
ඉන්දියානු සාහිත්‍ය සහ කලාවේදී නෙළුම් මලට හිමි වන්නේ වෙනත් කිසිදු පුෂ්පයකට හිමි නොවන අද්වීතිය ස්ථානයකි. පද්ම හෙවත් කමල යන ජනප්‍රිය නම්වලින් හැඳින්වෙන මේ පුෂ්පයට තවත් නම් සිය ගණනක් ඇත. නලිනි, අරවින්දම්, නීලොත්පලම්, සහස්‍ර පත්‍රජම්, කුමුදු, කුවල්‍යා, පුණ්ඩරීක, පන්කරුහම් සහ පන්කජම් ඒ අතරින් කීපයකි. නෙළුම් මල් වර්ග අතරින් කිහිපයක් සඳ පෑයීමත් සමඟ පිපෙන අතර වැඩි හරියක් පිපෙනුයේ හිරු උදාවත් සමඟ ය. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට සහ වේද යුගයට පෙර නෙළුම් මලට සමාජයේ හිමිව තිබූ ස්ථානය පිළිබඳව ඇත්තේ අනුමානයක් පමණි. සූර්යයා සමඟ ඇති සම්බන්ධතාව නිසා මේ මල මිනිසුනගේ හදවත් තුළ කුතූහලයක් ඇති කරන්නට ඇත. දීර්ඝ කාලයක් තිස්සේ ඇගැයීමට ලක්වූ නෙළුම් මල මිනිස් ජීවිත සතුටින් තැබීමට අවශ්‍ය ස්වාභාවික බලවේගයක් ලෙස ඍග් වේද ආර්යයන් විසින් සලකනු ලබන්නට ඇත. නෙළුම් මල ගැන ඇති පරණම සඳහන ඇත්තේ ඍග්වේදයේ පස්වන ස්තෝත්‍රවලයි. දස මසක් සපිරුණු දරු ගැබක් නෙළුම් මලකින් මෘදු ලෙස පිරිමැද්ද විට නෙළුම් කොළයකට වැටුණ දිය බිඳක් මෙන් දරුවා බිහිවෙන බව එම ස්තෝත්‍රවලින් කියැවේ. ජීවිතය සුව පහසු කරවන අග්නි (ගින්දර) වල කාර්යභාරය ද වැදගත් කොට සලකනු ලැබේ. එය ආරක්ෂකයකු ලෙස සලකා වැඳුම් පිදුම් කරනු ලැබේ. නැගෙන හිරුගේ රැස් ධාරා සහ නෙළුම් මලේ පෙති විහිදීම දැකීමෙන් ප්‍රබෝධවත් වූ ප්‍රාඥයෝ අග්නි උපත නෙළුම් මලෙන් සිදු වූ බව කියැවෙන ස්තෝත්‍ර ප්‍රබන්ධ කළහ.
නෙළුම් මලේ පාරිශුධත්වය කෙසේ ද යත් එය මඩ සහිත ජලයේ උපත ලැබුවත් එහි යාන්තමින්වත් නොගැටී පවිත්‍රව පවතී. නෙළුම් මල මිනිස් හදවත සමඟ සන්සන්දනය කර ඇත. හෘදය වස්තුව නොකඩවා ස්පන්දනය වෙමින් රුධිරය පවිත්‍ර කරමින් ශරීරයට අලුත් රුධිරය සපයන්නේ පුද්ගලයා යහපත් කෙනකු ද අයහපත් කෙනකු ද යන්න නොසලකමිනි. ඉන්දියාවේ පැරැණිම සාහිත්‍ය කෘතියක් වන අථර්වවේදයේ හෘදය වස්තුව සහ නෙළුම් මල සන්සන්දනය කර තිබේ. ඒ අනුව නෙළුම් පැළෑටියේ ආහාරයට ගත හැකි විවිධ කොටස් පිළිබඳව ද සඳහන් කර ඇත. ආයුර්වේදයේ විවිධ රෝගාබාධවලට නෙළුම් මලේ කොටස් යොදා ගනී. මනස සුවපත් කිරීම, ශරීර අලංකාරය වර්ධනය කිරීම සහ රුධිරය පිරිසුදු කිරීම සඳහා නෙළුම් මල ආශ්‍රයෙන් නිපදවූ ඖෂධ යොදා ගැනේ. විල් ජලයෙහි පිපෙන නෙළුම් මල් නිවෙස් ගින්නෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මන්ත්‍රවලට ද යොදා ගැනේ.
යජුර්වේදය අවධාරණය කරන්නේ නෙළුම් කොළයට ජලය, අග්නි සහ අහස සමඟ ඇති සම්බන්ධතාවයි. නෙළුම් කොළය ආකාශය සමඟ සන්සන්දනය කරන්නේ, මහ පොළවට වැසි ගෙන දෙන වැහි වලාකුළු නෙළුම් කොළයේ නිල් පැහැය ගන්නා බැවිනි.
බ්‍රාහ්මණා සහ උපනිෂ්ද්වල ද මේ මල ගැන සඳහන් කර තිබේ. සතපත බ්‍රාහ්මණ, නෙළුම් මල ගර්භාෂය සමඟ සන්සන්දනය කරයි. එහිම තවදුරටත් සඳහන් වන්නේ වැහි දෙවියන්ට කරන යාතිකාවක් ලෙසයි. පංච විමංසා බ්‍රාහ්මණවලට අනුව තරු සහ ආලෝකය ලබන්නේ නෙළුම් මලේ පිහිටෙනි. තෛයිත්ත්‍රිය බ්‍රාහ්මණවලින් කියැවෙන්නේ ප්‍රජාපති ජලයේ කිමිදෙන්නේ නෙළුම් දණ්ඩේ ආධාරයෙන් බවයි.
නෙළුම් මල පිළිබඳව වේදයෙහි තවත් අවස්ථා ගණනාවකම සඳහන්ව ඇත. රාමායණයේ බොහෝ ස්ථානවල නෙළුම් මල පිළිබඳව සඳහන් ය. එහි වීරවරයා සහ වීරවරියගේ ඇස් නෙළුම් මලට සමාන කර ඇත. ඇස් පමණක් නොව වීරයාගේ පාද පවා නෙළුම් සමඟ සන්සන්දනය කර ඇත. මහා භාරතයට අනුව ශ්‍රී ලක්ෂ්මී උපත ලබන්නේ විෂ්ණුගේ නළලේ පිපෙන නෙළුම් මලකයි. එබැවින් පද්මා (නෙළුම් මලෙන් උපත ලැබු තැනැත්තිය යන අර්ථයෙන්) යනුවෙන් ද ඇයව හැඳින්වේ. වීර කාව්‍යවල මිනිස් ශරීරයේ කොටස් පිපිනු නෙළුම් මල් සමඟ සන්සන්දනය කර ඇත. පුරාණවලදී ද මෙම අලංකාර පුෂ්පය පිළිබඳව සඳහන් කර තිබේ.
විෂ්ණු සහශ්‍රනාමවල නෙළුම් මලින් උත්පත්තිය ලබා නාම පහකින් හැඳින්වෙන හින්දු ත්‍රිමූර්තිය පිළිබඳව සඳහන් වේ. අතේ නෙළුම් මලක් තබාගෙන සිටින බැවින් පද්ම නමින් ද නෙළුම් මල් වැනි ඇස් ඇති බැවින් පද්මනිබහෙක් ෂානා සහ අරවින්ද ෂා නමින් ද නාභියේ සිට පැන නඟින් බැවින් පද්මනාභ නමින් ද නෙළුම් මලක් වැනි හදවතක් ඇති බැවින් පද්මගර්භ නමින් ද හැඳින්වේ. භගවත් ගීතයට අනුව ක්‍රියාවෙන් සහ සිතිවිලිවලින් දෙවියන්ට සම්පූර්ණයෙන්ම කැපවූ මිනිසකු අතින් වරදක් සිදු වූවත් එය නෙළුම් කොළයට වැටුණු දිය බිඳුවක් මෙන් ඉවත යයි.
හින්දු ත්‍රිමූර්තියේ එන බ්‍රහ්ම උපත ලැබුවේ විෂ්ණුගේ නාභියෙන් පැන නැඟුණ නෙළුම් අංකුරයකිනි. මෙහිදී නැවතත් කියැවෙන්නේ ආරම්භයේදී නෙළුම් ජලයේ උපත ලැබුවත් ජලයට ඉහළින් සිටින බවයි. එබැවින් බ්‍රහ්ම, පද්මජ (නෙළුමින් උපන්) යන නමින් ද හැඳින්විණ. අත් හතරක් ඇති විෂ්ණු එක් අතකින් නෙළුම් මලක් රැගෙන සිටීමෙන් සංකේතත් කරන්නේ ජීවිතය පිළිබඳ ව ලබා ඇති දැනුමයි. අතකින් නෙළුම් මලක් අල්ලාගෙන සිටින බැවින් පද්මපානි (නෙළුම් මලක් අතකින් ගත්) යන නමින් ද හැඳින්වේ. නෙළුම් මල ලෝකයට සශ්‍රීකත්වය සහ සෞභාග්‍යය ලබා දීමේ සංකේතයක් ලෙස ද සැලැකේ. හිරු බැස යෑමේදී නෙළුම් මලේ පෙති හැකිළීම මඟින් ඒ තුළට අන්ධකාරය ඇතුළුවීම වැළකී යයි.
ඉන්දීය සාහිත්‍යයේ මිනිස් සිරුර සහ මනස සමඟ නෙළුම් මල සන්සන්දනය කෙරේ. නෙළුම් මලේ පෙති ජීවිතයේ විවිධ ආකාරයේ ක්‍රියාකාරකම් සංකේතවත් කරයි. පූර්ව ආර්ය යුගයේදී විෂ්ණු සහ ශිව දෙවියන් තුල්සි හෝ අමල්කා ගස සහ බිල්වා ගස සමඟ සම්බන්ධ කර දැක්වූවාක් මෙන් ශ්‍රී ලක්ෂ්මී දේවිය නෙළුම් මලට සම්බන්ධ කර දක්වා ඇත.
මහා කවි කාලිදාස තමන්ගේ සාහිත්‍ය නිර්මානළුල නෙළුම් මල ගැන සඳහන් කර ඇත. කුමාරසම්භවයේදී ඔහු පාර්වතීගේ මුහුණ නෙළුම් මලකට සමාන කර ඇත. පාර්වතීගේ ගෙල දක්වා හිමවල ගිලී ඇත. ඇගේ මුහුණ පමණක් හිම තුළින් මතුව ඇත්තේ නෙළුම් මලක් මෙනි. රඝු වංශය සහ මේඝ ධූතයේ ද නෙළුම් මල ගැන නොයෙක් ස්ථානවල සඳහන් කර ඇත.
රන්වන් නෙළුම් මල් පිපුණු පොකුණ අමරණීයත්වයේ සංකේතයක් විය. අතීතයේදී විනාශකාරී බලවේග සෑම තැනකම පැතිර යද්දී ශිව දෙවියන්ට ඊට පිළියම් යෙදීමට පුරුෂ බීජ තැන්පත් කරන ලෙස නියම වූ බව විශ්වාස කෙරේ. බීජයේ සාරය තබා ගැනීමට අග්නි එකඟ වුවද එය තම මුඛයේ තබා ගෙන සිටීමට අසමත් වූ අතර එය බිම වැටී රන්වන් නෙළුම් පිපුණ විලක් බවට පත් විය. එම විලේ ජලය පානය කළ පාර්වතී ගැබ් ගත් අතර යුද්ධයේ දෙවියන් වූ ස්කන්ධ බිහි කළා ය.
පොකුණ පත්ලේ උපද්‍රව නිසා ජලය මතුපිටට පැමිණි නෙළුම් මල එහි පෙති විහිදුවා ඇසට ප්‍රියජනක දර්ශනයක් ඇති කරයි. එම දර්ශනය සංකේතවත් කරන්නේ ජීවිතයේ ජගත් විෂයාත්මක ගැඹුරයි. විෂ්ණු, නිල් පැහැයෙන් ජගත් විෂයාත්මක ජලය ද කමල සහ පද්ම නමින් ද හැඳින්වෙන නෙළුම් වල්ලභයා හෝ ශක්තිය සංකේතවත් කරයි. ලක්ෂ්මී දේවියගේ මූර්ති නිර්මාණය කිරීමේදී ඇය නෙළුම් මල් රාශියක්ට මැදිව අතේ නෙළුම් මලක් තබාගෙන සිටීමේ අදහස ඇතිවන්නට ඇත.
බුදුන් වහන්සේ බද්ධ පර්යංකයෙන් නෙළුම් මලක් මත (පද්මාසන) අසුන් ගන්නේ මනස සහ ශරීරය ශාන්ත ලෙස තබා ගනිමිනි. නෙළුම් මලේ ඇති චාම් බව මෙන්ම ශ්‍රේෂ්ඨ බව මෙමඟින් ද සංකේතවත් කෙරේ.
ක්‍රිස්තු පූර්ව 3000කට පෙර පැවැති හරප්පා යුගයේදී නෙළුම් මල ගැන දැන සිට ඇති බව පෙනී යයි. මැටි බඳුන්, ගල්, සිප්පි කටු සහ ඇටවල නෙළුම් මලේ පෙති සලකුණු කර ඇත. මවු දෙවඟනගේ සහ පශුපතිනාත් (සතුන්ගේ ආරක්ෂකයා වූ ශිව) රූප වලින් අපට පැහැදිලි අදහසක් ලබා ගත හැකිය. එනම් එකල කිසියම් වන්දනා ක්‍රමයක් පැවැති බවත් ඒ සඳහා නෙළුම් මල් භාවිත කර ඇති බවත් ය. කාලයාගේ ඇවෑමෙන් නෙළුම් මල අනෙක් මල් අබිබවා උසස් තත්ත්වයකට පත්ව ඇත.
පද්ම යන්න තවත් විවිධ අර්ථ දැක්වීම සඳහා ද භාවිත කර ඇත. විශේෂයෙන් රූමත් කාන්තාවන් නෙළුම් මල සමඟ සසඳා ඇත. පද්ම වර්ණ (නෙළුම් මලක වර්ණය ඇති), පද්මාක්ෂි (නෙළුම් මලක් වැනි ඇස් ඇති), පද්මානන (නෙළුම් මලක් වැනි මුහුණ), පද්ම උරු (නෙළුම් වැනි කලවා) ආදි වශයෙනි.
පද්ම යන වචනයේ අවසන ම යන්න පද්මාම් යනුවෙන් යෙදු විට තවත් අර්ථ රාශියක් ලැබේ. ඒ අර්ථ නම් 1 නෙළුම් මල 2 නෙළුම් මල් වැනි ආභරණ 3 නෙළුම් මලේ හැඩය 4 නෙළුම් දණ්ඩ 5 ඇතකුගේ මුහණේ සහ හොඬවැලේ ඇති වර්ණ ලකුණු 6 නෙළුම් මලක් ආකාරයට සංවිධානය කර ඇති හමුදාව 7 බිලියන එක් දහස මේ අර්ථ වේ.
පද්මා යනුවෙන් දීර්ඝ ස්වරයක යෙදු විට ලක්ෂ්මී, වාසනාවේ දෙවඟන සහ විෂ්ණුගේ භාර්යාව යනුවෙන් අර්ථ ගැන්වේ.
පද්මා යන්නට අකාරා යන්න එක් කළ විට පද්මඅකාරා යනුවෙන් කියැවේ. එහි තේරුම 1 විශාල පොකුණ හෝ නෙළුම් මල් පිරුණු පොකුණ 2 ජලය පිරුණු පොකුණ 3 නෙළුම් එක් රැස්වූ ස්ථානය ආදියයි.
පද්ම යන්න තවත් අක්ෂර එක්වී වෙනත් අර්ථ ඇති වදන සෑදී ඇත. පද්මකෝෂ (නෙළුම් මලේ ග්රභය) පද්මකහඳ (නෙළුම් මල් රාශිය) පද්මගන්ධ (නෙළුම් මලේ සුවඳ පද්මබන්දු) සූර්යයා) පද්මපානි (බ්‍රහ්ම, නෙළුම් මලින් උපන්) පද්මපානි යන්න හිරුට, බෝධි සත්ත්වයන්ට, විෂ්ණු හැඳින්වීමට ද යොදා ගැනේ.
සෞභාග්‍යය, සශ්‍රීකත්වය, කීර්තිය, දැනුම, පවිත්‍රත්වය, අහිංසක බව, රූමත්කම, සරල බව ආදිය සංකේතවත් කිරීමට නෙළුම් මල, ඉන්දියානු සාහිත්‍ය සහ කලා කෘතිවල අනාදිමත් කාලයක සිට යොදාගෙන ඇති බව මේ කරුණුවලින් හෙළිදරව් වේ.