නව ලිබරල් ත්‍රස්තවාදියෙක්! | සිළුමිණ

නව ලිබරල් ත්‍රස්තවාදියෙක්!

ත්‍රස්තවාදියා යන ලේබලය වැදී තිබුණ ද ඒ යටින් ඇත්තේ සංවේදී මිනිසෙකි. ත්‍රස්තවාදියා, බෙදුම්වාදියා, අන්තවාදියා, විප්ලවවාදියා ලෙසින් ලේබල්ගත කොට වැරදිකාරයන් බවට පත් කොට ඇති මිනිසුන්ගේ අතීතය කිසිවකුගේ විමසුමට ලක්වන්නේ නැත. ඔවුන්ගේ පරිවර්තනය ගැන කිසිවකු සොයා බලන්නේ නැත. පරිවර්තනයට බලප‍ෑ හේතු - සාධක කිසිවකුගේ සැලැකිල්ලට ලක්වන්නේ ද නැත.

සදාචාරයට හා සංස්ක‍‍ෘතියට එරෙහි වන තැනැත්තා අපරාධකාරයෙක් ද? සම්ප්‍රදාය බිඳ දමන පුද්ගලයාට දඬුවම් දිය යුතු ද? කොටින් ම මිනිස් සමාජයේ සැබෑ වුවමනා වෙනුවෙන් සටන් වදින තැනැත්තා පුනරුත්ථාපනය කළ යුතු ද? හැබෑවට ම මිනිසා පුනරුත්ථාපනය කළ හැකි ද?

පුනරුත්ථාපනය යැයි ක්‍රියාවලියක් ලෝකය තුළ පවතී. විවිධ ආයතන ඒ සඳහා විශාල වියදමක් දරන බව ද පෙනෙන්නට තිබේ. එහෙත් මිනිසා පුනරුත්ථාපනය කළ හැකි ද? මිනිසාගේ හැසිරීම, ගතිගුණ, ස්වභාවය හා සිතුම් - පැතුම් මුළුමනින් ම වෙනස් කළ හැකි ද? එසේ නැතහොත් ඒවා සාකල්‍යයෙන් ම පාලනය කළ හැකි ද? ඊට නිශ්චිත පිළිතුරක් නැත. එසේ නම්, පුනරුත්ථාපනය නමින් සිදුවන්නේ කුමක්ද?

මොල සෙනෙවිරත්නගේ ‘හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න!’ නම් කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගත් ඉහත ප්‍රබන්ධය අප ඉදිරියෙහි ප්‍රශ්නාවලියක් ඉතිරිකර තිබේ. එහි සිරස ලෙස යොදා තිබුණේ ‘පුනරුත්ථාපනය වීම’ යන්න ය. කවියට පාදක වන ප්‍රධාන භූමිකාවේ හැසිරීම හා චින්තනය සැලැකිල්ලට ගෙන අලුත් සිරසක් යෙදුවෙමි‍. ඒ ‘ලිබරල් ත්‍රස්තවාදියා!’ යන්න ය.

මිනිසාගේ හැසිරීම හා චින්තනය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක ගණනාවක් ඇතැ’ යි කියති. ඉන් කිහිපයක් මෙසේ ය.

i. ජාන පිළිබඳ සාධකය

ii. පරිසරය පිළිබඳ සාධකය

iii. සංස්කෘතික සාධකය

iv. අධ්‍යාපනික සාධකය

මිනිසා සතු ප්‍රතිශක්තිය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් ලෙස ජාන සම්බන්ධය හඳුන්වනු ලැබේ. පුද්ගල සහජා’ශාවන් කෙරෙහි ද එය බලපායි. පරිසරය පිළිබඳ සාධකය කෙළින් ම හැසිරීමට සම්බන්ධ ය. මහාරාෂ්ටයේ මිනිසුන් ද, දිල්ලියේ මිනිසුන් ද එක ලෙස හැසිරෙන්නේ නැත. සංස්කෘතිය මිනිසා ගේ චින්තනය මෙහෙයවනු ලබන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය ද ඊට අදාළ ය. හික්මවීම හා බුද්ධිය යන දෙක ම ඉන් අපේක්ෂා කෙරේ.

ගැටලුව වන්නේ පුනරුත්ථාපනය නම් ක්‍රියාවලියට මේ සියලු සාධක පරයා ගොස් අලුත් මිනිසකු තැනිය හැකි ද යන්න ය. මොල සෙනෙවිරත්නට අනුව පුනරුත්ථාපනය යනු ව්‍යාජයෙකි. වෙනසක් අපේක්ෂා කරන පාලකයා ද, වෙනසට ගොදුරු වන පාලිතයා ද යන දෙදෙනා ම මෙහිදී මුළා වෙති.

මෙහි එන ත්‍රස්තවාදියා මුළුමනින් ම මහරජුට යටත් වෙයි. රජු එකක් කියන විට ත්‍රස්තවාදියා දෙකක් කිරීමට සූදානම් ය. මෙහි එන මහරජු ප්‍රධාන පාලකයා විය හැකිය. ආණ්ඩුව විය හැකි ය. නැතහොත් ඒකාධිපතියා විය හැකි ය. ත්‍රස්තවාදියාට වෙනත් මාර්ගයක් නැත. එබැවින් ඔහු මෙසේ කියයි.

‘මහරජ‍

මම

ඔබ පැතූ

මිනිසා වෙමි’

මිනිසුන් අත්අඩංගුවට ගැනීමෙන්, ගාල් කිරීමෙන්, ඔවුන් සඳහා දේශන පැවැත්වීමෙන්, බණ කීමෙන් හා වෘත්තීය පුහුණුව ලබාදීමෙන් සමාජය වෙනස් කළ හැකි යැයි පාලකයෝ සිතති. ඒ අනුව විශාල වියදමක් දරමින් පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කරති. මෙහි ඇති එකම සාධනීය තත්ත්වය වන්නේ ජීවිත විනාශ කිරීම වෙනුවට ජීවිත ලබාදීම පමණි. නැතහොත් මරා දමනු වෙනුවට ජීවත්වීමට ඉඩදීම පමණි.

කවියාගේ ඉහත පද පේළිවල ඇත්තේ උත්ප්‍රාසයකි. ත්‍රස්තවාදියා කිසි කලෙක මහරජුගේ මිනිසකු බවට පත්වන්නේ නැත. එය ඔහුගේ ‍උපාය මාර්ගයකි. අවසන ඔහු මහරජුට ද සිනාසෙයි.

ත්‍රස්තවාදියා යනු කවරෙක් ද? යන්නට හොඳ පිළිතුරක් කවියා විසින් දෙනු ලැබේ. ඔහුට අනුව ත්‍රස්තවාදියා යනු පහත සඳහන් ලක්ෂණවලින් හෙබි පුද්ගලයා ය.

I. සමාජ සත්‍යයට හොඳින් සවන්

දෙයි.

II. යුක්තිය වෙනුවෙන් පෙනී සිටී.

III. හෘදය සාක්ෂියට එකඟව කට

යුතු කරයි.

IV. සමාජ සිද්ධිවලට ප්‍රතිචාර

දක්වයි.

පුනරුත්ථාපනය වී එළියට එන්නේ ඉහත ලක්ෂණ කපා හරින ලද පුද්ගලයෙකි. ඒ අනුව ඔහු තවදුරටත් ත්‍රස්තවාදි­ෙයක් වන්නේ නැත. සංවේදී පුද්ගලයෙක් වන්නේ ද නැත.

“මතුව එන විට

සිතිවිලි

බැඳ තබමි

කැටි කොට

කිටිකිටියේ ම

සිත”

ත්‍රස්තවාදියා මේ වන විට පාලකයාට අවශ්‍ය යාන්ත්‍රික මිනිසෙකි. ඔහු තබන්නේ ම හෘදය සාක්ෂියට එරෙහිව ක්‍රියා කරන නරුමයෙකි.

“නොදොඩාම

මා සමඟවත්

කිසිම වදනක්

ගොළුව හිඳිමි.”

තරුණ අරගල තුනක් පිළිබඳ සජීවී අත්දැකීම් ඇති අපට ත්‍රස්තවාදය ගැනත්; පුනරුත්ථාපනය ගැනත් අලුත් පාඩම් අවශ්‍ය නැත. 1971 අරගලය 1988 අරගලය හා ‍උතුරේ තිස් වසරක් පුරාවට පැවැති අරගලයෙන් ද අපට අහිමි වූයේ තරුණ පරම්පරාවේ සාරයයි. දැන් තවත් තරුණ කැරැල්ලකට ඉඩක් ඇතැ’යි සිතිය නොහැකි ය. ඊට නිශ්චිත හේතු දැක්වීමක් ද කළ නො හැකි ය. එහෙත් මිනිසා පුනරුත්ථාපනය කළ හැකි ද යන ගැටලුව තව ම ඉතිරි ව පවතී.

මොල සෙනෙවිරත්න උපමා රූපක නැතිව භාවිත වචනවලින් පමණක් කවි ගොතයි. ඒවා හෘදයංගම ය. ව්‍යාජයෙන් තොර ය.

Comments