සසුනට පිදූ දරු සෙනෙහස | Page 3 | සිළුමිණ

සසුනට පිදූ දරු සෙනෙහස

 පිය සෙනෙහස සම් මස් සිසාරා ඇටමිදුළු තුළට වැද වේදනා දෙන බව ගෞතම බුදුන් වහන්සේ හා සුදොවුන් රජු අතර වූ සාකච්ඡාවක් විය. ඒ සුදොවුන් රජු රාහුල කුමරුන් පැවිදි කළ සොවින් තැවෙමින් සිටියදීය. කුල දරුවකු පැවිදි වීම සඳහා මවුපිය අවසරය ලැබිය යුතුය යන නීතිය එදා පැනවිණ.

එහෙත් මවු සෙනෙහස එසේ නොවේ. ඇස වැටුණු කුණක් සේ දරු සෙනෙහස සසර පුරා මවු සිත සසර පුරා රිදවයි.

මන්ද්‍රී දේවිය දරුවන් සොයා වනය පුරා දිව ගියා සේ ඇයද රුවන්මැලි සෑමළුවේ සිට පිස්සියක මෙන් තම දරුවා සොයා මහා විහාර භූමිය පුරා දිව ගියා ය. අපි ඇගේ විස්සෝපයට හේතුව පූජා භූමිය රැකවරණයේ යෙදී සිටි පොලිස් නිලධාරි මහතකුගෙන් විමසීමු.

"ඒ අම්මගෙ ලොකු පුතා අද පැවිදි කරලා, පොඩි පුතා පූජා භූමියේ මඟ හැරිලා. අම්මලාගේ දුක එහෙම තමයි." පොලිස් නිලදරුවකුද තල්ලු කරදමමින් වේදනාවෙන් දිව ගිය මව කෙරෙහි අනුකම්පාව දක්වමින් හෙතෙම පැවසීය.

සුදම් ගුණසිංහත් මමත් පැමිණි කටයුතු පසෙක ලා පැවිදි පින්කමක තොරතුරු සොයා ගියෙමු. එය මහා පැවිදි පින්කමකි. බුද්ධ සාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද පැවිදි පින්කමේදී රට වටා කුල දරුවෝ තුන්සියයකට ආසන්න පිරිසක් පැවිදි කරන ලදහ. ඒ පසු ගිය තුන්වැනි දා රුවනමැලි මහසෑරදුන් සෙවණේදීය. මිහිඳු හිමියන් මිහින්තලාවට රැගෙන ආ බුදු දහම රට තුළ ව්‍යාප්තව ස්ථාපිත වූයේ අනුරාධපුර රුවන්මැලි මහාසෑය හා ජයසිරිමාබෝරජුන් මුල් කොටගෙනය. එබැවින් මේ කුලදරුවන් සසුන්ගත කිරීමේ මහා මහා පින්කම රුවන්මැලි සෑමළුවේදී සිදු කිරීමට සමස්ත ලංකා සාසනාරක්ෂක මණ්ඩලය කටයුතු කර තිබේ. ඒ එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයට හා ජාතික වෙසක් උලෙළට සමගාමීව කුලදරුවන් දහසක් පැවිදි කිරීමේ වැඩසටහන යටතේය.

දරුවකු සසුනට පූජා කිරීම සතර වරිගයක් නිවන් දක්නා පින්කමක් බව අපේ පැරැණියෝ විශ්වාස කළහ. පවුලේ එක් දරුවකු හෝ සාසනයට පූජා කිරීම මහඟු පින්කමක් සේ ලක්වැසි බුදුනුවෝ අදත් සලකති.

ගම්දනව්වල සිට තම මවුපියන් සහෝදරයන් සමග කෙළිදෙළෙන් ගත කළ දරුවෝ පැවිදි වීමට සිතූ දා සිට විහාරස්ථානයක ගුරු හාමුදුරුවන් හා වැඩිහිටි ස්වාමීන් වහන්සේගෙන් ගුරුහරුකම් ලබමින් විසූහ. අවසන් වරට මවුපිය දෙපා වඳින දරුවන් දෙස බලා මවුවරු ඉකි බිඳ කඳුලු කැට සලමින් හැඬුවෝය. පියවරු නෙත කඳුළු සඟවාගනිමින් දරුවන් හට සැලෙන සිතින් සමු දුන්හ. ඇතැම් දරුවකුට මව හෝ පියාද තවත් දරුවකුට මවුපිය දෙදෙනාමද නොවීය. එයින් අනාරක්ෂිත වූවෝ වූහ. ඒ ළපැටීන් වෙනුවෙන් කඳුළු සලන්නට මවුපියන් නොසිටියද ඔවුන් වෙනුවෙන් එතැන වුන් සියල්ලන්ගේම නෙත කඳුළු නැඟිණ.

සුදු වතින් සැරැසීගත් කුඩා දරුවෝ පැමිණ දණගසා වැඳ තම ගුරු හාමුදුරුවරුන්ගෙන් පැවිද්ද ඉල්ලා සිටියහ. තමන් පැවිදි දිවියට ඇතුළත් වූ දා සිත නැඟි බොළඳ සිතිවිලි සිහි කරමින් ම මහානාහිමිවරු ගාථා සූත්‍ර කියමින් කුඩාවුන්ගේ ගෙල සිවුරු පට ලූහ. එය ඉතා සංවේදී මොහොතකි. ළදරුවන්ගේ කෙළි කවට සිනාහඬට අවසන් තිත තැබීම එහිදී සිදු විය.

එසැණින් ඒ කුඩා සාමණෙරවරුන් හට සමාජ පිළිගැනීමද ගෞරවයද බුහුමනද හිමි විය. අනතුරුව ඒ කුඩා සාමණේරවරුන්ගේ මවුපියෝ පත්කඩය එළා ඒ සාමණේර හිමිවරුන් දෙපා වැඳ කිරි සුවඳ වෑහෙන මුවින් "සුවපත්වේවා!" යි අශීර්වාදය හිමි කරගත්හ. එයින් මවු ළය පෙරා බිව් කිරේ ණය ගෙවේදැයි මම නොදනිමි. එත් ඒ බුද්ධ ශාසනයේ අභිමානයයි.

"කවුරු හරි කියයි ඔබතුමන්ලා රාජ්‍ය අනුග්‍රහය සහිතව දරුවන්ගේ ළමා අයිතිවාසිකම් හා කඩ කරනවා කියලා?" මම බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා විමසීමි.

"කොහෙත්තම නැහැ. පැවිදි වන දරුවාගේ අයිතිවාසිකම් සියල්ල සුරක්ෂිත වෙනවා. කුඩා සාමණේර නමක් වරදක් කළොත් පහරක් ගහන්න වත් කිසිවකුට අයිතියක් නැහැ. ඔවුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ඉටු වෙනවා. ශික්ෂණයෙන් යුතු යහපත් පුරවැසියකු ලෙස සමාජගත වීමේ අවස්ථාව ඔවුන්ට ලැබෙනවා. ඉදිරිකාලයේ මේ වසර තුළ මහණ වන දහසක් සාමණේරවරුන් වෙනුවෙන් කැපකරු ක්‍රමයක් හා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් ඉන්නවා" යැයි බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා පැවසීය.

"කෙනෙකුට කියන්න පුළුවන් ආගමික සංස්ථාවේ අභිවෘද්ධියට සමාජ සංස්ථාවේ ළදරුවන්ගේ අයිතිය නොසලකා හරිනවා කියලා...?" මම බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා වෙත තවත් පැනයක් ඉදිරිපත් කළෙමි.

"සමාජය රකින්න හා නිවැරදි මාර්ගයේ මෙහෙයවීමටයි ආගම තියෙන්නේ. එසේ නැතිව ආගම රකින්න සමාජය යන්නේ නැහැ. එයයි බෞද්ධ දර්ශනය. සමාජයේ විනය හා හැදියාව තිබිය යුතුයි. අපේ සමාජයේ වර්තමානයේ දක්නට නැත්තේ විනය හා ශික්ෂණයි. මේ කටයුත්ත සමාජ සංවර්ධනය සඳහායි. එසේ නැතිව ආගමික සංස්ථාව ගොඩනැගීම පිණිස නොවේ.

"පැවිදි වන දරුවන්ගෙන් සමහරු උපැවිදි වෙනවා දකින්න පුළුවන්, එවිට ඔබතුමන්ගේ අපේක්ෂිත අරමුණ ඉටු වනවාද?"

"ඔව්. උපැවිදි වීම විශේෂ කාරණයක් නොවේ. ඔවුන්ට සාමාන්‍ය පුරවැසියන් ලෙස සමාජගත වීමේ ගැටලුවක් නැහැ. එසේ සමාජගත වන්නේ උගත් ශික්ෂණයෙන් යුතු පිරිසක්. ඉන් අපේ සමාජ සංවර්ධන අපේක්ෂාව ඉටු වෙනවා." නිමල් කොටවලගෙදර මහතා පැවසීය.

මේ පැවිදි පින්කම වෙනුවෙන් ගිහි-පැවිදි විශාල පිරිසකගේ සහයෝගය ලැබුණු බව පැවැසූ කොමසාරිස්වරයා මෙය බුද්ධ සාසන අමාත්‍යාංශයේ හෝ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ තනි ව්‍යායාමයක් නොවන බවද වැඩිදුරටත් පැවසීය.

ඒ කුඩා භික්ෂූන් වහන්සේලා අනුරාධපුර මහා විහාරයේ සන්නිපාත ශාලාවේදී පැවිදි දිවියේ පළමු දන් වේල පිළිගත්හ. අනතුරුව අනුරාධපුර ශීලභාවනා මධ්‍යස්ථානයටද, රම්බොඩගල මොනරාගල විහාරයටද, හලාවත කබලෑව මහින්දා රාමයටද ශාසනික පැවැත්ම හා වත්පිළිවෙත් පිළිබඳ පුහුණුව සඳහා යොමු කොට තිබේ. කුඩා සාමණෙරවරුන් ගුරු හාමුදුරුවන් වෙත භාර දෙන්නේ නව වැනිදා වට්ටාරම විහාර භූමියේදීය.

රුවන්මැලි සෑරදුන් අබියස සිදු කෙරුණු මහණ පින්කම සඳහා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි නාහිමියන්, අටමස්ථානාධිපති පල්ලෙගම හේමරතන නාහිමියන්, තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ. දහසක් කුලදරුවන් පැවිදි කිරීමේ වැඩ පිළිවෙල යටතේ මෙ වනවිටරටවටා තවත් සාමණෙරවරුන් දෙසීයයක් පමණ පැවිදි වී ඇත. බෙලිඅත්ත දම්මුල්ලේ විහාරස්ථානයේ හැත්තෑ පස්දෙනකු දායකයන්ගේ සහභාගිත්වයෙන් පැවිදි කරවා තිබේ.

බුදු දහම ආගමක් පමණක් නොවේ සමාජ සංවර්ධනය පුද්ගල සංවර්ධනය උපකාරී වන දර්ශනයකි. ඒ බෞද්ධ දර්ශනය මත පිහිටා දරුවන් පැවිදි කිරීම පින්කමකි; සමාජ මෙහෙවරකි. අතීතයේ වීසූ භික්ෂු පරපුරෙන් ලාංකේය සංස්කෘතිය සමාජය ගොඩනැගීමට හා සංවර්ධනයට ලබාදුන් දායකත්වය පිළිබඳ සිතද්දී භික්ෂුවක් යනු අපේ මහා සමාජයට සම්පතකි. මේ වෙසක් සමයේ පැවිදි දිවියට පත් සාමණේරවරුන් දැයට සම්පතක්ම වේවායි පින් පිරි සිතින් ප්‍රාර්ථනා කරමු.

ටෙක්ලා පද්මිණී කාරියවසම්
සේයාරූ - බෞද්ධ කටයුතු අමාත්‍යාංශය 

Comments