නව දැනුමක් ලබා දෙන කෘතියක් | සිළුමිණ

නව දැනුමක් ලබා දෙන කෘතියක්

මෙරට සෑම කලා ක්ෂේත්‍රයකම ශාස්ත්‍රිය විචාර හා විචාර මතවාද, සම්ප්‍රදායන් ද, ශාස්ත්‍රීය පදනමකින් යුතු පතනෙත නිර්මාණය ද බෙහෙවින් දුර්ලභ වී ඇති මෙකල, තරමක් දුරට හෝ එහි ලා අනාගත බලාපොරොත්තු තැබිය හැකි සාර්ථකත්වයක මං සලකුණු කරන විචාර හා විචාර මතවාද පළ කළ හැකි උසස් විඥාන ශක්තියකින් හෙබි තරුණ සාහිත්‍යධරයෙක්, අපේ අද්‍යතන සාහිත්‍ය සමාජයට පිවිසෙමින් සිටී. මෑත යුගයේ මෙරට නිර්මාණ සාහිත්‍ය කලාවේ ශාස්ත්‍රිය පදනම වල් වැදී තිබියදී ශාස්ත්‍රීය බුද්ධියත්, කල්පනාවත්, විචක්ෂණ ඥානයත් මඩ ගොහොරුවක ගල්, බොරලු බවට පත් ව ඇති බව පෙනේ. එහෙත් එහි ලා තිරුවාණ නොව මැණික් කැටයක් එම ගල් බොරලු අතර තිබෙනු දක්නට ලැබීම, මා විසින් යට සඳහන් කරනු ලැබූ අනාගත ශාස්ත්‍රිය ලෝකය නැවතත් ආලෝකවත් වනු ඇති බවට සංඥාවක් වී ඇතැයි හැ‍ඟේ.

‘ඔතපුවන් නුවණ’ යනු කලාවේ සංසිද්ධින් හා සිනමාවට සම්බන්ධ පුළුල් විචාර හා විචාර මතවාද ග්‍රන්ථයකි. මෙම කෘතියේ කර්තෘ සහජයෙන්ම එම විෂය උරුම කරගත් අයෙක් වෙයි. ‘සරසවිය’ පුවත්පතේ හිටපු කතුවරයකු වූ ඒ. ඩී. රංජිත් කුමාර මහතාගේ පුත්‍රයා වන නුවන් නයනජිත් කුමාර තරුණ වයසේ දී ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දර්ශන සූරි (Ph.D) උපාධිය ද ලබා ගත් කෘතහස්ත තරුණ ගත් කරුවෙකි. හෙතෙම මේ වන විට නිර්මාණ කෘති දොළසක් එළිදක්වා ඇත. ඔහුගේ ‘ඔතපුවත් නුවණ’ ග්‍රන්ථය එම කෘති අතර සිනමාව හා ඇතැම් කලා කරුවන්ගේ වගතුග ඇතුළත් සුවිශේෂ නිර්මාණයක් ලෙස හඳුන්වාදිය හැකි ය.

හෙතෙම සිය ඔතපුවත් නුවණෙහි ‘අධ්‍යාශය හා අනුමෝදනාව’ නමැති පෙරවදනෙහි මෙසේ සඳහන් කර ඇත:

“ගඩ්ඩරිකා ප්‍රවාහය හෙවත් සූකිරි බටිල්ලන් ගේ ලෝකය (2010) නමැති ග්‍රන්ථය මවිසින් රචනා කරන ලද්දේ ඊප්සිතාර්ථ කිහිපයක් මුල්කොට ගෙන බව සැබවි. එහෙත්, එහි මුඛ්‍ය අභිලාෂය වූයේ බෞද්ධ දර්ශනය ඔස්සේ කලා විචාර ක්‍රමවේදයක් (Critical Method) බිහි කළ හැකි බව මුල් වරට පෙන්වා දීමය. මේ ක්‍රමවේදය ලාංකික අපට අනන්‍ය වූවක් වන අතර එය මුළුමහත් ලෝකයෙහිම කලා නිර්මාණ, ජීවන යථාර්ථය හා සමාජ ගැටලු විමසුමට භාවිත කළ හැක්කකි. මේ වූ කලි ශ්‍රී ලාංකික අපෙන් මුළු මහත් ලෝකයට දායාද කළ හැකි ක්‍රමවේදයකි. ඉන් දෙවසරකට පසු ව මවිසින් ලියා පළ කරන ලද ‘පාඨන විචාර හා ආලෝචනා’ (2010) නමැති ග්‍රන්ථය මේ විචාර ක්‍රමවේදය අරභයා මා සිදු කළ පර්යේෂණවල තවත් දිගුවක් විය.

එයිනුදු සය වසරකට පසු ව පළවන මා ලියූ ‘ඔතපුවන් නුවණ’ නමැති මේ ග්‍රන්ථය එහි විචාර ක්‍රමවේදය සෛද්ධාන්තික පක්ෂයෙන් හා ව්‍යවහාරික පක්ෂයෙන් තව තවත් පෘථුල කිරීමට සුපෝෂණය කිරීමට, සුපුෂ්පිත කිරීමට දැරූ ප්‍රයත්නයකැයි සහෘද ඔබ වටහා ගනිතොත් එහි වරදක් මට නොපෙනේ.

‘ඔතපුවන් නුවණ’ කවදත් මගේ ග්‍රන්ථ කියවන මගේ දෙසුම ශ්‍රවණය කරවන සුධීමත් සහෘදයාගේ සවිචාරවත් විමංසනාක්ෂියට මම භාර කරමි.”

සිය කෘතියේ ‘අධ්‍යාශය හා අනුමෝදනාව’ මෙහි ඉතා පැහැදිලිව සඳහන් කළ ඇති අන්දමට විචාර කලාව පිළිබඳ සිය අත්හදා බැලීමක ප්‍රතිඵලයක් ලෙස ඔතපුවන් නුවණ පුස්තකය පෙන්වා දිය හැකි ය. මගේ අවබෝධයේ හැටියට නුවන් නයනජිත් ගේ මෙම පුස්තකය කියවන ප්‍රබුද්ධ පාඨකයාගේ විමසුමට හසු වූ විට, නිතැතින් ම ඔහු සංකල්ප ගත කරන්නා පුළුල් දැක්ම තුළ නිර්ණායක වනු ඇත්තේ පහත සඳහන් කරුණු ය. මෙම කරුණු මත නොපිහිටා පැහැදිලිව ඔතපුවන් නුවණ අවබෝධ කරගත නොහැකිය.

1. නිවැරැදි නිර්ණායක සඳහා ගෙන ඇති තාර්කික හා

තුලනාත්මක උත්සාහය

2. හේතුඵල සම්බන්ධතා ගැළපුම

3. තමන්ට ම ආවේනික නිදහස් අදහස්වල පිහිටීම

4. හුදෙක් ශාස්ත්‍රීය සංවාදයෙන් බැහැර නොවීම

5. භාෂාවේ ව්‍යක්ත බව හා චමත්කාරය

6. පද සංයෝජනය හා උසස් භාවිතයේ නිරවද්‍යතාව

7. සංකල්පගත අදහස් හී බෞද්ධ නෑ සබඳකම්

8. අදහස්වල නිරවුල් බව

9. දාර්ශනික දැක්ම

මා විසින් මෙම ග්‍රන්ථය කියවනු ලැබූ මුල් වාරයේ දීම යට සඳහන් මා තුළ මතු වූයේ නිරුත්සාහයෙනි. එහෙයින් මෙම කෘතියට පාදක කරගත් සියලු විෂය මනාව මගේ මනැසට පමණක් නොව මසැසට ද හසුවීම මේ ග්‍රන්ථයේ අපූරු ප්‍රතිභාවය පළ කරවන්නක් වෙයි. මෙම කෘතිය ලිවීමේ දී නුවන් නයනජිත් තමන්ට සුවිශේෂ වූ සිය අන්තර්ඥානය යොදාගත් අන්දම මනාව පිළිබිඹු වෙයි. මෙහි සිනමාව හා විවිධ විෂයන් සම්බන්ධයෙන් පළවන විචාර ලිපි තිස් පහක් ඇතුළත් වෙනු ඇත.

මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් සියලු රචනා හුදෙක් ලේඛකයාගේ විචාර ශක්තිය පළ කරනු සඳහා ම නිර්මාණය වූවක් නොව, විචාරයෙන් තවදුරටත් ඉදිරියට යමින් ‘විචාර මතවාද’ ප්‍රකාශ කරනු සඳහා ද ගැනුණ උත්සාහයක් ලෙස සඳහන් කළ යුතු ය. ‘විචාරය’ හා ‘විචාර මතවාද’ යනු කාසියට සම්බන්ධ එහි දෙපැත්තට සමානය. විචාරයෙන් තවදුරටත් ඉදිරියට යන විචාර මතවාදවල කාර්ය භාරය වී ඇත්තේ එහි ශාස්ත්‍රීය මෙන් ම දාර්ශනික හර පද්ධතියක් හෙළිදරව් කරනු ඇත. නිදසුනක් සලකා බලතොත් එම ක්ෂේත්‍රයේ වැඩිහිටියන් කිහිප දෙනෙක් ලෙස මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර සහ ඒ. වී. සුරවීර නමැති අය පෙන්වා දිය හැකි ය. එහෙත් තත්කාලයේ එවැනි සුවිශේෂ තරුණ අය බෙහෙවින්ම දුලභ බව මම මුලින් ම පෙන්වා දුනිමි.

මෙහි සාහිත්‍ය විචාරයත් විචාර මතවාදත් පළ කරනු ලබන්නේ එකම විචාරකයා විසිනි. මෙහි දී විචාර මතවාද සාහිත්‍යයේ ඉතා සංකීර්ණ වූ ආකල්ප විවිධත්ව සහ චින්තන සමඟ ය. මේ ආකල්ප පිළිබඳ විවිධත්වය නොපැවැති නම් විවිධ මතවාද පහළ නොවන බව සඳහන් කළ යුතුය. මෙහි දී මහාචාර්ය සුරවීරයන් සඳහන් කරන අන්දමේ සුවිශේෂ පුද්ගලයකු ලෙස අපට තරමක් දුරට හඳුනා ගත හැකි පුද්ගලයෙක් ලෙස නුවන් නයනජිත් කුමාර අපට සැලකිය යුතු පමණින් හඳුනා ගත හැකි ය.

අවසාන වශයෙන් එක් කරුණක් ගැන සිහිපත් කළ යුතුය. පරිච්ඡේද 35කින් යුත් මෙම කෘතියේ සෑම පරිච්ඡේදයකින් ම පාඨකයා අත් කරගනු ඇත්තේ අලුත් දැනුමකි; අවබෝධයකි. එහි කිසිදු තැනක නැවත නැවත එකම කරුණ ගැන නොසඳහන් වන අතර කෘතිය ආරම්භයේ සිට අවසානය දක්වා අත නොහැර කියවීමට ඇති කරවන රුචිකත්වය පොතේ සාර්ථකත්වය මැනිය හැකි මිම්මක් වෙයි. මෙම විචාරය ලිවීමේ දී මා අපහසුවට පත්කළ එක් කරුණක් ඇත. එනම් නිර්මාණයේ පවත්නා දුබලතා සෙවීමට මා ගත් උත්සාහය බෙහෙවින් ම අසාර්ථක වීමයි. එවැනි අඩුපාඩු දුබලතා කිසිවක් මට සොයාගත නොහැකි වීම යනු ‘ඔතපුවන් නුවණ’ යන කෘතියේ සාර්ථකත්වය අලුතෙන් කියාපෑමක් වෙයි.

Comments