වලසා මා සුවපත් කළේද? | සිළුමිණ

වලසා මා සුවපත් කළේද?

'විල් තෙරේදී' - බල්ගේරියානු ලේඛක ලුඩ්බොමීර් පීවෙස්කි (Lyubomir Peevaski)

1943 දී උපත ලැබූ මේ ලේඛකයා සොෆියා ලෙනින් විදුලි කාර්මික ආයතනයේ අධ්‍යාපනය ලැබුවේය. ඔහු සොෆියා ගුවන්විදුලියේ විනෝදාත්මක වැඩසටහන්වල නිෂ්පාදකවරයකු ලෙසද කටයුතු කළේය. ඔහුගේ නිර්මාණ රුසියන්, පෝලන්ත, චෙක්, රුමේනියානු, එස්තෝනියානු සහ ඉංග්‍රීසි භාෂාවලට පරිවර්තනය වී ඇත. මෙහි කොටස් වශයෙන් පළ වන්නේ ඔහු විසින් රචිත ‘විල් තෙරේදී‘ විද්‍යා ප්‍රබන්ධයයි.

මම තණකොළ මත වැතිරීමට උත්සාහ කළෙමි. එහෙත් ප්‍රමාද වැඩිය. මා කිසිවක් කිරීමට පෙරාතුවම වලසා මගේ සිරුර මතුපිටට නැගී මා පහුරුගාමින් මාව ඉරාගැනීමේ අදහසින් පසු වන බව පෙනිණි. මගේ තුවාල පාදය කැරලි ගසද්දී මම මියගියාක් මෙන් සිටීමට උත්සාහ කළෙමි. පාද හයක් ඇති පියාඹන වලසා මා දෙස උගේ කුඩා ඇස්වලින් බැලුවේය. මගේ දණහිසෙන් ගලා ගොස් කැටි වී ඇති ලෙය දෙසත් ඉරී ගිය කලිසමටත් උගේ අවධානය යොමු විය.

හදිසියේම මගේ වම් පාදයේ කලිසම් කකුල අල්ලාගෙන සම්පූර්ණයෙන්ම ඉරාදැමුවේය. අනතුරුව ඌ මගේ දණ හිස ලෙවකන්නට විය. මා බියෙන් හිරිවැටිණ. අඩක් ඇරුණු ඇස්වලින් වලසාගේ ක්‍රියාව නිරීක්ෂණය කිරීමට මම උත්සාහ කළෙමි.

ඒ සතා උගේ මුඛය විවෘත කළ අතර, උගේ කුඩා විෂ දළ තර්ජනාත්මක ලෙස එල්ල කරමින් මා වෙත නැඹුරු විය. එවිට මගේ එක පාදයක් දැවෙන්නට විය. වලසා මගේ පාදය සපා කා ඇති බවත්, එහෙත් මට වේදනාවක් නොදැනුණු බවත් මම වටහා ගතිමි. මට පිළිකුල සහ ක්ලාන්තය දැනිණි. මට ඉතිරිව ඇති අන්තිම ශක්තියෙන් ‘උදව් කරන්න‘ යනුවෙන් දුර්වල ලෙස කෑගැසීමට මම සමත් වීමි. එය අසන්නට වලසා හැර වෙන කිසිවකුත් නැත.

එහෙත් සතා බියට පත්ව උගේ පසුපස පාදවලින් නැගිට මගේ හඬට සවන් දුන්නේය. අනතුරුව කිසිසේත් අපේක්ෂා නොකළ අන්දමට මා බිමට අතහැර තණ බිම දෙසට පියාසර කළේය.

ශබ්දය ක්‍රමයෙන් අඩු විය. එහෙත් වරින් වර කෝපයෙන් ගොර ගොර ගාන ශබ්දයක් ඈතින් ඇසිණි.

වලසා අදක්ෂ ලෙස පියාපත් විහිදා හිමිහිට පියාඹා ආවේය. වලසා බිමට බසින විට අපි කඳු ගැටයට ඉහළින් සිටියෙමු. මට සිදු විය හැක්කේ කුමක්දැයි සිතන විට ක්ලාන්තය දැනෙන්නට විය. ‘තණ බිම මැද සිටින මේ සතුන් අතරට මාව අතහැරියොත්...‘ යන සිතිවිල්ල මා බියපත් කළේය.

ඒ සමගම ශබ්දය අනපේක්ෂිත ලෙස නතර විය. සීනුවක් වෙන් වෙන්ව දහවරක් නාද වනු ඇසිණි. කවරකු විසින් හෝ කුඩා සීනුවක් නාද කරනු ලබයි.

මේ ශබ්දය මාව පැහැරගත් සතා බිය ගැන්වීය. කඳු පාමුලට බැස එම සතා මා අතහැරියේය. විලට ඇති දුර මීටර් විස්සකට වඩා වැඩි නොවීය. විලෙහි අනෙක් ඉවුරේ කළු පැහැයට පෙනුණේ සතුන් විශාල සංඛ්‍යාවකි.

නොපෙනෙන කුඩා සීනුව දිගටම නද දෙන්නට විය.

පියාඹන වලසා හිස ඔසවා මා නොමැතිව අස්ථිර පියවරක් තබා අනතුරුව කඳු ගැටයෙන් ගල් කැට කීපයක් අහුලාගෙන අහසට නැඟී ඉන් පසු නාද වන සීනුව මතට විත් වැසුවේය.

මා උගේ ග්‍රහණයෙන් ගැලවී ඇති බව තවමත් මට විශ්වාස කළ නොහැකිය.

හදිසියේම මට වැටහී ගියේ මගේ තුවාල කකුල තවදුරටත් වේදනා ගෙන නොදෙන බවයි. එය විශ්වාස කළ නොහැකිය. මම පාදය ඇඟිල්ලෙන් අල්ලා බැලුවෙමි. ඉදිමුම බැස ඇත. වලසා නොදැනුවත්ම මා සුවපත් කළේද? මම සතුටු නොවීමි. මන්ද යත්: තමා කළ වරද වටහාගෙන නැවත කුමන මොහොතක හෝ ඌ ආපසු පැමිණිය හැකි බැවිනි. මම වහාම හිරිගල් කඳු ගැටය විනාශ වීමෙන් නිර්මාණය වී තිබූ කුහරය තුළට රිංගාගතිමි; අනතුරුව විලෙහි අනෙක් ඉවුර නිරීක්ෂණය කළෙමි.

සජීව බෝලය තවමත් එතනම ඇත. එහෙත් උපකරණයෙන් නිකුත් වූ රිදී රැහැන ජලයේ නොපෙනී ගොසිනි. කිසිවක් උණු වන්නට පටන් ගෙන ඇත. විලේ සිට දඟර ගැසෙමින් පිට වන වාෂ්ප ධාරාවකි.

මහා සංගීත නාදයක් ඇසේ. එහෙත් මෙවර ඇසෙන්නේ වෙනත් ආකාරයේ සංගීතයකි. සංගීත ස්වර රාශියක් සංවේගය දනවන ලෙසත් ගම්භීර ලෙසත් අවකාශය පුරා පැතිර යන්නට විය. කවුරුන් හෝ මා කොටස්වලට ඉරා වෙන් කරමින් මාගේ මුළු සිරුරම සංගීතයෙන් පුරවමින් විශාල සංගීත භාණ්ඩයක සිහින් නාලයක් බවට මාව පත් කර ඇති බවට හැඟීමක් මා තුළ ඇති විය. අද්භූත සංගීතය ගුගුරමින් ජල ධාරාවක් මෙන් මා වසා පැතිර යයි. වේගයෙන් ගලා හැලෙන අදෘශ්‍යමාන ජල ධාරාවක් මෙන් මා තුළ කායික ප්‍රමෝදයක් ඇති වූ අතර, මට ආලෝකයෙන් නැහැවී ගිය විශාල ක්ෂිතිජය දකින්නට හැකි විය. උපකරණය වෙත යෑමේ දැඩි ආශාවක් මා තුළ ඇති විය.

විලෙහි අනෙක් ඉවුර දෙස මහත් ඕනැකමින් බලමින් මම දෑතින් දෙකන් වස‍ෙගතිමි.

සංගීතය ගුගුරමින් පැතිර ගිය අතර, තණබිමේ සිටි සත්තු සංගීත නාදයෙන් මුසපත් වූ කලක මෙන් නොසෙල්වී සිටියහ.

විනිවිද යන හඬ මැදින් නැඟී සිටි කුඩා සත්තු දෙදෙනෙක් ඇන්ටනා දෙකක් මෙන් ඉහළ අහසට නැඟී අනතුරුව හෙමිහිට උපකරණය මත වැසූහ. වරින් වර නිල් පැහැති ගිනිදලු විහිදෙන්නට විය.

සංගීතය මහා හඬින් නිකුත් වූ අතර, මෙය අහස ගුගුරවමින් ඇති වන සංගීත භාණ්ඩ එකිනෙක ඝට්ටනය වීමක් බව මම දැනගතිමි.

මට දැඩි උණුසුමක් දැනිණි. ඒ සමගම වට කරගෙන සිටි සතුන් මැදින් රශ්මි ධාරාවක් නිකුත් කළ උපකරණය යළි ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇත.

උණුසුම දිගටම තදබල ලෙස වර්ධනය වන්නට විය. ඇන්ටනා දෙක වැනි අං අතරින් ගිනි පුපුරු විහිදෙන්නට විය. විදුලි ධාරාවක් උතුරු දෙසට එල්ල වනු පෙනිණි. එම රශ්මි ධාරාව බැස යන හිරු වෙත එල්ල විය.

විල් ඉවුරෙහි ඈත කෙළවර කිසියම් දෙයක් පිපිරෙන සහ ගුගුරන හඬ ඇසිණි. සජීව බෝලයේ ගිනිදලු විශාල ආලෝක ධාරාවක් බවට පත් විය. බොහෝ අමුතු දේවල් සිදු වුවද එකම සත්ත්වයකුවත් පලා යෑමට උත්සාහ දරන බවක් නොපෙනිණි. බියෙන් හෝ වේදනාවෙන් පිට වන කිසිදු ශබ්දයක් නොඇසිණි. ගිනිදලු මීටර් පහළොවක් පමණ ඉහළට නැගිණි. උපකරණය අවට උෂ්ණත්වය නොසිතූ ලෙස ඉහළ යන්නට ඇත. මිනිත්තු තුනකටත් අඩු කාලයකදී සියල්ල ගින්නෙන් වැසී ගියේය. තණබිමට ඉහළින් දුම් වලාවක් සෑදිණ. අනතුරුව උපකරණයෙන් හරිත වර්ණ ආලෝක ධාරාවක් නිකුත් වූයේ වලාකුළු විනිවිද යමිනි. එම වලාකුළ නිර්මාණය වී තිබුණේ පොදිගැසී සිටි සතුන්ගෙන් සහ උන් රැගෙන ආ දේවලිනි. ඒ ආලෝක ධාරාව අනෙක් හරිත වර්ණ ආලෝක ධාරාව සමඟ මිශ්‍ර වෙමින් ක්ෂිතිජය වෙත එල්ල වී තරමක් වේලා පැවතිණි.

මේ සියල්ල සිදුවීමට මිනිත්තුවකට හෝ දෙකකට වැඩි කාලයක් ගත නොවීය.

මුලින්ම ක්ෂිතිජය දක්වා එල්ල වූ හරිත වර්ණ ආලෝකය මැකී ගිය අතර දෙවනුව උපකරණයෙන් නිකුත් වූ ආලෝක ධාරාවද මැකී ගියේය. එහෙත් ඇන්ටනා වැනි දෙයින් නිකුත් වූ නිල් පැහැ ගිනිදලු තවත් ටික වේලාවක් යන තුරු ඒ වටා පුපුරු ගසමින් තිබිණි.

ලබන සතියට... 

Comments