
කෘතිය - සිංහල නාට්‍යයේ ප්‍රාසංගික කලාත්මක වර්ධනය
කර්තෘ - ආචාර්ය ජයලත් මනෝරත්න
ප්‍රකාශනය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
පරිච්ඡේද පහකින් සමන්විත පිටු හාරසියයක් ඉක්මවා රචනා කරන ලද නිබන්ධය මනෝරත්නයන් විසින් තම ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් කර ඇත. සිංහල වේදිකා නාට්‍යය තුළ දිගු ගමනක් පැමිණි මනෝරත්නගෙන් සිංහල නාට්‍යය වෙන් කළ නොහැකි ය. ලංකාවේ බිහි වූ ප්‍රබල නාට්‍යකරුවන්ට වඩා ඔහුගේ විශේෂත්වය වන්නේ නාට්‍ය රචනය, අධ්‍යක්ෂණය, රඟපෑම පමණක් නොව වේදිකා නාට්‍යයේ වෙනත් අානුෂංගික අංග කෙරෙහි ද ඔහු දක්වන දක්ෂතාවයයි. ඒ සියලු දේ කැටි කරගනිමින් දීර්ඝ කාලයක සිට පර්යේෂණ පවත්වමින් ඉදිරිපත් කළ ඉහත කෘතිය සිංහල නාට්‍යයේ මුදුන් මල්කඩක් සේ සැලකිය හැකි ය. පළමු පරිච්ඡේදයේ අරමුණ වන්නේ යථාර්ථවාදී රංග කලාව, සිංහල නාට්‍යයේ ප්‍රභවය, සිංහල නාට්‍යයේ විකාශනය, ප්‍රාසංගික අර්ථ විග්‍රහය, කලාත්මක අර්ථ විග්‍රහය, කලාවේ අරමුණු, අවශේෂ නිර්වචන, කලාව, කලාව සහ සාහිත්‍යය යන උප මාතෘකා යටතේ ගැඹුරු කතිකාවක් පාඨකයා වෙත යොමු කිරීම ය.
ලෝක පරිමාණයෙන් බැලූ කල අප දිවයිනේ සම්භාව්‍ය නාට්‍ය කලාවට එතරම් දීර්ඝ ඉතිහාසයක් නැත. නමුත් ජන වන්දනා, යාතු කර්ම, බලි තොවිල්, පූජා විධි ආදියෙන් පැනෙන සංවාදය සහ විශ්වවිද්‍යාල ආශ්‍රිත පරිවර්තන නාට්‍යයන් ද දේශීය නාට්‍ය ගමන් මගේ විසිවන සියවස මැද භාගය දක්වාම විකාශනය වූ බව පැහැදිලි ය. 1956 සරච්චන්ද්‍ර මහතා නිර්මාණය කළ ‘මනමේ’ සමඟ උදා වූ සිංහල නාට්‍යයේ නූතන යුගය යාවත්කාලීන වන බව පැහැදිලි ය. මනෝරත්නයන් පැහැදිලිව දක්වන ලෙසට අන්තර්ගතය සහ ආකෘතිය අතින් පමණක් නොව විදේශ නාට්‍ය සම්ප්‍රදානයන්ගේ ආයාසය ලැබීම අතින් ද සිංහල නාට්‍යය ප්‍රාසාංගික ගති ලක්ෂණවලින් ප්‍රශස්ත මට්ටමකට පැමිණ ඇත. ලෝකයේ සිටි සහ සිටින බොහෝ නාට්‍යකරුවන්ගේ සහ දාර්ශනිකයන් නාට්‍ය කලාව සහ සාහිත්‍යය පිළිබඳව දැක්වූ අදහස් කතුවරයා එක් තැනකට ගොනු කරයි. සියලු ප්‍රකාශම මෙහි බහාලිය නොහැකි වුවත් ඉතා වැදගත් ප්‍රකාශ කිහිපයක් සටහන් කිරීම අවශ්‍යයය. මෙහිදී පළමුවෙන් ම බර්ටොල්ට් බ්‍රෙෂ්ට්ගේ ප්‍රකාශනයක් උපුටා දැක්වීම වැදගත් ය.
“ජාතික රංග කලාව, දිරි නොගන්වන හෝ ඊට උදව් උපකාර නොකරන හෝ ජාතියක් නොමළ මුත් මිය යමින් පවතින්නකි...”
රටක ප්‍රඥාව වැඩීමට හේතු කාරක වන ඉතාමත් ඵලදායි හා මුවහත් ප්‍රකාශනය රංග කලාවයි. ශෝකාන්තවල සිට ප්‍රහසනය තෙක් සෑම රංගයකටම අයත් රංග කලාව සංවේදීතාවෙන් යුතු මුල් බැසගත් ලක්ෂණ සහිත නම් ඊට ජනතාවගේ බුද්ධිමත් භාවයේ පරිවර්තනයක් ඇති කළ හැකි ය. එ නමුදු ජරාජීර්ණ වූ රංග කලාවකට මුළු මහත් ජාතියක පියාපත් සිඳ දමා කුරගෑමේ ගමනකට ඉඩ සලසමින් එම ජාතිය ම නිර්වින්දනය කොට තැබීමට පුළුවන”
කලාව පිළිබඳව මාක්ස් පවසන අදහස ද මෙහි බහාලීම සුදුසුය.
“භෞතික ලෝකය පිළිබඳව සමාජ යථාර්ථවාද ප්‍රකාශනය කලාවයි” නාට්‍යය සහ රංග කලාව විෂයයන් දෙකක් යටතේ විමසිය යුතු යැයි කතුවරයා සඳහන් කරයි. නාට්‍යය යනු පෙළ හා රචනය මුල් කොට ගත් පිටපත ය. රංග කලාව යනු එම පිටපත මුල් කරගනිමින් නිෂ්පාදනය වන නිර්මාණයේ ප්‍රසාංගික කලාවයි. නාට්‍යයේ නියම රසය මතුවන්නේ රසිකයින් අබිමුව සජීව ම හමුවන තැන මතුවන සෞන්දර්යාත්මක ආශ්චර්යයි.
යථාර්ථවාදී රංග කලාව බිහිවන්නේ සම්භාව්‍ය අකෘතිය වන ස්වාභාවික රංග කලාවට එරෙහිව ය. ස්ටැනිස්ලව්ස්කි පවා මේ පිළිබඳ ව කතා කරන්නේ කලකිරීමෙනි. අපගේ නාට්‍ය කලාව තවත් ඉදිරියට යා නොහැකි මාර්ගයකට පැමිණ ඇති බවත්, ස්වභාවික රංග ක්‍රමය මගින් වේදිකාවට එන නාට්‍ය පිළිබඳව ප්‍රේක්ෂකයන්ගේ උනන්දුව හීනවීමට පටන් ගෙන ඇති බවත් ය.
සිංහල නාට්‍යයේ විකාශනය පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන කතුවරයා සිංහල නාට්‍යයේ ක්‍රමික විකාශනයේ නව නාට්‍ය වංශ කථාවෙහි මුල් පිටුව පෙරැළෙනුයේ 1956 නිෂ්පාදිත සරච්චන්ද්‍ර මහතාගේ ‘මනමේ’ නාට්‍යයෙන් බව පවසයි. සරච්චන්ද්‍ර මහතාගේ අනුපමේය මැදිහත් වීම ගැන මනෝරත්නයන් ඉදිරිපත් කරන විග්‍රහය සිංහල නාට්‍ය කලාව තේරුම් ගැනීම සඳහා මහත් උපකාරයක් සකසයි. දේශීය නාට්‍ය සම්ප්‍රදායක් ගොඩනැඟීමෙදි යා හැකි මාර්ගය අධිකාරි දෙකක් මත රැඳී තිබෙන බවත් එකක් අපේ සභ්‍යත්වයට වඩාත් ළංවන භාරතයේ සංස්කෘත නාට්‍යයේ ආභාසය වන අතර, අනෙක සොකරි, කෝලම් නාඩගම් වැනි ජන සම්මත නාට්‍යවල ආභාසය මත බවත් ඔහුගේ අදහස විය. ‘ප්‍රාසංගික අර්ථ විග්‍රහය’ ලෙස කතුවරයා සඳහන් කරන්නේ ප්‍රාසංගික කලාව යනු කිසියම් පිළිවෙළක් සහිතව විනයානුකූල භාවයකින් යුතුව ප්‍රේක්ෂකයා සඳහා ඉදිරිපත් කරන ප්‍රසංගයකි. එය පිටපතක් ඇතිව හෝ නැතිව ඉදිරිපත් කළ හැකි ය.
කලාවේ අරමුණු පිළිබඳ ව කතුවරයා සඳහන් කරන කොටස ඉතාමත් ප්‍රගතිශීලී ය. කලාව පිළිබඳව මාක්ස් ඉදිරිපත් කළ නිර්වචනයන් කතුවරයාගේ චිත්තය තුළ රැව්දෙන බව පසක් කළ හැකි ය. කලාවේ අරමුණු ලෙස භාරතමුනිගේ ප්‍රකාශ කළේ ලෝකයේ පැවැත්ම සුඛ දුක්ඛ වශයෙන් යුක්ත වූ යම් ස්වභාවයක් ලෝකයේ ඇත් ද එය, අනුකරණය කිරීම නාට්‍යය බව ය. ඇරිස්ටෝටල් ගේ මතය ද ඒ හා සමානය නමුත් කලාව පිළිබඳව මාක්ස්වාදී අදහස ඊට වඩා වෙනස් ය. මාක්ස්ගේ මූලික කියැවීම වන්නේ බුද්ධිමය ජීවිතයේ ක්‍රියාදාමය සකස් කරනු ලබන්නේ ද්‍රව්‍යමය ජීවිතයේ නිෂ්පාදන විධිය මගිනි. ඒ අනුව කලාවේ ප්‍රභවය ද හඳුනාගත හැක්කේ ද්‍රව්‍යාත්මක සාධකවලිනි. අවසාන විග්‍රහයේදී කලාව වනාහි භෞතික ලෝකය පිළිබඳ සමාජ යථාර්ථවාදී ප්‍රකාශනයකි.
ඔහුගේ ප්‍රබල විග්‍රහය තුළ මිනිස් සමාජයේ මූලාරම්භයේ සිට මිනිස් ශ්‍රමය කලාව හා බැඳී තිබූ අයුරු අපට පසක් වෙයි. කලාවේ පරමාර්ථ පිළිබඳව ලෝකයේ දාර්ශනිකයන් අතර මතුවුණ අදහස් විවිධාකාරය. කලාව විනෝදය සඳහා ය. කලාව ජීවිතයේ දුක් කටුලුවලින් නොසැලී එයින් ගැලවීම සඳහා ය. කලාව ආත්මානුභූතිය සඳහා ය. මෙවැනි අරමුණු විටින් විට නැඟී යළිත් යටපත් වී ගියේය.
භෞතික ලෝකය ගැන සමාජ යථාර්ථය, කලාවෙන් ප්‍රකාශ නොකරන්නේ නම් ඒ කලාවෙන් පීඩිත ජනතාවට සේවයක් නොවන බව මාක්ස්වාදීන්ගේ මතයයි. එහෙත් කලාව යන විෂයය පැහැදිලි කිරීමේ අරමුණ ඇතිව කාලාන්තරයක් තිස්සේ ග්‍රන්ථ සහ ලිපි විශාල ප්‍රමාණයක් ලියවී ඇතත් ඊට නිශ්චිත විවරණයක් දීමට මේ වනතෙක් කිසිවකු සමත් වී ඇති බවක් නොපෙනෙන බව කතුවරයා පවසයි. පරිකල්පනය මඟින් ආස්වාදනය කළ හැකි හෝ වින්දනයක් බවට පත්කර ගත හැකි හෝ යම් නිර්මාණයක් වේ ද එය කලාව බව සාමාන්‍ය පිළිගැනීමයි.
කලාව සහ සත්‍යය අතර සම්බන්ධය ද ඉතා වැදගත් ප්‍රපංචයකි. ඕනෑම කෘතියකට යම් අන්තර්ගතයක් අයත් බව පිළිගත හැක. එම අන්තර්ගතය ජීවිතය හෝ සමාජය පිළිබඳව සත්‍යයකින් යුක්ත බව ද පිළිගැනීමට සිදුවේ. ඒ සඳහා මෝපසාව උපුටා දක්වන කතුවරයා මෙසේ පවසයි.
“යථාර්ථවාදී කලාවන්ගේ දෘෂ්ටි කෝණය අනුව සලකා බැලීමේදී වුව ඔවුන්ගේ මතය සාකච්ඡා කිරීම හා තර්ක කිරීම අවශ්‍ය වනු ඇත. ඔවුන් පිහිටන මතය සම්පීඩනය කරතොත් මෙසේ වන්නේ ය. සම්පූර්ණ සත්‍යය - සත්‍යය හැර අන් කිසිවක් නොවේ.
මෙම කෘතියේ දෙවන පරිච්ඡේදය ආරම්භ වන්නේ 1970 සිට 2000 දක්වා නිර්මාණය වූ නාට්‍ය පසුබිමේ සමාජ දේශපාලන පරිසරය විචාරයට ලක් කිරීමෙනි. එහි දී කතුවරයා මාක්ස් පෙරටු කර ගනිමින් මේ විග්‍රහයට මුල පුරයි. ඇත්තෙන් ම මොහුගේ මෙම මැදිහත්වීම දේශපාලනිකය. අපට අවශ්‍යවන්නේ ද ඒ දේශපාලනික මැදිහත් වීම ය. රටක ආර්ථික සමෘද්ධිය හේතු කොට ගෙන උසස් කලා කෘති බිහිවනවා වුව ද ආර්ථික පරිහානියේ ප්‍රතිඵලයක් වශයෙන් ද උසස් කලා කෘති බිහිවන බවට මාක්ස්ගේ ප්‍රකාශය උදාහරණ සහිතව කතුවරයා මතු කරයි. ලියෝ තෝල්ස්තොයි, ඇන්ටන් චෙකොෆ් වැනි නිර්මාණකරුවන් උසස් නිර්මාණ ජනතාවට දුන්නේ සාර් පාලනයේ දැඩි පීඩාවට පත් වෙමිනි. පුරා සියවස් හතරකට අධික කාලයක් බලවත් රාජ්‍ය තුනකට යටත්ව තිබූ ශ්‍රී ලංකාව පරාධීන බවින් මිදීමට ඉන්දියාව සේ බලවත් අධිරාජ්‍ය විරෝධී අරගලයක් දියත් නොකර අධිරාජ්‍යවාදීන්ගේ විශ්වාසය දිනා ගනිමින් එකල සිටි ලංකාවේ ප්‍රාඥ පන්තිය බලය ලබා ගැනීම නිසා තම පන්තිය තුළ ම බලය තහවුරු කර ගැනීම නිසා පොදුජන එක්සත් බවක් ලංකාව තුළ පැන නොනැගිණි. ඒ නිසා ම නිදහස ලැබූ පළමු දශකය තුළ ම ජාතික ප්‍රශ්නයත්, පන්තීන් පිළිබඳ ප්‍රශ්නත්, පසුකාලීනව සංකීර්ණ ගැටලු දක්වා පරිවර්තනය වූ ආකාරය නිවැරැදි ලෙසම සටහන් කරයි.
හැත්තෑව දශකය ආරම්භ වන විට ප්‍රබල නාට්‍යකරුවන් ගොඩනැඟූ ශක්තිමත් අත්තිවාරම නිසා නාට්‍ය කලාව ප්‍රශස්ත මට්ටමකට පත්විය. එයට මුල් වූ විශාල නාට්‍ය ප්‍රමාණයක් කතුවරයා විසින් මෙම කෘතියේ සඳහන් කරයි. ඉන්පසුව 1971 කැරැල්ල ද 1983 ජූලි සංහාරය ද උතුෙර් සන්නද්ධ අරගල බිහිවීම පිළිබඳව ද ශාස්ත්‍රීය විග්‍රහයක් මෙම කෘතියට අන්තර්ගතවී ඇත.
මේ කෘතිය සඳහා පිරිපුන් සමාලෝචනයක් ඉදිරිපත් කිරීම ඉතාමත් දුෂ්කර කාරියකි. ජයලත් මනෝරත්නයන් මෙම කෘතිය රචනා කිරීම සඳහා ඉතා විශාල වපසරියක් ආශ්‍රය කරයි. නාට්‍යය ගැන අමුඅමුවේ කතා කිරීමක් නො ව එහි සෑම අංගයක්ම ස්පර්ශ කරමින් ලංකාවේ සහ ලෝකයේ නාට්‍ය ඉතිහාසය ද වර්තමානය ද නාට්‍යයේ සංගීතය නර්තනය රසවිඳීම යන කරුණු පමණක් නොව මේ තාක් බිහි වූ සියලුම නාට්‍ය රචකයන්ගේ නිර්මාණ එකින් එක ගනිමින් වෙන වෙනම ඒවා පිළිබඳව කරන විග්‍රහයන්ගෙන් ද මේ කෘතිය තුළ අන්තර්ගත ය. එපමණක් නොව අතීතයේ එක් එක් වකවානු තුළ පැවැති දේශපාලන තත්ත්වයන් ද නාට්‍ය කලාවට බලපෑ අයුරු පිළිබඳව ඔහු කරන විග්‍රහයන් ගැඹුරු දේශපාලන අරුත් මතු කරයි. ලංකාවේ නාට්‍ය කලාව අරබයා මෙවැනි අංග සම්පූර්ණ කෘතියක් මෙතෙක් ප්‍රකාශයට පත්වී නැති බව ජයලත් මනෝරත්නයන්ට උපහාර වශයෙන් පැවසිය යුතු ය.