කොළොම්පුර වෙසක් අසිරිය | Page 2 | සිළුමිණ

කොළොම්පුර වෙසක් අසිරිය

 දියවන්නාවෙන් හමනා මඳ නල වෙනදාටත් වැඩියෙන් අද ප්‍රබෝධවත්ව හමයි. වෙසක් සිරියෙන් ඇලළී ගිය දියවන්නාව තව මොහොතකින් විදුලි ආලෝකයෙන් වෙළී යනු ඇත. වෙනදාට වෙසක් කූඩුවකින්, කොඩි වැලකින් සැරසෙන දියවන්නාව මෙදා අත්‍යලංකාරයෙන් සැරසෙන්නේ සුබ මොහොතින් එළඹෙන අන්තර්ජාතික වෙසක් දින සැමරුම කලඑළිදකින්නටය. ගන අඳුර පරයමින් නිසසල දියවන්නාවේ නෙළුම් මල් එකින් එක පූදින්නට විය. ඒ එකක් දෙකක් නොව, දසදහස් ගණනින් පූදින දියවන්නාවේ මේ ‍නෙළුම් මල් කැකුළු ජල මතුපිට ලෙළදෙන්නට වූයේ අහසේ පෑයූ තරු ගොන්නට නොදෙවැනිවය. අන්තර්ජාතික වෙසක් දිනයේ දියවන්නාව ගොඩබිම දෙකම නෙළුම් මලින් දෙකම හැඩ වූයේ බුදුරදුන්ගේ ධර්මයට පණ දුන් දේශයේ අගය ලොවට කියාපාන්නටය. දෙස් විදෙස් බෞද්ධ සම්ප්‍රදායන් මෙන්ම අතීතයේ සිට පැවැත එන වෙසක් සැරසිලිවලට නව අර්ථකථනයක් එක් කරමින් පාර්ලිමේන්තු වටරවුම, දියවන්නාව, දියත උයන මෙන්ම ජපන් මිත්‍රත්ව පාලම හැඩ වූයේ දෙස් විදෙස් බෞද්ධ ප්‍රජාවට අලුත් දිනයක් උදා කරමිනි.

දියවන්නාවෙන් හමන්නා වූ වෙසඟේ සිරිය මුසු වු සිහිල් සුළං රැළි වෙනදාටත් වඩා පීදුණු නෙළුම් මල්වලට ජීවයක් එක් කළාක් මෙන් දසත විසිරුණු රත් සියුම් ආලෝකයෙන් බබළන්නට විය. මින් පෙර ලංකාවේ පැවැති වෙසක් සැමරුමක දැකිය නොහැකි ආකාරයේ බොහෝ දේ දියවන්නාවෙන් දිස් වූයේ අන්තර්ජාතික වෙසක් සැමරුම වෙනුවෙනි. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයෙන් හැඩ වුණු දියවන්නා වෙසක් කලාපය සාම්ප්‍රදායික වෙසක් කලාපවලින් බැහැර වන අතර, නවීන තාක්ෂණයෙන් පෝෂණය වූවකි. දියවන්නා පාලමෙන් විදුලි ආලෝකයෙන් යුතුව පහළට ඇද හැලෙනා දිය ඇල්ල වර්ණ අලංකාරයෙන් අනූන වූවකි. දියත උයනට ඔබ්බෙන් වු දියවන්නා ගං තීරයේ අඩි හතළිහක් පනහක් ඉහළට විහිදෙන්නා වූ අලංකාර දිය ඇල්ල මින් පෙර වෙසඟේ දැක නොතිබූ දසුනක් විය. ජල තිරයෙන් මැවෙන්නා වූ බුද්ධ චරිතය සිහිගැන්වෙන ජලතිර තොරණ සාම්ප්‍රදායික තොරණ විශේෂයෙන් බැහැර වූවක් වන අතර, බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන්නකි. ජපන් මිත්‍රත්ව පාලමෙන් ඔබ්බට පියමං කරන විට සිහිල් සුළං රැළි පරයමින් දසත් විහිදෙන්නා වූ නෙළුම් මල් අසිරිය තියුණු කරමින් වෙසක් උද්‍යානයේ වූ බුදුරුවේ විශාලතම වැලි පිළිමය, ලේසර් තාක්ෂණයෙන් යුතු තොරණ මෙන්ම තායිලන්ත, වියට්නාමය, චීනය, සිංගප්පූරුව ආදි බෞද්ධ රටවල් සිය බෞද්ධ සම්ප්‍රදායන් රැකගනිමින් ඉදිරිපත් කරන්නා වූ නිමැවුම් මෙන්ම ප්‍රථම වරට දියවන්නා ඔයේ නෙළුම් මල් 2500ක් පා කර හැරීමෙන් විචිත්‍රවත් වූ මෙදා වෙසඟේ සිරිය අතිමනරම්ය.

දියවන්නා තීරයෙන් ඔබ්බට ගිය තැන හමු වන කොළොම්පුර වෙසක් අසිරිය විඳින බොහෝ දෙනකුට නෙත ගැටෙන තවත් මනරම් දසුනක් වන්නේ ගංගාරාමයේ වූ බුද්ධ රශ්මි වෙසක් කලාපයයි. ත්‍රිවිධ හමුදා සහාය ඇතිව ගංගාරාම විහාරස්ථානය මෙන්ම අරලියගහ මන්දිරය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපය වසරක් පාසා වෙසඟේ සිරිය අපූරුවට හැඩ ගන්වන අතර, මින් පෙර වසරවල නොවූ ආකාරයෙන් වෙසක් සැරසිලිවලින් අලංකාර වීම විශේෂත්වයකි. බේරේ වැව් ඉස්මත්තේ විදුලි ආලෝකයෙන් අලංකෘත වන වෙසක් කූඩු රාජයන් පරයමින් අඩි 55ක් පමණ උස විදුලි බල්බ 35,000ක ආලෝකයෙන් මහෞෂධ පඬි වත නිරූපණය කරන තොරණ රාජයා බුද්ධ රශ්මි වෙසක් කලාපයට ගෙන දුන්නේ ආලෝකයකි. දන්සල් වඳිමින් වෙසඟේ අසිරිය නරඹන්නන්ට බෞද්ධාලෝක මාවතේ වූ දේශීය නිමැවුමෙන් කළ අලංකාර වෙසක් පහන් කූඩු එක් කරන්නේ ආලෝකයකි. එදා සිට අද දක්වා සෑම වෙසක් දිනකම යම් ආකාරයකින් බෞද්ධාලෝක මාවත හැඩ වන්නේද මෙවරද ඒ සම්ප්‍රදාය නොවෙනස් ඒ ආකාරයෙන් පැවැතීම සුවිශේෂ කරුණක් විය.

කොළොම්පුර වෙසක් අසිරිය දෙනෙතින් දකින්නටත්, මධුර වෙසක් ගීත සවනින් ශ්‍රවණය කරන්නටත් ලේක්හවුස් ආයතයනය අසල වූ අමාදහර මධුර භක්තිගීත සන්දර්ශනය බොහෝ දෙනකුගේ මතකයේ රැඳුණු දුලබ දසුනකි. හිම වැටෙන්නාක් මෙන් වූ විදුලි ආලෝකයෙන් හැඩ වුණු ලේක්හවුස් ආයතනයත් ඒ ඉදිරිපසින් ලෙළ දෙන්නා වූ වෙසක් පහන් කූඩු වැළත් නෙතට රසඳුනක්ම විය. ලේක්හවුස් ආයතය පරිශ්‍රයෙන් විහිදෙන කොළොම්තොටේ අසිරිය වඩවඩාත් තීව්‍ර කරමින් වරාය අධිකාරියෙන් වර්ෂයක් පාසා ඉදි වන කොළොම්තොට වෙසක් කලාපය මෙවර විශේෂත්වයක් ගත්තේ අධිතාක්ෂණයෙන් යුත් ලේසර් කිරණින් විචිත්‍රවත් තොරණක් අහසේ මැවීම හේතුවෙනි. ගාලු මුවදොරින් හමනා රැල්ල අද ඝෝෂාකාරී නැත. වෙනදාටත් වඩා නිහඬව වෙරළ සිපගන්නා මුහුදු රැල්ල අහසේ විචිත්‍රවත් වන බුද්ධෝත්පත්තිය මැවෙන සුන්දර ලේසර් තොරණට නිදහසේ විචිත්‍රවත් වන්නට ඉඩ හරියි. ලේසර් තාක්ෂණයෙන් අහසේ ඇඳෙන රූපරාමු අතර විටෙක අධිතාක්ෂණයෙන් යුත් විශාල බුදු රුවක් අහසේ දිස් වෙයි. බුදුන් වහන්සේගේ උත්පත්තියේ සිට පිරිනිවන් පෑම දක්වා රූප රාමු තිස්හයක් ඔත්සේ විහිදි යන මේ ලේසර් තාක්ෂණික තොරණ නෙත් පමණක් නොව හදවත්ද පිනවන්නක් විය.

බේබෘක් පෙදෙසේ වෙසක් සැරසිලිද මෙවර පෙර සේම විචිත්‍රවත් වූයේ ධාතු ප්‍රදර්ශනයෙන් නැගෙන සාධු ගී රාවයත් සමඟය. තිස්සමහාරාම නීලගිරි මහා සෑයේ හා මිහින්තලා රාජමහා විහාරයේ වැඩ සිටින ධාතූන් වැඩම කරවීම හා වන්දනයට සැලැස්වීම පමණක් නොව දන්සල්, තොරණ, වෙසක් සැරසිලි මෙන්ම භක්තිගීත සන්දර්ශනාදියෙන් සිරස ජෝන්ස් කීල්ස් වෙසක් කලාපය මෙවර වර්ණවත් විය.

කොළොම්පුර අසිරිමත් කරන වෙසක් සිරිය වෙනදාටත් වැඩියෙන් වර්ණවත් වූයේ කොළොම්පුර තැනින් තැන වූ වෙසක් තොරණ හා වෙසක් සැරසිලි හේතුවෙනි. පිටකොටුව එක්සත් බෝධිරාජ සමිතිය විසිතුන් වැනි වරටත් සංවිධානය කළ අඩි හැටපහක් පමණ උස තොරණ අනාගත ලෝකයට කුමක වේද යන්න අපූරුවට නිර්මාණය කරන අතර අනෙක් පසින් පිටකොටුව මැනිං වෙළෙඳපොළ සංවිධානය කළ අනුසෝචීය ජාතකය නිරූපණය කරන විදුලි බල්බ හැට දහසකින් යුතු තොරණ තවත් පසකින් ආලෝකවත් වෙයි. වෙනදා කලබලකාරි පිටකොටුව නගරය මෙදා වෙසත් සිරියෙන් ඇලළෙන්නේ බොදු බැති ගී හා දන්සල් රැසක්ද සමඟිනි. එදා මෙදා තුර වෙසඟේ සිරිය මැවෙන නවලෝක වෙසක් තොරණ මෙන්ම තොටළඟ වෙසක් තොරණද මෙදාත් හැඩ වූයේ සදහම් ප්‍රදීපා හා කුණ්ඩලකේසි කතා වස්තූන් සමඟිනි.

වෙසක් සිරියෙන් මෙන්ම අන්තර්ජාතික වෙසක් සැමරුමෙන් ඇලළී ගිය මෙදා වෙසඟ ශ්‍රී ලංකාවාසී බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනයන්ට ගෙන දුන්නේ අමුතුම ප්‍රබෝධයකි. රැයක් පහන් වනවා නොදැනෙන තරමට බොහෝ දේ මේ රාත්‍රියේ නෙත ගැටිණි. බොහෝ දේ සිතන්නට ඉතිරිව ඇත. බොදු ජීවිතය ඇසුරෙන් අලුත් හෙටක් දකින ශ්‍රී ලංකාවාසීන්ට මේ වෙසඟ අමරණීය වෙසඟක් වනු නියතය.

සේයාරූ - මාලන් කරුණාරත්න, විපුල අමරසේන, චින්තක කුමාරසිංහ, විමල් කරුණාතිලක, සුදම් ගුණසිංහ, තිලක් පෙරේරා, සමන් ශ්‍රී වෙදගේ
සුභාෂිණි ජයරත්න

Comments