අන්තර්ජාලයේ සැරි සරන්න දරුවන්ට ඉඩ දෙන්න | Page 2 | සිළුමිණ

අන්තර්ජාලයේ සැරි සරන්න දරුවන්ට ඉඩ දෙන්න

 අන්තර්ජාලය යනු දරුවන්ගෙන් ඈත් කර තැබිය යුතු මහා විනාශකාරී දෙයක් බව අපේ වැඩිහිටියන්ගේ අදහසයි. අන්තර්ජාලය භාවිත කිරීමෙන් දරුවන් නරකට පෙලඹිය හැකිය යන්න බහුතරයකගේ විශ්වාසයයි. ඒ අනුව බොහෝ නිවෙස්වල පරිගණක භාවිතය වැඩිහිටියන්ගේ දෙයක් වී ඇති අතර, දරුවන්ව හැකි තාක් අන්තර්ජාලයෙන් ඈත් කර තැබීමට උත්සාහ දැරීම සුලබ අත්දැකීමක් වී තිබේ.

එහෙත් අන්තර්ජාලය යනු නූතන සාර්ථකම අධ්‍යාපනික මෙවලම බව අප අමතක කළ යුතු නැත. දරුවන් අන්තර්ජාලය භාවිතයෙන් ඈත් කර තැබීම යනු අනාගත අධ්‍යාපන මාධ්‍යයෙන් ඔවුන් දුරස් කිරීම බවද වටහා ගත යුතුය.

අන්තර්ජාලය භාවිතයේදී දරුවන් එහි සීමා වටහා ගෙන සිටීම සම්බන්ධව තර්කයක් නැත. සැබවින්ම අන්තර්ජාලය යනු සියල්ල කිසිදු සීමාවකින් තොරව ලබා දෙන ස්ථානයකි. එහෙත් එසේ වූ පමණින් දරුවන් ඉන් බැහැර කිරීම කළ යුතු වන්නේ නැත. කළ යුතු වන්නේ දරුවන් දෙමවුපියන්ගේ අධීක්ෂණය යටතේ අන්තර්ජාලය භාවිත කිරීමට හුරු වීමය.

අද අන්තර්ජාලයට සිංහල භාෂාවද එක් වී ඇති අතර අවශ්‍ය නම් අවශ්‍ය භාෂාවට අවශ්‍ය ලේඛනය පරිවර්තනය කර ගැනීමේ හැකියාවද අන්තර්ජාලය භාවිත කරන්නාට ලැබේ. පාසල් විෂය කරුණුවලට අමතරව එම විෂය කරුණු පෝෂණය කර ගැනීමට අවශ්‍ය බොහෝ දේ ලබා ගත හැකි පහසුම මාධ්‍ය වන්නේ අන්තර්ජාලයයි.

අද බොහෝ පොත්පත් වුවද අන්තර්ජාලයෙන් සපයා ගත හැකි අතර, අවශ්‍ය නම් වීඩියෝ දර්ශන ලබා ගැනීමෙන් තමා සොයනා කරුණු සම්බන්ධව වඩාත් වැඩි දැනුමක් උකහා ගත හැකිය.

දැනුම පොත පතට පමණක් සීමා වී තිබුණු අතීතයේ රූපවාහිනිය භාවිතයට පැමිණීමත් සමග රූපවාහිනිය භාවිතය දරුවන්ට සුදුසු නොවේය යනුවෙන් මෙවැනිම මතයක් විය. සැබවින්ම අධ්‍යාපන මාධ්‍යයක් ලෙස රූපවාහිනිය යොදා ගන්නේ නම් එහි උපරිම ප්‍රතිඵල එය භාවිත කරන්නාට අත් කර ගත හැකි වන නමුදු ගැටලුව වූයේ රූපවාහිනි විකාශයන් වෙළෙඳ අරමුණු මත පදනම් වීමත් සමග අධ්‍යාපනය යන්න තවදුරටත් එතුළ වලංගු සාධකයක් නොවීමය. ලාභ අපේක්ෂාවෙන් රූපවාහිනිය ක්‍රියාත්මක වීමත් සමග සැබවින්ම එමගින් විකාශය කරන බොහෝ දේ දරුවන්ට සුදුසු නොවන තත්ත්වයක් මත වැඩිහිටියන්ගේ තර්කය සාධාරණ වූ අතර දරුවන් රූපවාහිනියෙන් ඈත් කිරීමට කටයුතු කිරීමට සිදු විය. එහෙත් කවදත් සිදු වන සේ සිදු වී ඇත්තේ දරුවන් වඩවඩාත් රූපවාහිනියට ආකර්ෂණය වීමය.

එහෙත් අන්තර්ජාලය දැනුවත් ලෙස භාවිත කරන්නේ නම් මේ තර්ජනය එහි දක්නට ලැබෙන්නේ නැත. අන්තර්ජාලය භාවිත කරන්නාගේ තෝරා ගැනීම වීම එයට හේතුවයි. රූපවාහිනියේදී අපට විකාශකයා ලබා දෙන දේ නැරඹීමට සිදු වන නමුත් අන්තර්ජාලයේදී තමන්ට කැමති දේ තෝරා ගැනීමේ හැකියාව තිබේ. එබැවින් දැනුම සම්භාරයක් ඒ ඔස්සේ විවෘත වන අතර එතැනදී දෙමවුපියන්ගේ කාර්යභාරය වන්නේ දරුවන්ගේ තෝරා ගැනීමට සහාය වීමය. දරුවන්ගේ දැනුම වැඩි කර ගැනීමට අවශ්‍ය වෙබ් අඩවි සම්භාරයක් අන්තර්ජාලයෙන් සොයා ගත හැකි අතර, සම්පූර්ණ අධ්‍යාපන ක්‍රියාවලියක් සඳහා එමගින් දැනුම සම්පාදනය කර ගත හැකිය.

දරුවන් අනවශ්‍ය වෙබ් අඩවිලට ප්‍රවිෂ්ට වීම වැළැක්වීමට නොයෙක් ක්‍රමද අද වන විට හඳුන්වා දී ඇති බැවින් එවැනි ක්‍රම භාවිතයෙන් දරුවන්ට ආරක්ෂාව සලසා දී පරිගණකය සහ අන්තර්ජාලය භාවිතයට ඔවුන් හුරු කිරීම, ඔවුන්ට ඉඩ ලබා දීම ඔවුන්ගේම යහපතට හේතු වනු ඇත.

ටිරෝනි වෑවලගේ

Comments

හොඳයි ඒත් ඇබ්බැහි වීමට තිබෙන ඉඩකඩ වැඩියි ...සමාජ සම්බන්ධතා අඩුවී හුදකලා වෙනවා ... වැඩිහිටි බාල දෙපක්ෂයටම මෙය බලපානවා .

පිටු