
• ඔබේ බොහෝ නවකතා මෙන් ම පරිවර්තන නවකතා ලියැවී ඇත්තේ කාන්තාව මූලික කොටගෙන. ඔබ වැඩිපුරම ලියා ඇත්තේ දුක් විඳින ගැහැනිය පිළිබඳ... එසේ විශේෂිත වීමට හේතුවක් තිබෙනවා ද? එහෙමත් නැත්නම් ඔබ ස්ත්‍රිවාදි ලේඛිකාවක් ද?
මම ස්ත්‍රිවාදි ලේඛිකාවක් නෙමෙයි. මම මේ සමාජයේ සමතැන ඉල්ලන්නේ නැහැ. මේ සමාජයේ කාන්තාවට සමතැන ලැබිලා තියෙනවා. නමුත් ඒ බව කාන්තාවට අවබෝධයක් නැහැ. නමුත් අපි හිතන පතන විදිහයි වෙනස් වෙන්න ඕන. ගැහැනියක් වුණාම තමන්ගේ සැමියට තේ හදලා දෙන්න කෑම උයලා දෙන එක මදිපුංචිකමක් නෙමෙයි. පවුල් ජීවිතය තුළදි කාන්තාව ඒ දේ කරන්න ඕන. මොකද ගෙදර ඉන්න සේවිකාව හදලා දෙන දේට වඩා තමන්ගේ බිරියගේ අතින් හැදෙන තේ එකක් බොන්න, බත් ටිකක් කන්න සැමියා පුරුෂයා කැමතියි. ඉස්සරට වඩා දැන් කාලේ වෙනස්. ඉස්සර කාලේ පුරුෂයා ගෙදරක සියලු ම දේ ගැහැනියට කරලා දුන්නා. නමුත් දැන් ඊට වඩා වෙනස්. අද අපේ කාන්තාවට ප්‍රශ්නයක් ආවා ම ඒක විසඳගන්න බැහැ. ඔවුන් හිතාගෙන ඉන්නේ තමන් හරි සියුමැලියි, මෝඩයි කියලා. නමුත් මං හැම විටම හිතන දෙයක් තමයි ගැහැනිය තමන්ව තේරුම් නොගැනීම හැමදේකට ම බාධාවක් බව. ගැහැනියක් උපරිම වේදනාව විඳිනවා දරුවෙක් ලැබීමේදි. ඒ වේදනාව විඳින නිසා ඇයට ඕනෑම දෙයක් දරා ගන්න පුළුවන්. ඇතැම්විට පුරුෂයන් හිතාගෙන ඉන්නෙත් ගැහැනිය මෝඩයි කියලා. ගැහැනුන් මේ සමාජය තුළ ඉස්සරහට යන්න ඕන. ප්‍රශ්නයක් මතු වුණා ම ඇය එය තමන් විසින් විසඳ ගන්නෙත් නැහැ තව කාටවත් කියලා ඊට විසඳුමක් හොයා ගන්නෙත් නැහැ. තමන්ගේ ජීවිතයේ ප්‍රශ්නයක් මතුවුණාම එයට විසඳුමක් ලබා ගැනීමට ඇය තුළ ආත්ම ශක්තියක් තිබෙනවා. නමුත් බාහිර සමාජයට බයෙන් ඇය ඊට යටවෙලා දුක වේදනාව ම විඳිනවා. ලේඛිකාවක් හැටියට මං ලේඛන කලාවෙන් උත්සාහ කළේ ගැහැනිය තුළ ඇති ඒ ආත්ම ශක්තිය මතු කරවන්නයි. ඒ කාලේ වනිතා විත්ති සඟරාවෙන් මං කතා කළෙත් ගැහැනිය තුළ සැඟවී ඉන්න ගැහැනියටයි. එහෙම නැතිව මං සමාජයේ සමතැන් ඉල්ලා සටන් කරන ස්ත්‍රිවාදි ලේඛිකාවක් නොවෙයි. කාලේ වෙනස් වුණාට කාන්තාවගේ ප්‍රශ්න හැමදාම එකයි. බොහෝවිට පවුල් ප්‍රශ්න විසඳගන්න බැරි ස්වාමි පුරුෂයා කාන්තාව යටකරගෙන සිටින නිසා. ඔවුන් උත්සාහ දරන්නේ කාන්තාව සඟවා තැබීමට.
• ඔබ ලේඛන ක්ෂේත්‍රය අත්නොහැරිය කෙනෙක්. නමුත් අද සාහිත්‍ය කරණයට කාන්තාවගේ දායකත්වය අඩුයි නොවෙද?
ඇත්තෙන් ම පැහැදිලි අඩුවක් තියෙනවා. අද කාන්තාවන් නිර්මාණකරණයේ යෙදෙන්නේ සුළු ප්‍රමාණයක්. හොඳ නිර්මාණ ශක්තියක් තිබූ අය දැන් ක්ෂේත්‍රයෙන් බැහැර වෙලා. විවාහය, දරුවන්ගේ කටයුතු මේ අය ලේඛනයෙන් දුරස්වීමට හේතුවක්. අද වන විට ක්ෂේත්‍රයේ ඉන්නේ වයසට ගිය පිරිසක්. තරුණ අයගේ දායකත්වය බොහොම අඩුයි. හොඳට ලියන, පොත් පරිවර්තනය කරන ලේඛිකාවන් හිටියට ඔවුන් දරුවන්ගේ කටයුතු සමඟ ඉන් බැහැර වෙලා ඉන්නේ. ඒ හැරුණම මං දකින තවත් දෙයක් තමයි අපි තාමත් සංස්කෘතියයි සම්ප්‍රදායයි කර පින්නාගෙන ඉන්නේ.
• ඔබේ නවකතාවල එන බොහෝ චරිත අදටත් මේ සමාජයේ ජීවත් වන අය.
මගේ බොහෝ කතාවල ඉන්නේ මේ මහපොළොව උඩ ජීවත්වන අය. මංජේෂ්වරි සත්‍ය කතාවක්. එහි එන නාවික සෙබළා, ඔහුගේ බිරිය, දරුවා ඉන්දියාවේ ජීවත් වෙනවා. ඇය තම ප්‍රේමය ජය ගැනීමට බොහෝ කැපකිරීම් කළ තැනැත්තියක්. ගල්වරුෂා, පරාවළල්ල ආදි නවකතාවල චරිත මේ සමාජයේ සිටිනවා. ඔවුන් අපේ සමාජයේ කාන්තාවට ධෛර්යක් ශක්තියක් වේවි යැයි කියන අදහසින් තමයි මගේ නවකතාවල චරිත වී සිටින්නේ.
• ස්වතන්ත්‍ර නවකතා මෙන් ම ඔබ බොහෝ පරිවර්තන නවකතා පළකර තිබෙනවා. මේ පොත්වලට කෙදිනක හෝ සම්මාන ලැබුණා ද?
මම පොත් එකසිය ගණනකට වඩා ලියා තිබෙනවා. නමුත් නවකතා පරිවර්තන කතාවලට සම්මාන හිමිවී නැහැ. මම පොත් ලියන්නේ සම්මාන බලාගෙන නොවෙයි. ඒ වගේ ම මං හිතනවා කාටවත් නැති තරමේ ජනතා සම්මාන මට තිබෙනවා කියලා. මා වටා විශාල පාඨක පිරිසක් ඉන්නවා. මා ලියන පොත් පිළිබඳව ඔවුන් මට අදහස් දක්වනවා. වෙන සම්මාන නැතිවට ඒ පාඨක අගය කිරීම මට හොඳට ම ඇති.
• ඔබ නවකතා පරිවර්තනයට යොමු වීමට විශේෂ හේතුවක් තිබෙනවද?
මම නවකතා පොත් පරිවර්තනය කිරීමට හේතුව වුණේ මට දැනුණ දෙයක් නිසා. ලේඛකයන් කිහිප දෙනෙකුගේ හැරුණ විට අනෙක් ලේඛකයන්ගේ පරිවර්තන කෘති කියවන්න හරි කම්මැළියි. එපා වෙනවා. මේ පොත් බැලීමේදී මට හිතුණා ඇයි මට බැරි පාඨකයන්ට කියවන්න පුළුවන් විදිහේ නවකතා පරිවර්තනය කරන්න කියලා. මම මුලින් ම පරිවර්තනය කළේ කටුකුරුලු හඬ කෘතිය. මම එය සිංහලෙන් ලියලා කිහිප දෙනෙකුට ම බලන්න දුන්නා. ඒ හැමෝම ඇහුවේ ඇයි මෙය මුද්‍රණය කරන්නේ නැත්තේ කියලා. එයයි මගෙ නවකතා පරිවර්තනවල ඇරැඹුම. ඉන්පසුව පොත් ප්‍රකාශකයොත් මට හොඳ ඉංග්‍රිසි නවකතා තෝරලා දුන්නා. එදා සිට මම මේ දක්වා ම නවකතා පරිවර්තනය කරනවා. මේ පොත්වටා බැඳුණ ඒකරාශි වුණ පාඨක පිරිසක් මට ඉන්නවා. ඒ වගේම මම යොවුන් සාහිත්‍ය කෘති මෙන් ම ළමා පොත් කිහිපයකුත් ලියා තිබෙනවා. මට පළමු රාජය සම්මානය ලැබුණේ නන්ද හා සරණ යොවුන් නවකතාවට.
• ඔබ දැන් විශ්‍රාම ගත යුතුයි. බණ භාවනාවට යොමු විය යුතුයි. පොත් ලිවීම නොවෙයි කළ යුත්තේ. කෙනෙක් ඔබට එහෙම කිව්වොත්;
ඔව් මම වයසයි. හැත්තෑ පස්වෙනි වියත් පසුකරලා ඉන්නේ. භාවනා කළ පළියට සසරෙන් එතෙර වෙන්නේ නැහැ. නමුත් භාවනා කරලා ජීවිතයට සහනයක් ලබන්න පුළුවන්. බණ ඇහුවා භාවනා කළා කියලා මිනිස්සු තණ්හාව නැති කර ගන්නේ නැහැ. භාවනා කළාම මොළය පිරිසුදු වෙනවා. මම දිනපතා භාවනා කරනවා. දැන් මගේ මනස නිරවුල් කියලා මට හිතෙනවා. ඉස්සරටත් වඩා ඉක්මනට දැන් මට ලියැවෙනවා. මගේ සැමියා මිය ගිය පසු මම ඒ වෙනුවෙන් අඬ අඬා සිටියේ නැහැ. මම පොත් ලිව්වා. ජීවිතයේ ඒ ඇති වුණ හුෙදකලා බව මං මගේ ලේඛනයට යොදා ගත්තා. මං අවුරුද්දට පොත් පහක් විතර ලිව්වා. ඒ වගේ ම මං අනික් ලේඛකයන්ගේ පොත් කියවනවා. මම සමාජයෙන් අත්දැකීම් ලබනවා. ඒ හැමදේ ම මගේ ලේඛනය පෝෂණය කරනවා.
• අද නවකතාකාරියක වන ඔබ මුල් යුගයේ කවි ලියූ බව මා අසා තිබෙනවා.
ඇත්ත. මං ඉස්සෙල්ල ම ලිව්වේ කවි. ඒ කාලේ මඩවල එස්. රත්නායක, මහගමසේකර, විමල් අභයසුන්දර යන අය ගුවන් විදුලියේ පද්‍යවලිය කවි වැඩසටහන කරනවා. මම මඩවල එස්. රත්නායකයි, මහගමසේකරයි කරන වැඩසටහන්වලට කවි ලියනවා. විශ්වවිද්‍යාලයේදි කොමන්රූම් එකට ගිහිල්ලා රේඩියෝවෙන් අහනවා. ඒ කාලේ කවියට රුපියල් 15ක් ගුවන්විදුලියේ ලේඛකයාට ගෙවනවා. මටත් ඒ මුදල් ලැබී තිබෙනවා. මම මුලින් ම චිත්‍ර කලාවට ටියුෂන් ගියා. බර්නාඩ් ලොකුගේ තමයි චිත්‍ර ගුරුවරයා. සේමගේ යි මමයි එක පන්තියේ හිටියේ. ඒ කාලේ ජපානයේ තිබූ රෝයල් ඩ්‍රෝවින් සොසයිටි එකට අපේ චිත්‍ර යවනවා. මට එහෙම යවපු චිත්‍රවලට සහතික හයක් ලැබී තිබෙනවා. නමුත් උසස් පෙළ කරන නිසා 7 වැනි එක කළේ නැහැ. අම්මා හිතුවා චිත්‍ර අඳින්න ගිහිල්ලා ඉගෙනීම කඩාකප්පල් වේවි කියලා. කොහොම හරි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පත්තර රස්සාවට ආවට පස්සේ කවි ලියවිල්ලයි චිත්‍ර ඇඳිල්ලයි දෙක ම නතර වුණා. ඒත් දැන් මට ආයෙත් චිත්‍ර අඳින්නත් හිතෙනවා.