මැටි බිඳකින් මුතු අමුණා ගෙල සරසන දයානි | Page 2 | සිළුමිණ

මැටි බිඳකින් මුතු අමුණා ගෙල සරසන දයානි

ලංකාවේ ආභරණ තැනීම පිළිබඳ කතා කිරීමේදී ප්‍රමුඛස්ථානයක් හිමි වන්නේ සුදු යකඩ වැනි ලෝහ වලට සහ ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යයන්ටය. නමුත් කිසිවෙකුත් නොසිතනා අන්දමට මැටි ගුලිවලට අමුතුම සුන්දරත්වයක් එක් කරමින් කතුන්ගේ ගෙල, දෙකන්, දෑත් සරසන දිරිය කතක් කඩුවෙල, කොරතොට ප්‍රදේශයෙන් අපට හමු විය.

කඩුවෙල, කොරතොට, මැණික් ආගාර පාරේ, අංක 336‍/16/ඒ යන ලිපිනයෙහි පදිංචි දයානි ජයවර්ධන නැමැති ඇය පිළිබඳවයි අද දිරියෙන් දිවිය දිනූ කතුන් යටතේ කතා බහට ලක් කරන්නේ.

බියගම මැටි කර්මාන්ත ශාලාවෙන් මිලට ගෙන එනු ලබන සුදු සහ රතු වර්ණයේ මැටි ගෙන ඒවායෙන් විවිධ හැඩැති කුඩා මැටි බෝල සකසා ඒවා විවිධ හැඩ ගන්වා ඇය මාල වළලු සකස් කරන්නීය. ඇගේ දෑතික් තැනෙන පළඳනා ඉතා සිත්ගන්නා සුළුය. එහෙත් ඒ සඳහා වැය වන ශක්තියට සාපේක්ෂව ඒවාට මිලක් නියම කිරීම පවා අපහසුය.

ඇය මෙම කලාව උගත් ආකාරය පිළිබඳව ද අප සමග මෙසේ පැවසුවාය. "මම කාලයක් ම ගෙදරට වෙලා කිසිවක් නොකරමයි කාලය ගෙවුවේ. එහෙම ඉන්නකොට මටත් හිතුණා ගෙදර ඉඳගෙන කරන්න පුළුවන් නමුත් වෙනස් ආකාරයේ දෙයක් කරන්න. මට ඒ අතරෙ අහම්බෙන් දැන ගන්න ලැබුණා කුඩා ව්‍යාපාර අමාත්‍යංශයෙන් මැටි ආශ්‍රත නිර්මාණ කිරීමට කාන්තාවන් දිරි ගැන්වීමේ වැඩ මුළුවක් පිළිබඳ තොරතුරු. ඒ අනුව අපි දවස් හතක පුහුණුවකුත් ලැබුවා.ඒ දින හතේ ලබා ගත් දැනුම උපයෝගී කරගෙන යි මම මේ නිර්මාණ සකස් තරන්නේ" යැයි දයානි අප සමඟ පැවසුවාය.

මෙම ආභරණ සකස් කිරීම සඳහා ඇය කිසිඳු යන්ත්‍රයක් උපයෝගී කර නොගනී. මුතු මාලයක සියළු මුතු සමාන වන්නා සේම ඇය මාලයට අවශ්‍ය සියළු හැඩයන් තම දෑතින්ම සමාන ප්‍රමාණයන්ගෙන් සකසා ගනී. ඒ සකස් කරන මැටි කැබලි ගඩොල් පිච්චීම සඳහා ගන්නා පෝරණුවක් වන් පෝරණුවක් සකසා හොඳින් පුළුස්සා ගනී. එසේ පුළුස්සන ලද මැටි කැබලි වර්ණ ගන්වන්නේ ඉන් අනතුරුවය. ඒ සියල්ල ඇය අතින්ම සිදු කරන අතර ඒ සඳහා අතුරැගිරිය නගරයේ ත්‍රී රෝද රථ අළුත්වැඩියා කිරීමෙහි නිරතවන ඇගේ සැමියාගේද සහය ලැබෙන බවද ඇය පැවසීය.

අප වැනි සුළු නිපැයුම්කරුවන් මුහුණදෙන ලොකුම ගැටලුව අපේ නිපැයුම් සඳහා ස්ථිර වෙළඳපොළක් නැති කමයි. අපි දුක් මහන්සියෙන් හදන විසිතුරුබඩු මිලට ගන්නා ඇතැම් වෙළඳුන් ඒවා ඉහළ මිලකට අලෙවි කරනවා. ඒත් අපට දෙන්නේ ඉතාම සුළු මුදලක්. අඩු ගානේ අපේ මහන්සියට සරිලන මුදලක්වත් දෙනවානම් ලොකු දෙයක් යැයි ඇය පැවසුවාය.

ඇතැම් ප්‍රදර්ශන වල ප්‍රදර්ශන කුටි ලබා ගැනීමට වෙළඳ සමිතිවල ලියාපදිංචි කිරීම අවශ්‍ය බවත් එසේ නැතිනම් කුටිවල අධික මිල දැරිය නොහැකි වීම කණගාටුවට කරුණක් බව ඇය පැවසීය.

"සමහර සුපිරි යැයි කියන ප්‍රදර්ශනාගාර මගෙන් මෙම ආභරණ මිලට ගන්නා නමුත් අපට ලැබෙන්නේ ඉතා සොච්චම් මුදලක් අඩුම තරමේ මහන්සියටවත් වටිනාකමක් ලැබෙන්නේ නෑ. නමුත් ඒවා ඒ ආයතන වල ඉතා අධික මිලකට විකුණනවා. එහෙම නෙමෙයි අපි වගේ සුළු නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන වලට සාධාරණ මිලක් ලැබෙනවානම් සතුටුයි.ඒත් අද වෙනකම් එහෙම වෙලා නෑ අඩුම තරමෙ රජයෙන්වත් අපට ස්ථිර මිලක් ස්ථිර වෙළඳපොළක් ඇති කරනවානම් මෙම කර්මාන්ත දියුණු වෙනවා." යැයි ද දයානි පැවසීය.

හොඳ මිලක් මෙන්ම වෙළඳපොළ ලබා ගැනීමේ ආශාවෙන් සිටින ඇගේ පැතුම පැතුමකට පමණක් සීමා නොවී එය යථාර්තයක් වනු දැකීම සියලු සුළු පරිමාණ නිෂ්පාදකයන්ගේ අපේක්ෂාවයි.

සුගන්ධි අනුරැද්ධිකා ආරියරත්න

Comments