
• නිවේදන කලාව, කටහඬ හා කථිකත්වයට එහා ගිය දැනුම් ගවේෂණය හා සම්බන්ධ කලාවක්. එහෙත් වෘත්තීය මට්ටමට යන විට වර්තමානයේ නිවේදන කලාවෙන් දැනුම් ගවේෂණය දුරස් වෙමින් පවතින බවයි දක්නට ලැබෙන්නේ.
ගුවන්විදුලි මාධ්‍යය හඬ නැත්නම් ශ්‍රවණ ඉන්ද්‍රිය සමඟ බැඳි මාධ්‍යයක් නිසා ගුවන්විදුලි නිවේදකයාට නිතර ම බුද්ධිමය අභියෝගයක් තිබෙනවා. එය නොමැති වූ තැන නිවේදන කලාව හෑල්ලුවට ලක් වෙනවා. මයික්‍රෆෝනයක් ඉදිරිපිට කෝටියක් ජනතාව ආමන්ත්‍රණය කරන්න ඔහුට උපයා ගත් බුද්ධිමය දේපළක් අවශ්‍යයි. මේ මොහොතේ පරිසරයේ ජාතික හෝ අන්තර්ජාතිකව සිදුවන දේ පිළිබඳ ව වගේ ම ශ්‍රාවක රුචිකත්වය පිළිබඳවත් නිවැරදි අවබෝධයක් තිබිය යුතුයි. එසේ නොවන තැන තමයි රත්නශ්‍රී විජේසිංහයන්ගේ විචාරය අනුව ගුවන්විදුලි නිවේදකයා “සිල්ලර කඩේ කොල්ලා” බවට පත්වන්නේ. බුද්ධිමය අභියෝගය නැති තැන සිදු වෙනවා මුදලාලිලාගේ බඩු විකුණන්න. එවිටයි නිවේදන කලාව අවගමනය වන්නේ. මා යම් ජනප්‍රියත්වයක් ලබා තිබෙනවානම් ඒ, පෙර සූදානමක් ඇතිව වැඩසටහන් කිරීම නිසාමයි. මා මගේ නිවසේ කුඩා පුස්තකාලයක් පවත්වාගෙන යනවා. ඒ වගේ ම ගුවන්විදුලි සංස්ථාවේ තමයි ආසියාවේ වැඩි ම ගීත සංචිතය තිබෙන පුස්තකාලය තිබෙන්නේ. බුද්ධිමය අභියෝගය ජය ගැනීම සඳහා මා මේ සියල්ල පරිශීලනය කරමින් දැනුම හඹා යනවා. එහෙත් බොහෝ නිවේදකයන් එසේ දැනුම හඹා යන බවක් දක්නට ලැබෙන්නේ නෑ.”පාරදිගේ” චිත්‍රපටයේ විජය කුමාරණතුංගයන් කියනවා, “අපි හරියට විසිකරන්න දාපු එරඬු දඬු වාගේ; අපට මුල් නෑ, ඒත් දලු එනවා.” මේක ම තමයි නිවේදන කලාවටත් වෙලා තිබෙන්නේ.
• ගුවන්විදුලි නාලිකා විශාල ප්‍රමාණයක් බිහි වුණත් ඊට සාපේක්ෂ ව හරවත් වැඩසටහන් විකාශය වන බවක් දක්නට නැහැ. ඊට හේතුව ශිල්පීන්ගේ දැනුම් ඌනතාවට වඩා ඒ ඒ නාලිකාවල පෞද්ගලික න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීම නොවේද?
රේඩියෝ අඩු වෙලා අසන්නන් වැඩි වීමයි විය යුතු වන්නේ. ඒත් සිදුවී තිබෙන්නේ රේඩියෝ වැඩි වෙලා අසන්නන් අඩු වීමයි. අනූව දශකයට කලින් ගුවන්විදුලි ඒකාධිකාරය තිබුණේ රජයටයි. අනූවෙන් පසු පෞද්ගලික සමාගම්වලට නාලිකා අරඹන්න රජයෙන් බලපත්‍ර ලබා දෙනවා. එහිදී පැවැති රජයන් තම තමන්ට හිතවත් ව්‍යාපාරිකයන්ට බලපත්‍ර ලබා දෙනවා. රජයේ පාසලක ආපන ශාලාවක් වුණත් මුදලාලි කෙනෙක්ට ලබා දීමේ ටෙන්ඩර් පටිපාටියක් තිබෙනවා. ඒත් රජයට අයිති මේ අවකාශය සහ සංඛ්‍යාත පරාසයන් සින්නක්කරව ව්‍යාපාරිකයන්ට ලබා දෙන්නේ අඩු ම තරමේ මාධ්‍ය පිළිබඳ දැනුමක්වත් තිබෙනවාද කියා සොයා බැලීමකින් තොරවයි. එවැනි තත්ත්වයක් යටතේ ගජමිතුරු මාධ්‍ය ව්‍යාපාරවලින් සදාචාරවත් මාධ්‍ය සංස්කෘතියක් අපේක්ෂා කරන්න පුළුවන්ද?ඒ අයට ක්‍රියාත්මක කරන්න වෙන වෙන ම න්‍යායපත්‍ර තිබෙනවා. ඇතැම් නාලිකා ගීත පමණයි ප්‍රචාරය කරන්නේ. ගීත පමණක් ප්‍රචාරය කරන්න ගුවන්විදුලි නාළිකාවක් අවශ්‍යද? ඒ වගේ ම හරවත් වැඩසටහන් කිරීමට දැනුමත් අවශ්‍යයි.
• රටට අවශ්‍ය විවිධ වෘත්තිකයන් නිර්මාණය කිරීම සඳහා විවිධ පුහුණු ආයතන තිබෙනවා. ඒ වගේ ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන තම තමන්ගේ වෘත්තිකයන් ඒ ආයතන මඟින් පුහුණු කරවනවා. ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ප්‍රජාවක් ඉදිරියට යන නිවේදක වෘත්තිකයන්ට මෙවැනි පුහුණු ආයතනයක් හෝ පුහුණුවීම් ලැබී තිබෙනවාද?
ගුවන්විදුලියට අප බඳවාගන්නා අවස්ථාවේදී කටහඬ, භාෂා ශෛලිය, දැනුම ආදී අංශ ගණනාවක් මැන බැලීමට සම්මුඛ පරීක්ෂණ ගණනාවක් පැවැත්වුණා. ගුවන්විදුලියේ සෑම නිවේදකයකු ම මාස අටක් දහයක්වත් ගුවන්විදුලි අභ්‍යාස ආයතනයේ පුහුණුවීම් ලබනවා. එහෙත් ගුවන්විදුලියෙන් පරිබාහිරව මේ ප්‍රශස්ත මට්ටම දකින්න ලැබෙන්නේ නෑ. ඒ වගේ ම පෞද්ගලික ආයතන එවැනි ආයතනයක් මඟින් පුහුණුවීමක් සඳහා යොමුවීමකුත් නෑ. රාජ්‍ය හෝ පෞද්ගලික බෙදීමකින් තොරව මේ රටේ නිවේදකයන් බිහි කිරීම සඳහා පොදු ආයතනයක් බිහි වෙනවා නම් කුමන නාළිකාවක සේවය කළත් පිළිගත් බුද්ධි මණ්ඩලයක් වෙතින් පුහුණුව ලැබූවන් පමණයි, රටේ ශ්‍රාවක ප්‍රජාව ආමන්ත්‍රණය කරන්නේ. ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ අයට බලපත්‍ර ලබාදීම සිදු කරන නිසා ඔවුන්ට වගකීමක් තිබෙනවා නිවේදක වෘත්තිකයන් බිහිවීමට ප්‍රමිතිගත ආයතනයක් ඇති කිරීමට. එසේ නියාමනයක් නොවන නිසා ප්‍රමිතියෙන් තොර නාලිකා සහ නිවේදක වෘත්තිකයන් බිහි වෙනවා. අපි දැනටමත් ප්‍රමාදයි. අපේ රටේ ගුවන්විදුලිය බිහි වෙලා වසර අනූ පහක් ගත වුණත් අපට තවම ගුවන්විදුලි නිවේදකයන් බිහි කිරීමේ රාජ්‍ය මැදිහත් වීමකින් යුතු පොදු අභ්‍යාස ආයතනයක් නෑ. ඒ නිසා අපට නිවැරදි සම්ප්‍රදාය රකිමින් නූතනත්වයට යන්න සාමූහික ගමනක් නිර්මාණය වෙලා නෑ.
• ශ්‍රාවකයාට සාධාරණයක් වන පරිදි සාකච්ඡාවක් මෙහෙයවීම සඳහා සන්නිවේදකයකු අනුගමනය කළයුතු පිළිවෙත කුමක්ද?
අද වනවිට සාකච්ඡාවක තිබිය යුතු දේට වඩා නොතිබිය යුතු දේ වැඩිපුර දක්නට ලැබෙනවා. සාකච්ඡාවක මුල මැද අග කියන තුන් තැනෙහි ගලා යෑමක් තිබිය යුතුයි. ඒ ගලා යාම පවත්වා ගැනීමට නිවේදකයා, සම්පත්දායකයා පිළිබඳව වගේ ම ඔහුගේ විෂය පරාසය පිළිබඳවත් දැනුම්වත් විය යුතුයි. ඒ අනුව ගලා යෑමක් පවත්වා ගැනීමට නොහැකි වන තැන ශ්‍රාවකයාට ඒ සාකච්ඡාව නීරස වෙනවා. ඇතැම් නිවේදකයන් තමන්ගේ දැනුම පෙන්වීමට යෑම නිසා වැල්වටාරම් කියවමින් කාලය විනාශ කරගන්නවා. නිවේදකයාට ප්‍රශ්නයක් ඇසීමට තිබෙන්නේ තත්පර පනහක පමණ කාලයක්.
අද ඇතැම් නිවේදකයන් වැඩසටහනට ප්‍රවේශ වීමට හා ප්‍රශ්නය යොමු කිරීමට විනාඩි හතක් පමණ වැය කරනවා. ඒ නිසා නිවේදකයාට සාකච්ඡාවේ කාලය පරිස්සම් කර ගැනීමට නොහැකිවී තිබෙනවා. ඒ වගේ ම නිවේදකයාගේ ප්‍රශ්න කෙටි විය යුතුයි. සම්පත් දායකයාට කෙටි පිළිතුරු දිය නොහැකි ආකාරයේ ප්‍රශ්න ඇසිය යුතුයි. නිවේදකයාගේ ප්‍රශ්න කිරීම ඉදිරියේ සම්පත් දායකයාගේ කියැවීම දිගහැරිය යුතුයි. ඒ වගේ ම සාකච්ඡාවකදී නිවේදකයාගේ
“හුමිටි තැබීම” ප්‍රතික්ෂේපිත තත්ත්වයක්.
• ඔබ සඳහන් කරන න්‍යායික කාරණාවලින් බැහැරව ප්‍රායෝගික භාවිතයේදී ශ්‍රාවකයා ඇද බැඳ තබා ගත හැකි ප්‍රශස්ත මට්ටමේ වෙනත් භාවිතාවන් හෝ මේ න්‍යාය උල්ලංඝනය කිරීම් නිවේදන කලාව නව්‍යතාවකින් පෝෂණය කරනවා නොවේද?
වර්තමානයේ පවතින නව තොරතුරු තාක්ෂණික මාධ්‍ය නිසා නාලිකා සහ ශ්‍රාවකයා අතර ඇති දුරස් බව බිඳී තිබෙනවා. ජංගම දුරකථනය හා මුහුණු පොත ශ්‍රාවකයාගේ ප්‍රතිචාරය එසැණින් ගෙන එනවා. මෙහිදී මේ නුතනත්වයට අප ගමන් කළ යුත්තේ සම්ප්‍රදාය රැක ගනිමිනුයි. ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන් ඔහුව හඳුන්වා ගත්තේ “ලිබරල් බ්‍රෝඩ්කාස්ටර්” කෙනෙක් ලෙසයි. ඒ ලිබරල් බව කියන්නේ ඕනෑ ම වල්බූරු කතාවක් අසන්න හෝ කියවන්න තිබෙන නිදහසක් නෙවෙයි. ඔහුගේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී නිවේදන කලාව අප බොහෝ දෙනා වටහා ගන්නේ වැරදි සීමාවෙනුයි. ගුවන්විදුලියේ තිබූ උක්ත ආඛ්‍යාත ගළපා ව්‍යාකරණානුකූලව කතා කිරීම ඔහු වෙනස් කර සරල ක්‍රමයක් අනුගමනය කරනවා. ඒ ආකාරයට ගුවන්විදුලිය නිතර යාවත්කාලීන වෙනවා. ප්‍රේමකීර්ති නිර්මාණය කළ ඒ දෘශ්‍ය සංකේත අපි භාවිත කරනවා. එහෙත් අප වගබලාගත යුතුයි, එය අවභාවිත නොකර ප්‍රමිතිගතව පවත්වා ගැනීමට. ශ්‍රාවකයාට ළං වීමත් ප්‍රශස්ත මට්ටමින් විය යුතුයි. ගුවන්විදුලිය වසර අනූ පහක් එක තැන නොසිට යාවත්කාලීන වුණා. එහෙත් ප්‍රමිතීන් රැක ගත්තා. අපට ප්‍රමිතිය පරෙස්සම් කරන්න බැරි වුණොත් වැරැද්ද ප්‍රමිතිගත වෙනවා. එය නිවැරදි කිරීම අසීරු කාර්යයක්.