මොසාට් සංගීතයේ පමණක් නොව ප්‍රහසනයේ ද දක්ෂයෙකි | සිළුමිණ

මොසාට් සංගීතයේ පමණක් නොව ප්‍රහසනයේ ද දක්ෂයෙකි

සම්භාව්‍ය යුගයට අයත් අග්‍රගණ්‍ය සංගීතඥයකු ලෙස වුල්ෆ්ගැන්ග් අමාඩියුස් මොසාට් ගෞරවයට පාත්‍ර වේ. බවුතීස්මයේදී ඔහු ලද නාමය ජොහැන්නස් ක්‍රිස්ටෝපස් වුල්ෆ්ගැන්ග්ස් තියෝපිලස් මොසාට්ය. ග්‍රීක බසින් “තියෝපිලස්” යනු ලතින් බසින් ආදරයේ දෙවිඳුන් හැඳින්වීමට භාවිත වූ “අමාඩියුස්” යන්නය. මොසාට් ප්‍රසිද්ධියට පත්වූයේ වුල්ෆ්ගැන්ග් අමාඩියුස් මොසාට් යන නමිනි. ඔහුගේ සුරතල් නාමය “වුල්ෆි” ය.

වර්ෂ 1756 දී උපත ලැබූ මොසාට් වසර 35ක සිය කෙටි ජීවිත කාලය තුළ ලෝකයට ඉතිරි කොට ගිය සංගීතමය දායාදය ශ්‍රවණයෙන් රස විඳීමට පැය 202 ක කාලයක් අවැසිය. ඔහු පළමු සංගීත නිර්මාණය කළේ 6 හැවිරිදි දරුවකුව සිටියදීය. 16 හැවිරිදි වියට එළැඹෙන විට ඔහු ඔපෙරා 8ක් රචනා කර තිබිණි. මොසාට් සිය පළමු ඔපෙරාව රචනා කළේ 14 හැවිරිදි වියේදීය.

ලන්ඩන් වේදිකාවේ ද ශිල්ප දක්වන විට ඔහු 9 හැවිරිදි ළමයෙකි. ඒ වයසේ සිටින ළමයකුට වඩා ප්‍රතිභාවක් ඔහුගේ නිර්මාණවලින් පළ වනු දුටු ඇතැම් අය කීවේ ඔහු ළමයකු නොව කුරු මිනිසකු විය හැකි බවය. මොසාට් සිරුරින් මිටි අයෙක් විය.

බාච්, හැන්ඩල් සහ හේඩ්න් වැනි විශිෂ්ට සංගීතඥයන් මොසාට්ට කුඩා කාලයේදීම විශාල ආභාසයක් විණි. තරුණ මොසාට්ගේ දස්කම් උසස් ලෙස අගය කරමින් වරෙක හේඩ්න් මොසාට්ගේ පියාට පැවසුවේ ඔහු වැනි අයකු තවත් නැති බවය. ඇදහිය නොහැකි තරම් ධාරණ ශක්තියක් ද මොසාට්ට විය. වතිකානයේ සංචාරයක යෙදුණු අතරතුර ඔහුට ජෝර්ජියෝ අලෙයුගේ සංගීත නිර්මාණයක් රස විඳීමට ලැබිණි. එම සමස්ත ස්වර මාලාව මතකයෙන් ලිවීමට මොසාට්ට හැකි විය. අලෙයුගේ නිර්මාණ්‍ය ඊට පෙර වතිකානයෙන් පිටතදී ඉදිරිපත් වී ද නැත.

17 හැවිරිදි මොසාට්ට ඔස්ට්‍රියාවේ වියනා රාජ සභාවේදී ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට ලැබුණේ ගෞරවනීය ඇරියුමකට අනුවය. වර්ෂ 1787 දී ඒ වන විට 16 හැවිරිදි වියේ සිටි බීතෝවන් වියනා නුවරට පැමිණ දෙසතියක් මොසාට්ගෙන් සංගීතය හදාරා ඇත. මොසාට් රෝමානු කතෝලිකයකු වූ බැවින් ඔහුගේ ඇතැම් නිර්මාණවල එම ආගමික පසුබිම ද පිළිබිඹු වේ.

සිය ඔපෙරා නිර්මාණ ලැබු සාර්ථකත්වය මොසාට්ට හොඳ ආදායමක් ද ගෙන ආවේය.

එහෙත් ඔහු වියදම් පාර්ශ්වය අධික විය. මේ නිසාම ඔහු බොහෝ විට ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පෑවේය. විමතියට කාරණයක් විය හැකි වුවද මේ ශ්‍රේෂ්ඨ සංගීතඥයාට රැකියාවක් සොයා ගැනීමට බලවත් පරිශ්‍රමයක යෙදීමට සිදු විය.

මොසාට්ට, “බිම්පෙරි” (ජිම් පෙරි, මිස් බිම්බස් වැනි නම් ද යෙදිණි) නමින් සුරතල් බල්ලකු සිටියේය. මිහිරි නාදයක් නැති කහ පැහැති කැනරි නම් පක්ෂි විශේෂයක් ද ඔහු සුරතලයට ඇති කළේය. ස්ටාලිං නම් පක්ෂි වර්ගයට අයත් පක්ෂියකු ද මේ සුරතලුන් අතර විය. සිය 17 වැනි පියානෝ වෘන්දයේදී ඔහු ස්ටාලිංගේ නාදය ද ඊට එක් කළේය. තුන් වසරක් පමණ ස්ටාලිං, මොසාට්ගේ ආදරය ලබමින් ජීවත් විය. ඌ මියගිය පසු ගෙවත්තේම මිහිදන් කෙරුණු අතර මොසාට් කවියක් ද ලීවේය.

වර්ෂ 1987 දී මොසාට්ට ගෞරවයක් ලෙස ගෙඩි විශේෂයක් නම් කෙරුණේ Eleutheodacthlus amadeus යනුවෙනි. මොසාට්ට ගෞරවයක් වශයෙන් ඔහුගේ නම නොයෙක් අන්දමින් භාවිත වී තිබේ. සංගීතඥ ගුස්ටාව් මහ්ලර් (1860 - 1911) ජීවිතයෙන් සමුගනිද්දී මුවින් පිටවූ අවසන් වදන ද “මොසාට්” ය. මොසාට්ගේ නමේ එම මුල් අකුරු 4න් ඇරැඹෙන රාජ්‍යයක් ද තිබේ. ඒ; මොසැම්බික් ය.

මොසාට්ගේ නිර්මාණ සියල්ල පාහේ ඔහුගේ ප්‍රතිභාව විශිෂ්ට ලෙස පළවූ ඒවාය. ළමා වියේදීම තරුවක් වූ ඔහු, ඒ යුගයේ සිටි ශ්‍රේෂ්ඨම පියානෝ වාදකයන් අතරට ද එක් විය. වයස විසි ගණන් වන විට යුරෝපයේ සිටි ප්‍රකටම සංගීතඥයා වූයේ ද මොසාට්ය. වචනවලට පෙර තනුව ලිවීමට ඔහුට හැකි විණි. සංගීතය යනු ස්වර නොවන බව කී ඔහු එය ස්වර අතර ඇති නිහැඬියාව බව කීවේය.

ප්‍රසංග සඳහා නිතර නිතර චාරිකා කිරීමට මොසාට්ට සිදු විය. 35 වසරක ජීවිත කාලයෙන් 14 වසරක්ම ගෙවී ගොස් ඇත්තේ රටින් පිටතය. ඔහු සමඟ මේ ගමන්වලට පියා සහ සොහොයුරිය ද එක් විය. සංචාරය යනු ඒ යුගයේ පහසු කාර්යයක් නොවේ. ඔවුන් බරපතළ ලෙස රෝගී වූ අවස්ථා එමටය. මොසාර්ට් ළමාවියේදීත් කෙසඟ සියුමැලි දරුවකු විණි. වසුරිය ද වැලැඳී තිබේ. වැඩුණු පසු ද ඔහු හැඩිදැඩි මිනිසකු නොවිණි. මොසාට්ගේ සොයුරිය මරියා ඇනා ද දක්ෂ පියානෝ වාදන ශිල්පිනියකි. මරියා සහ මොසාට් අතර තිබූ සහෝදර බැඳීම ප්‍රබලය. සන්නිවේදනයේදී දෙදෙනා රහස්‍ය භාෂාවක් ද භාවිත කළේය. සංගීතයේ තිබූ විශිෂ්ට ප්‍රතිභාවට අමතරව මොසාට් ප්‍රහසනයේ ද දක්ෂයෙකු විය. ඔහුගේ ඇතැම් විහිළු තහළු අසභ්‍ය යැයි සැලකෙන ඒවාය.

මොසාට් වමත්කරුවෙකි. පියානෝ ප්‍රසංගිකා (කොන්සර්ටෝ) ඉදිරිපත් කළ පළමු සංගීතඥයා ද මොසාට්ය. කොන්සර්ටෝ යනු පියානෝව සහ වාද්‍ය වෘන්දය අතර ඇතිවන සංවාදමය ස්වරූපයකි. ඔහු පියානෝ ප්‍රසංගිකා 27ක් ඉදිරිපත් කර තිබේ. සංධ්වනි 41 කි, ඔපෙරා 22 කි. මොසාට්ගේ සංගීත ගුරුවරයා ඔහුගේ පියාය. සංගීතයට අමතරව ඔහු සිය දරුවන්ට භාෂා මෙන්ම තවත් ශාස්ත්‍රීය විෂයයන් ද ඉගැන්වීය.

මොසාට්ගේ සංගීත ජීවිතයේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ ඉතාලියානු සංගීතඥ අන්තෝනියෝ සැලිරිය. සැලිරි ඔපෙරා 40ක් රචනා කර තිබේ. මොසාට් කෙරෙහි කොපමණ ඊර්ෂ්‍යාවක් ඔහු තුළ තිබුණේ ද යත්, මොසාට්ට වස දී මරා දමන බව ඔහු ප්‍රසිද්ධියේ පවසා තිබේ.

ළමා වියේදීම ඔස්ට්‍රියාවේ මරියා තෙරේසාගේ රැජනගේ අවධානය දිනා ගැනීමට මොසාට්ට හැකි විණි. රැජනගේ දියණියන් සිවුදෙනාගෙන් අයකුගේ ආකර්ෂණය ද ඔහුට ලැබිණි. ඇය පසු කලෙක ප්‍රංසයේ රැජන බවට පත් මාරි ඇන්ටොනයිට්ය.

1791 සැප්තැම්බරයේ ප්‍රාග් නුවර දී La Clementu di Tito ඔපෙරාව ඉදිරිපත් කිරීමට සූදානම් වන අතර රෝගී වූ මොසාට් 1791 දෙසැම්බර් 5 වැනිදා මොසාට් ජීවිතයෙන් සමුගත්තේය. ඔහු මිහිදන් කෙරුණේ ශාන්ත මාර්ක්ස් සොහොන් බිමේ සාමාන්‍ය සුසානයක් අතර නිසා එම නිශ්චිත ස්ථානය හඳුනා ගැනීම අපහසුය. මොසාට්ගේ සුසානයේ ස්මාරකයක් පවා ඉදිවී නැත්තේ එබැවිනි. ඔහුගේ මරණයට හේතුව ද අපැහැදිලිය. ඊට හේතු වූ කාරණා ලෙස 118ක් ඉදිරිපත් වී ඇත. ඒ අතර රූමැටික උණ, ඉන්ෆ්ලුවන්සාව, වකුගඩු ආබාධයක්, රසදිය විස වීමක්, බැක්ටීරියා ආසාදනයක් ද තිබේ.

Comments