙවර වාර්තා විය. ඒ මුල් වටයේදීය. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ලකුණු 49 කට දැවී ගිය විටදීය. එහිදී ප්‍රතිවාදීන් වූයේ කොල්කටා නයිට් රයිඩර්ස්ය.

ඒ වගේම මෙම තරගාවලි ඉතිහාසයේ ලකුණු අනුව කණ්ඩායමක් ලැබූ විශාලතම ජයග්‍රහණයත් මුල් වටයේදි වාර්තා විය. මුම්බායි ඉන්ඩියන්ස් ලකුණු 146 ක විශිෂ්ට ජයක් ලැබීමට සමත් විය. ප්‍රතිවාදීන් වූයේ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්ය.

මෙවර තරගාවලියේ මුල් වටය නිමාවන විට සුවිශේෂී දස්කම් දැක්වූ ක්‍රීඩකයෝ කිහිපදෙනෙකි. ඊට බටහිර ඉන්දිය කොදෙව් දූපත්හි සුනිල් නාරායින්, දකුණු අප්‍රිකාවේ හෂිම් අම්ලා, ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර්, ඉන්දියාවේ බුව්නෙෂ්වර් කුමාර් සහ ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන් අයත්ය.

එහිදී 27 හැවිරිදි භුව්නෙෂ්වර් තරග 13 කදී කඩුලු 25 ක් දවා ගත්තේ දකුණතින් මද වේග පන්දු යවමින්ය. ඒ අනුව ගිය වසරේදී මෙන්ම මෙවරත් වැඩිම කඩුලු ගණනක් දවා ගත් පන්දු යවන්නා බවට ඔහු පත් විය. හෙතෙම ක්‍රීඩා කළේ සන්රයිසර්ස් හයිදරාභාද් පිලටය.

එම කණ්ඩායමටම ක්‍රීඩා කළ දකුණතින් පා දඟ පන්දු යැවූ රෂිඩ් තරග 13 කදී කඩුලු 17 ක් දවා ගැනීමට සමත් විය. එම කණ්ඩායමේ නායකයා වූ වමත් ආරම්භක පිතිකරු වෝනර් මෙවර මුල් වටයේ වැඩිම ලකුණුලාභියා විය. ඒ තරග 13 කදී ලකුණු 604 කි. එම පිලේම ඉන්දීය වමත් ආරම්භක පිතිකරු ශිකර් දවාන්ට එහිදී දෙවැනි තැනය. ඒ තරග 13 කදී ලකුණු 468 ක් රැස් කරමිනි.

දකුණත් පිට දඟ පන්දු යැවීමට ප්‍රචලිත කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ නාරායින් මෙවර වමත් ආරම්භක පිතිකරුවෙක් වශයෙනුත් සාර්ථක විය. එහි උපරිම දක්ෂතාවය 28 හැවිරිදි නාරායින් දැක්වුයේ අයි. පී. එල්. ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය රැස් කරමිනි. ඒ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව පන්දු 15 කදී ලකුණු 50 ක් රැස් කිරීමයි.

කිංග්ස් යඪ පන්ජාබ් පිලට දකුණත් ආරම්භක පිතිකරුවකු ලෙසට ක්‍රීඩා කරමින් අම්ලා ශතක දෙකක්ම රැස් කිරීමට සමත් වූයේය. එහෙත් එම තරග පන්ජාබ් පිල පරාජයට පත් විය.

මෙවර මුල් වටයේ තරගයකදී කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු ගණන වූයේ කඩුලු 3 කට ලකුණු 230 කි. එහි හිමිකරුවෝ වූයේ කිංග්ස් යඪ පන්ජාබ් පිලයි. තරගයෙන් පරාජය වුවත් ඊට හොඳ පිළිතුරක් ලබා දීමට මුම්බායි ඉන්ඩියන්ස් සමත් වූයේ කඩුලු 6 ට ලකුණු 223 ක් රැස් කරමිනි.

  

 
 
 

 

 

Comments