
ඉහළ බුරුමයේ කුඩා නගරයක් වූ බදලින්වලදී 1914 ජූලි 10 වන දිනදී උපත ලැබූ තෙයින් පී මින්ට් ගමේ පාසලින් මූලික අධ්‍යාපනය ලැබුවේය. අනතුරුව මණ්ඩලේ පිහිටි අන්තර් මධ්‍ය විද්‍යාලයට ඇතුළු විය. එහිදී අධ්‍යාපන සම්පූර්ණ කිරීමෙන් අනතුරුව 1934 දී රැන්ගුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට තෙයින් පී මින්ට්ට හැකි විය.
1920 දී ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබූ රැන්ගුන් විශ්වවිද්‍යාලය නූතන බුරුම ඉතිහාසයේ සන්ධිස්ථානයක් බව සඳහන් කළ හැකිය. බුරුම භාෂාව, සාහිත්‍යය සහ සංස්කෘතියේ පුනර්ජීවනයක් ඇති කිරීමටත් රට තුළ දේශප්‍රේමී හැඟීම් ඇති කිරීමටත් මේ විශ්වවිද්‍යාලයය සමත් විය. මෙහි ප්‍රථම බුරුම මහාචාර්යවරයා වූ යූ. පී. මාවන්ග් ටින් බුරුම භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ගෞරව පාඨමාලා ආරම්භ කිරීමට කටයුතු කළේය. නව නිර්මාණ බිහි කිරීමට තම ශිෂ්‍යයන් උනන්දු කළ එතුමා ඒවා පළ කරවීමට ද කටයුතු කළේය. නූතන කෙටිකතා සහ නූතන පද්‍ය යනුවෙන් කාණ්ඩ වශයෙන් පොත් පළ කරවීමට එතුමා කටයුතු යෙදුවේය. කෙටිකතාව විශේෂ සාහිත්‍ය අංගයක් ලෙස වර්ධනය වීමට මෙම ක්‍රියාව හේතු වූ බවට සැකයක් නැත. තෙයින් පී මින්ට් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ මේ කාල වකවානුවේදීය. හේ කෙටිකතා සහ ලිපි පුවත්පත් සඟරාවලට සපයමින් මේ සත්කාර්යයට දායක විය.
රැන්ගුන් නගරයේදී තෙයින් පී මින්ට් ‘අපි බුරුම ජාතිකයන් වෙමු’ නමැති සංවිධානයට සම්බන්ධ විය. 1931 දී ආරම්භ වූ මෙම සංවිධානයේ මෙහෙයවීමෙන් සමාජවාදී සාහිත්‍යය පිළිබඳ ව අධ්‍යයනයක් ලබාදීමට කටයුතු කරනු ලැබීය.
අවුන්ග් සාන්, ඌනු සහ ක්යාවේ නීයෝ වැනි සිසු නායකයන් සමඟ එක්වූ තෙයින් පී මින්ට් විශ්වවිද්‍යාලයේ පැවැති සිසු අරගලවලට සහභාගි විය. එහෙත් හෙතෙම අධ්‍යාපන කටයුතු අතපසු නොකළේය. 1935 දී උපාධිය ලබා ගැනීමට හේ සමත් විය. අනතුරුව හෙතෙම නීති උපාධිය හැදෑරීමට සූදානම් විය. මේ නිසා ඔහුට දේශපාලන කටයුතුවල නිරත වීමට වැඩි අවස්ථාවක් ලැබිණ. 1935 දී රැන්ගුන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ විධායක කමිටුවට තේරී පත්වූ හෙතෙම 1936 දී ඇතිවූ ශිෂ්‍ය වර්ජන ව්‍යාපාරයේ නායකයෙක් ලෙස කටයුතු කළේය. මේ වන විට පුවත්පත් කලාවේදියකු ලෙස ද කටයුතු කළ ඔහුට 1936 දී ඉන්දියානු ජාතික සංගමයේ ලක්නව් සැසි වාරය වාර්තා කිරීම සඳහා ඉන්දියාවට යාමට සිදු විය. මේ නිසාම ඔහුට නීති අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි විය.
මේ සැසි වාරයට සහභාගි වීමට පැමිණි හේ ඉන්පසු දෙවසරක් ම ඉන්දියාවේ නතරව සිටියේ ය. කල්කටාවට ගිය මින්ට් ශාස්ත්‍රපති උපාධිය සඳහා එම විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වූ අතර සන්ධ්‍යාකාල නීති පාඨමාලාව සඳහා ද ලියාපදිංචි විය. මේ සියල්ල කරනු ලැබුවේ නිව් ලයිෆ් ඔෆ් බර්මා (New Life of Burma) පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන අතරතුරය. ඔහු කල්කටාවේ සිටින කාලයේදී ඉන්දියාවේ කොමියුනිස්ට් ව්‍යාපාරය සමඟ ද සම්බන්ධ විය. බෙංගාල ශිෂ්‍ය පෙරමුණේ සාමාජිකයකු වූ ඔහු ඒ සංවිධානයේ විදේශ සම්බන්ධතා පිළිබඳ විධායක ලේකම්වරයකු ලෙස ද කටයුතු කළේය. මේ අතර ලිපි සහ නවකතා ලිවීම ඇතුළු සාහිත්‍ය කටයුතු දිගටම කරගෙන ගියේය. ‘නවීන භික්ෂුව’ නමින් ඔහු විසින් ලියන ලද නවකතාව ඔහුට කීර්තිය ගෙන දුන්නේය. එම නවකතාව ලියන ලද්දේ කල්කටාවේ සිටියදීය. මේ නවකතාවෙන් බුරුමයේ ආගමික සංවිධාන දැඩි ලෙස විවේචනයට ලක් කිරීමට මින්ට්ට හැකි විය.
ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ නොකරම හෙතෙම 1938 දී කල්කටාව හැර ගියේය. එහෙත් ඔහු නීති උපාධිය සම්පූර්ණ කිරීමට සමත් විය. බුරුමයට ආපසු පැමිණි ඔහු තම බෙංගාල මිත්‍රයකු වූ නිරාන්ද දත් සමඟ එක්වී රැන්ගුන්හි මාක්ස්වාදී අධ්‍යාපන කවය පිහිටුවූවේය. 1939 දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමඟ තෙයින් පී මින්ට් බුරුම විප්ලවවාදී පක්ෂයට බැඳුණි. ජපනුන්ගේ ආධාරයෙන් බුරුමයට නිදහස ලබා ගැනීම සඳහා වූ රහස් සංවිධානයකි බුරුම විප්ලවවාදී පක්ෂය. එහෙත් ජපානය සමඟ කටයුතු කිරීමට මින්ට්ගේ කැමැත්තක් නොවීය. 1940 දී ඔහු සහ ඔහුගේ මිත්‍රයන් කිහිප දෙනෙක් බ්‍රිතාන්‍ය අත්අඩංගුවට පත් විය. එහෙත් සති තුනකට පසු ඔවුන්ට නිදහස ලැබිණි. 1941 දෙසැම්බරයේදී ජපනුන්, බුරුමයට පහර දීමෙන් පසු ජපානය නියෝජනය කරන්නේ පැසිස්ට් වාදය බවත් ඔවුන් නිදහස් ව්‍යාපාරයේ සතුරන් බවත් ප්‍රකාශ කරමින් මින්ට් තාවකාලික පිළියමක් ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පිහිට පැතුවේය. මේ අවදියේ බුරුම විප්ලවවාදී පක්ෂය ජපනුන්ට උපකාර කරමින් සිටියේය. පක්ෂයේ කටයුතු සංවිධානය කිරීම සඳහා ඔහුව ඉහළ බුරුමයට යවනු ලැබුවේය. එහෙත් ඔහු එහිදී ජපානයට එරෙහිව පත්‍රිකා බෙදුවේය. මේ නිසා ජපනුන්ගේ අත්අඩංගුවට පත්වේයැයි බියෙන් ඔහුට සැඟව සිටීමට සිදු විය. අන්තිමේ මාක්ස්වාදී නායකයෝ තෙයින් පී මින්ට්ව ඉන්දියාවට එවීමට කටයුතු යෙදූහ. එහිදී හේ මිත්‍ර පාක්ෂිකයන්ට එක්ව කටයුතු කිරිමට පටන් ගත්තේය. එහෙත් බ්‍රිතාන්‍යයෝ ඔහුව මිත්‍රයකු ලෙස නොසැලකූහ. එබැවින් ඔහුව කල්කටාවේත් 1943 දිල්ලියෙත් රඳවා තබා ගනු ලැබීය.
සිරභාරයේ සිටියදී ඔහුට චීන කොමසාරිස් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට හැකි විය. චීන කොමසාරිස්වරයාගේ මැදිහත් වීම නිසා 1943 දී ඔහුට චීනයට යෑමට සිදු විය. බුරුමයේ පැසිස්ට් විරෝධි ව්‍යාපාරය සඳහා චීන කොමියුනිස්ට් නායකයන්ගේ සහාය ලබා ගැනීම ඔහුගේ අපේක්ෂාව වූවත් එය ඉටු නොවීය.
චීනයේ සත් මසක් ගත කළ හෙතෙම යළි ඉන්දියාවට පැමිණියේය. ඉන්දීය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට බැඳුණු හේ සමස්ත ඉන්දීය ගුවන් විදුලි සේවයේ සේවය කළේය. ඒ කාලය තුළ නවකතා දෙකක් පළ කිරීමට ඔහු සමත් විය.
1945 දී යළිත් බුරුමයට පැමිණි තෙයින් පී මින්ට් දැඩි වාමාංශික නායකයකු ලෙස කටයුතු කරමින් දේශපාලනයට පිවිසියේය. අවුන්ග් සාන් සංවිධානය කළ පැසිස්ට් විරෝධි නිදහස් පෙරමුණේ සම ලේකම්වරයකු ලෙස හේ කටයුතු කළේය. අනතුරුව රජයට සම්බන්ධ වූ හෙතෙම සති තුනක පමණ කාලයක් රජයේ සේවයේ නිරත විය.
1948 අගෝස්තුවේ සිරභාරයට පත් හෙතෙම 1949 වන තුරුම සිරභාරයේ පසු විය. හිරෙන් නිදහස් වීමෙන් පසු වාමාංශික කොටස් සමඟි කිරීමට හේ උත්සාහ කළේය. 1951 දී ඔහු ජනතා සාම පෙරමුණේ මහලේකම් ධුරයට පත් විය. අනතුරුව එක්සත් ජනතා පක්ෂය නමින් දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කළේය. 1956 දී අනෙක් පක්ෂ සමඟ එක්ව ජාතික එක්සත් පෙරමුණ පිහිටුවනු ලැබීය. පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ හෙතෙම 1956 බදලින් කොට්ඨාසයේ නියෝජිතයා ලෙස තේරී පත් විය. 1961 පරාජය වන තුරුම හේ පාර්ලිමේන්තුව නියෝජනය කළේය. 1958 දී එක්සත් ජනතා පක්ෂය විසිරුවා හළ හෙතෙම ජනතා සහෝදර පක්ෂය පිහිටුවූවේය. ඔහුගේ දේශපාලන ජීවිතය කැප වූයේ වාමාංශික බලවේග එක්සත් කිරීමටයි.
තෙයින් පී මින්ට් ආසියාවේ සහ යුරෝපයේ බොහෝ රටවල සංචාරය කර ඇත. චීනය, ඊජිප්තුව, ජපානය, වියට්නාමය, බ්‍රිතාන්‍යය, සෝවියට් දේශය පමණක් නොව ඇමෙරිකා එක්සත් ජනපදයේ පවා සංචාරය කළේය. එම සංචාරවලදී ලැබූ අත්දැකීම් ඔහුගේ කෘති කිහිපයකම සඳහන් වේ. 1959 දී ආරම්භ කළ බොතානාවන්ග් පුවත්පතේ ආරම්භකයා මෙන්ම කතුවරයා වූයේ ද ඔහුය. 1969 දී එම පුවත්පත රජයට පවරා ගනු ලැබූ අතර ඔහුට ප්‍රධාන කර්තෘ ධුරය පිරිනැමිණ. එහෙත් හේ එය ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් හේ නේවින්ගේ රජය සමඟ සහයෝගයෙන් කටයුතු කළේය.
පූර්ණ කාලීනව දේශපාලන කටයුතුවල නිරත වූ අතරම නවකතා, කෙටිකතා, සංචාරක සටහන්, තිර රචනා, දිනපොත් සහ ජිවිත කතාව ලිවීමටත් අමතක නොකළේය.
තෙයින් පී මින්ට්ගේ කෙටිකතා ඔහුගේ දේශපාලන සහ සමාජ දර්ශනය ගෙන යන වාහනයක් බඳු ය. බුරුම සමාජ ජීවිතයේ යථාර්ථය පිළිබිඹු කිරීමට හේ සමත් විය. ඒවා හුදු දේශපාලන පුවත් නොවේ. සමාජයේ සාමාන්‍ය මිනිසුන්ගේ දුක් වේදනා, හැඟීම් උද්වේගයන් ඒවායින් පිළිබිඹු වෙයි. එබැවින් ඒවා ජනතා හදවත් බැඳගෙන ඇත.
ඔහුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය 1937 දී ඔහු රැන්ගුන් විශ්විද්‍යාලයේ ඉගෙනුම ලබන අවදියේ ප්‍රකාශයට පත් විය. එහි ඌ නු ගේ හැඳින්වීමක් විය. මේ හැඳින්වීමේදී ඌ නු සඳහන් කළේ එම කෙටිකතාවල 1934 සහ 1935 කාලයේ රැන්ගුන් විශ්වවිද්‍යාලයේ ජීවිතය පිළිබිඹු වන බවයි. ඒ කාලයේ එක් අවස්ථාවක ඔහු සඟරාවකට කෙටිකතාවක් යැවීය. එම කෙටිකතාව පළවූවේ නම් ඊට ලැබෙන මුදලින් තමාට උපැස් යුවළක් මිලට ගත හැකි බව ඔහු ඌ නු සමඟ පැවසුවේය. ඌ නු එම සඟරාවේ කර්තෘවරයා ලවා එම කෙටිකතාව පළ කරවීමට කටයුතු කළේය. තෙයින් පී මින්ට් තමාගේ ප්‍රථම උපැස් යුවළ ලබාගත්තේ ඉන් ලැබුණු මුදලිනි.
1952 දී තෙයින් පී මින්ට් ඔහුගේ දෙවන කෙටිකතා සංග්‍රහය පළ කළේය. එහි කෙටිකතා නවයක් අඩංගු විය. මෙහි හැඳින්වීම ලියනු ලැබුවේ ද ඌ නු යි. ඒ වන විට ඔහු බුරුමයේ අගමැතිවරයායි. දේශපාලනය අතහැර දමා සාහිත්‍ය කටයුතුවල පමණක් නිරත වූයේ නම් තෙයින් පී මින්ට්ට බුරුම සාහිත්‍යය ලෝකය වෙත ගෙන යා හැකියැයි ඌ නු මෙහිදී සඳහන් කළේය.
1966 දී තෙයින් පී මින්ට් තවත් කෙටිකතා සංග්‍රහයක් පළ කළේය. එහි කෙටිකතා විසිතුනක් අඩංගු විය. ඌ නුගේ අදහසට ගරු කරමින් දේශපාලනය පසුපස නොගොස් මුළු හදවතින්ම සාහිත්‍ය කටයුතුවල නිරත වන බව මින්ට් මේ පොතේ ප්‍රකාශ කර ඇත. බුරුමයේ පැරැණි සිරිත් වෙනස් වී නව සමාජයක් ගොඩනැඟිය යුතු බව හෙතෙම තරයේ විශ්වාස කළේය.
නව සමාජයක් ගොඩනැඟීම පිළිබඳ වූ ඔහුගේ සිහිනය අනෙක් සිහින මෙන්ම සැබෑ නොවීය. වයස හැටහතරේදී එනම් 1978 ජනවාරි මස 6 වන දින හේ අභාවප්‍රාප්ත විය.