මොරටුව විශ්වවිද්‍යාලයට විරැකියා ප්‍රශ්නයක් නැහැ | සිළුමිණ

මොරටුව විශ්වවිද්‍යාලයට විරැකියා ප්‍රශ්නයක් නැහැ

මොරටුව විශ්වවිද්‍යාලයීය ව්‍යාපෘති ප්‍රදර්ශනය පසුගියදා පවත්වනු ලැබූයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදීමය. වසර හතරක අධ්‍යාපනය නිමවා සිය නිපුණතා එළිදැක්වීම වෙනුවෙන් සියලු අධ්‍යයන පීඨයන්හී සිසුසිසුවියන්තම හැකියාවන් එළි දැක්වූයේ “එක්ස්මෝ 2017“ නමිනි.

මෙහිදී ඉංජිනේරු පීඨ එකොළහකින් සමන්විත අවසන් වසරේ සිසුන් දාහක් දෙනා තම හැකියාවන් ව්‍යාපෘති හය සීයයකින් පමණ ඉදිරිපත් කර තිබීම විශේෂ ලක්ෂණයක් විය.

පරිගණක තිර ඔස්සේ රූපමය විස්තර සහ විවිධාකාරයෙන් නිර්මාණය කර ඇති මෙවලම් නරඹන්නන් වෙත පැහැදිලි කරනා අතරතුර දක්නට ලැබුණු විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සිසුන් විසින් ඉදිරිපත් කෙරුණු ව්‍යාපෘතිය අනාගතයට මහත් ප්‍රයෝජනයක් වන බව හැඟී ගියේය. එය රැහැන් රහිතව විදුලිය සම්ප්‍රේෂණය කිරිමේ මෙවලමකි. මෙවැනි ව්‍යාපෘති බොහොමයක්ම ලෝකයේ පර්යේෂණ මට්ටමින් සිදු කෙරෙන සහ භාවිතයේ යෙදෙන නමුත් මේ යන්ත්‍රය සුවිශේෂ වේ. එසේ වන්නේ මෙමගින් බැටරි රැහැන් රහිතව ආරෝපණය කිරීමට හැකි බැවිනි. හෘදයේ ක්‍රියාකාරිත්වය සඳහා සවිකෙරෙන උපකරණය ක්‍රියාත්මක කිරීමට යොදන බැටරිය ශල්‍යකර්මයකින් තොරව මාරු කළ නොහැකිය. එහෙත් මේ උපකරණය හේතුවෙන් හෘදයට ආරෝපණය කළ හැකි බැටරියක් සවි කොට රැහැන් රහිතව ආරෝපණය කිරීමට හැකියාව හිමි වේ. මෙමගින් දිර්ඝ කාලයක් රෝගියාට අපහසුතාවකින් තොරව ජීවත් වීමට අවස්ථාවක් ලැබෙන්නේය. මෙවැනි උපකරණයක් නිර්මාණය කළ කණ්ඩායම වන්නේ කවිඳු රවීන්, ඉඳුනිල් දයාරන්, හීරූන් වීරසිංහ යන සිසුන්ය.

“පසුගිය වසරේ න්‍යායාත්මකව මේ සැලසුම නිර්මාණය කළා. අත්හදා බැලීමක් ලෙස සූත්‍රිකා පහන් දෙකක් දැල්වීමටත්, වොට් හැටක (60W) ලැප්ටොප් පරිගණකයක් ආරෝපණය කිරීමටත් හැකි වුණා. අපේ අවශ්‍යතාව වූයේ මනුෂ්‍ය ශරීරයේ අභ්‍යන්තරව සවි කර ඇති උපකරණයක් නිසා සිරුර තුළින් විදුලිය ගමන් කිරිමේ දී හානි සිදුවේදැයි දැනගැනීමයි. ඒ අනුව මනුෂ්‍යයාගේ පටක සමග සැසැඳෙන ඌරූ පටක කොටස් උපයෝගි කර ගනිමින් අත්හදා බැලීම් කළා. එය සාර්ථකයි. වරින් වර බැටරියේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණයට උපකරණයක් මීට අමතරව සවි වෙනවා. ජංගම දුරකතනයක් මගින් බැටරියේ තත්ත්වය සැලකිල්ලට ගන්න පුළුවනි. ඒ අනුව රෝගියකු වරින් වර බැටරි මාරුකිරීමට ශල්‍යකර්ම කරන්න අවශ්‍ය නැහැ. ශරිරයේ සීනි මට්ටම පාලනය කිරීම සඳහා මෙවලමක් සැලැසුම් සකස් කරමින් පවතිනවා.“

පරිගණක ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තරුණයෝ හය දෙනකු එක්ව කළ තවත් ව්‍යාපෘතියක් අපේ රටට අභිමානයක් ලබා දීමට සමත් වූයේය. ඒ ඇමරිකාවේ මයික්‍රොසොෆ්ට් ආයතනය අන්තර්ජාතිකව පැවැත්වූ Microsoft Imaging Cup 2016 තරගාවලියේදී දෙවැනි ස්ථානයට පත්වීමට සමත් වූ අංකිත රූපමය පුවරුවක් නිර්මාණය කිරීමෙනි (Digital Imaging display system). තරග කොන්දේසි අනුව සිවුදෙනකු ඇමරිකාවේ සියැටල් නගරයේ පිහිටි මයික්‍රොසොෆ්ට් ආයතනයේ මූලස්ථානයට යෑමට වරම් ලැබූහ. ලක්මාල් මීගහපොළ, චතූෂ විජේනායක, චානක ලක්මාල්, චරිත් එරන්ද, ඒ සිවුදෙනාය. දිනුක සල්වතුර, මාධව විදානපතිරණ සෙසු සාමාජිකයෝය. ලක්මාල් තරුණ ඉංජිනේරු සිසුවා ඔවුන්ගේ මෙවලම පිළිබඳව විස්තර කලේ මෙලෙසිනි.

“අහම්බෙන් අපට මේ අදහස ආවේ බම්බලපිටියේ මැජෙස්ටික් සිටි අවන්හලේදීයි. කෙටි ආහාර සදහා ඇනවුම් ලබා දී ඉන්න කොට ඩිජිටල් ඩිස්ප්ලේ එකේ විවිධාකාරයේ වෙළෙද දැන්වීම් යනවා. කාන්තා පාර්ශ්යේ අයට, තරුණයන්ට තරුණියන්ට සහ පවුලේ අයට කියා වෙන්වෙන්ව යන්නේ නැහැනේ. අපි ඒ දිහා බලලා තීරණය කළා වෙන් වෙන් අයට ඒ අවස්ථාව අනුව රුපමය දැන්වීම් ප්‍රචාරය කරන ක්‍රමයක් හදන්න. ඒ අනුව තිරය ඉදිරියේ ඉන්න පිරිස අනුව ප්‍රචාරය කළ හැකි ක්‍රමයක් ලෙස ඉදිරියේ ඉන්න අය හදුනාගැනීමට හැකි උපකරණයක් නිර්මාණය කළා. ඒ අනුව තරුණියන් ඉදිරියේ කාන්තා අවශ්‍යතා සදහා වූ වෙළෙද හෝ අවශ්‍ය රූපමය විස්තර එළි දැක්වෙනවා. උදාහරණයක් ලෙස රූපලාවණ්‍ය සහ කාන්තා අවශ්‍යතා පමණක් ඔවුන් ඉදිරියෙන් ඉන්නා විට දර්ශනය වෙනවා. ඒ ආකාරයට ඉදිරියේ ඉන්න අය හඳුනාගැනීමට දර්ශන තිරයේ (Image processing and Modelling learning HD Camera) සවි කර තිබෙනවා එහි සංවේදකයෙන් ගැහැනු, පිරිමි, ළමා හෝ ඕනෑම අයකු හඳුනාගත හැකි ආකාරයටයි එම උපකරණය සකසා ඇත්තේ. මේ සදහා රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් වැය කළා. එහි ප්‍රතිඵල අපි ලබාගත්තා. අපේම ව්‍යාපාරයක් AMPLUS නමින් ආරම්භ කරනවා. වෙළෙඳ දැන්වීම් ක්‍රමයේ පෙරළියක් නොබෝ දිනකින් ඇති වේවි“

ප්‍රදර්ශනයේ යාන්ත්‍රික දෙපාර්තමේන්තුවට ඇතුළු වුයේ සෙනග අතරින් පීරාගෙනය. එ් තරමටම නරඹන්නන්ගෙන් පිරී ඉතිරී ගොස්ය. බස් සහ ලොරි රථවලින් පරිසරයට හානි දායක විෂ දුම් පිටවීම වළක්වන පෙරණයක් හඳුන්වා දීමට එන්.ඩි.එම් පතිරණ, ඒ.එම්.එස්.පී. අත්තනායක, කේ.යූ.සී. දර්ශන යන සිසුන් තිදෙනා ගත් උත්සාහයකි. මෝටර් රථ ප්‍රවාහණ දෙපාර්තමේන්තුවේ අදහසකට අනුව මේ මෙවලම නිර්මාණය කළ බව ප්‍රකාශ විය. එන්ජිමෙන් නිකුත් වන කාබන්ඩයොක්සයිඩ් ඝනත්වය සහිත දුම් නිශ්චල ටර්බයිනයක ආධාරයෙක් අධි උෂ්ණත්වයට ඔරොත්තු දෙන තන්තුමය පෙරනයක් වෙත උරාගැනීමට සැලසීමෙන් පරිසරයට විෂ දුම් පිට වීම වැළැක්වීමට මේ උපකරණය සාදා ඇත. දැනට යුරෝපයේ සහ අමෙරිකාවේ බරවාහන සඳහා මේ ක්‍රමය ක්‍රියාත්මක කර ඇති අතර අනාගතයේදී ලංකාවේ ධාවනය වන බර වාහන සඳහා මෙවලමක් ලෙස මේ උපකරණය වෙළෙද පොළට හදුන්වා දීමට ඔවුහු බලාපොරොත්තු වෙති.

දෛනික ජීවිතයේ දී සිදු වන විවිධ ආබාධිත තත්ත්වවලදී ශරීරයට පුනර්ජීවයක් ලබා ගැනීමට හෝ අංශභාගය වැනි අවස්ථාවලදී ප්‍රයෝජනවත් වන බාහිර ඇඳුමක් (Exoskeletor) නිර්මාණය කර තිබුණේ යාන්ත්‍රික පීඨයේ සිසුන් වන තරිඳු ජයසිරි, හිරූන් ගුණසිරි, දිනෙත් තාරක යන තිදෙනා විසිනි. මේ ඇඳුමේ විශේෂත්වය නම් ඇවිදීමට බැරි අයට යාන්ත්‍රිකව සහයක් ලබා දී පහසුවෙන් තම කාර්යයන් සිදු කරගැනීමට හැකි වීමයි.

මේ උපකරණය කඳු නගින අයට, බර ඔසවාගෙන යන අයට මෙන්ම අංශභාග රෝගීන්ටත් නිර්දේශ කළ හැකියි. බැටරි ආධාරයෙන් ක්‍රියාත්මක කළ හැකි මෝටර් කිහිපයක් මේ කංචුකයට තිබෙනවා. කිලෝග්රෑම් දාහතරක් බරයි. බර අඩු කරන්න සැහැල්ලු මෝටර් සවි කරන්න අවශ්‍යයි. අපේ රටේ සමහර මුලික ද්‍රව්‍ය සොයාගන්න අපහසුයි. විශේෂයෙන් විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා හඳුනාගෙන ඉක්මනින් ඒවා ගෙන්වා ගන්න පිළිවෙළක් අවශ්‍යයි“

ද්‍රව්‍ය විද්‍යා ඉංජිනේරු අංශය වෙතින් තවත් අපූරු ව්‍යාපෘතියක් දකින්නට ලැබිණි. ඒ ශරීරයේ විවිධ ස්ථාන වෙතින් සොයාගැනෙන පිළිකාව වැනි ආසාදන වෙත සෘජුවම ප්‍රතිකාර සඳහා එන්නත් යොමු කිරීමට හැකියාව සහිත උපකරණයකි. මැග්නටයිට් නමැති චුම්භක ගුණ ඇති ලෝහයක් මේ සදහා උපයෝගි කරගන්නා බව මේ ව්‍යපෘතිය ගොඩනංවන කණ්ඩායම පවසා සිටියේය.

තරුණ ඉංජිනේරු ප්‍රජාව වෙත මගපෙන්වන ජේෂ්ඨ කථිකාචාරිණී ආචාර්ය රසාරා සමරසිංහ සමග කතා කිරීමට අවස්ථාවක් උදා විය. ඇයගෙන් අප විමසා සිටියේ වසරින් වසර බිහිකරන උපාධිධාරි ඉංජිනේරුවන් සඳහා වෘත්තිය රැකියා අවස්ථාවන්හි ගැටලු පවතීද යන්නයි. ඇය දුන් පිළිතුර මෙසේය.

“අවසන් වසර අවසනයට පෙර ළමයින් අනිවාර්යෙන්ම ප්‍රායෝගික අත්දැකීම් සඳහා ක්ෂේත්‍රයේ පුහුණුවට එක් විය යුතු වෙනවා. රාජ්‍ය ආයතනවලට සහ පෞද්ගලික ආයතනවලටත් ළමයින් යොමු කරනවා. උපාධි ප්‍රදානෝත්සවය වෙන කොට බොහෝ අය රැකියා වෙත යොමු වී අවසානයි. රජයේ ආයතන වෙත යන්න නම් ටිකක් කල් ගත වන්නේ සහතික සම්බන්ධයෙන් රජයේ බඳවා ගැනීමේ පටිපාටි නිසා. විදෙස් රටවල තිබෙන පුරප්පාඩු සඳහා බොහෝ විට විශ්වවිද්‍යාලවලින් තොරතුරු ලබාගන්නා ආයතනත් තිබෙනවා. ඒ අනුව සෘජුවම රැකියා අවස්ථා වෙත යොමු වෙනවා. මීට අමතරව බොහෝ අය පශ්චාත් උපාධි සදහා යොමු වෙනවා. ඒ අනුව විරැකියාව අපට ප්‍රශ්නයක් නොවෙයි“

EXMO ප්‍රදර්ශන කමිටු සභාපති ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගාමිණි ලැනරෝල් මහතා ප්‍රදර්ශනය සංවිධානය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේය.

“වසරකට දාහකට වැඩි ප්‍රමාණයක් නවක සිසුන් මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ මහත් අභිමානයකින් යුක්තවයි. මොරටුව විශ්වවිද්‍යාලය වෙනත් විශ්වවිද්‍යාලවලට වඩා වෙනස් වන්නේ ඉංජිනේරු උපාධි පාඨමාලා පමණක් පවත්වනු ලබන නිසයි. අනෙක් කරුණ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඉංජිනේරු පාඨමාලාවල තත්ත්වයන් සහ සම්මතයන් උපරිමව ප්‍රතීතනයට ලක්ව තිබීමයි. ඒ අනුව අධ්‍යයන අංශයේ සියලු දෙනා මනා කැපවීමකින් සහ මහන්සියෙන් විශ්වවිද්‍යාලයේ තත්ත්වය පවත්වා ගැනීමට වෙහෙසෙනවා. අපගේ දරුවන් ඒ සඳහා කැපවීමෙන් අධ්‍යාපනය ලබනවා. මේ ප්‍රදර්ශනයත් එක්තරා ව්‍යාපෘතියක්. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තාට මදි. සමාජය වෙත සහ රැකියා ස්ථාන වෙත තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට සුදුසු පසුබිමක් මෙවැනි ප්‍රදර්ශන සංවිධානය කිරීමෙන් ලැබෙනවා. සැලසුම් කිරිම, අදාළ ආයතන වෙතින් අවසර ගැනීම්, ප්‍රසම්පාදන කටයුතු, මහජන සබඳතා, ගණන විගණන කටයුතු මෙන්ම සමාජ හැසිරිම් පිළිබඳව හොඳටම ප්‍රායෝගිකව අධ්‍යයනය ලබනවා. අපේ අරමුණ එයයි“

මාධ්‍ය කටයුතු වෙනුවෙන් අනුපමේය සේවයක් ලබා දුන් හසිනී ද සිල්වා, චතුර්ක දේවප්‍රිය වෙත ස්තුතිය පුද කරමු.

අනිල් ලසත් පෙරේරා
පන්නිපිටිය සමූහ

Comments