15 ජාත්‍යන්තර කරළියෙන් මරිජා බැස යයි | සිළුමිණ

15 ජාත්‍යන්තර කරළියෙන් මරිජා බැස යයි

බන්දුල ජයමාන්න

ම ගිය අවුරුද්දේ තමයි මේ තීරණය ගත්තේ.

ලාංකේය රග්බි පිටියේ බිහිවූ විශිෂ්ටතම ෆ්ලයි හාෆ් ක්‍රීඩකයකුවන ෆසීල් මරිජා එලැඹෙන ආසියානු රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයට ඇතුළත්වීමට මලයාසියාවේ පැවැත්වෙන තරගාවලියෙන් සිය දශක එකහමාරකට ආසන්න ජාත්‍යන්තර 15 රග්බි පිටියට සමුදීමට සැරසෙන බව පවසයි.

ආසියානු රග්බි පළමු කාණ්ඩයට ඇතුළත්වීමට නම් ශ්‍රී ලංකාව මේ තරගාවලිය ජය ගත යුතුය. තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව 14 දා පිලිපීනය සමගත්, 17 දා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟත්, 20 දා සත්කාරක මලයාසියාව සමඟත් තරග aකරනු ඇත. මේ අනුව මරිජාගේ දස්කම් ලාංකේය වර්ණයෙන් 15 ජාත්‍යන්තර රග්බි පිටියේ දැකගත හැකිවන අවසන් තරගාවලියද මෙය වෙයි.

1985 උපන් මරිජා 2003 දී දහ අටවන වියට පා තබන විට ජාතික කණ්ඩායමට එක්වෙමින් භාවිත කළ අංක 10 නිල ඇඳුම මේතාක් කාලයක් තම සන්තකයේ තබා ගැනීමට තරම් දක්ෂයකු විය.

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙන් රග්බි පිටියේ අකුරු කියවු මරිජා 2004 දී පාසල් රග්බි කිරුළ තම විද්‍යාලයට හිමිකරදීමට ද සමත් විය.

සිය දශක එකහමාරක රග්බි දිවිය තුළ ෆ්ලයි හාෆ් ක්‍රීඩකයකු ලෙස මරිජා මුලු මහත් ආසියාවේම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට සමත් විය.

මරිජා ජාත්‍යන්තර රග්බි බිමෙන් සමු ගන්නා මෙම පළමු කාණ්ඩයට ඇතුළත් වීමේ තරගාවලියේ 2015 දී සිය නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීම ද සිය රග්බි දිවියේ සුවිශේෂී සැමරුමක් ලෙස ද සලකයි.

සිංගප්පූරුවේ සත්කාරකත්වයෙන් පැවැති එම තරගාවලියේ පිලිපීනය 27 - 14 ක් පරාජය කරමින් ජය ගැනීමට සමත් විය. අවසන් පූර්ව තරගයේ දී කසකස්තානය 35 - 14 ක් ලෙස පරාජය කිරීමට ද සමත් විය.

රට වෙනුවෙන් පසුගිය කාලය පුරාම ක්‍රීඩා කරලා ලබාගත් මේ ජයග්‍රහණය මගේ ක්‍රීඩා ජීවිතයේ ඉහළින්ම තැන්පත් වෙලා තියෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සෑම තරගයකදී ඉමහත් කැපවීමකින් හා තෘප්තියකින් ක්‍රීඩා කළ බවද මරිජා පවසයි.

ඇත්තටම මම හැමදාම සතුටින් ජාතික කණ්ඩායම සමඟ එකතුව ක්‍රීඩා කළා.

ඕනෑම දෙයකට සමුදීමට කාලයක් ඇති බවද පවසන මරිජා, මගේ වයස අවුරුදු තිස් දෙකයි. මම හිතනවා දැන් ජාතික රග්බි බිමට සමුදෙන්න කාලය ඇවිත් කියලා. මම මේක ප්ලෑන් කරලා තිබ්බේ.

තම තීරණය පිළිබඳ කිසිදු පසුතැවිල්ලක්ද නොමැති බව පවසන මරිජා

 

හරි කාලයේදී හරි තීරණයක් ගත්තා. ඒක හරිම සතුටින් ගත්ත තීරණයක්. ආසියානු පළමු පෙළ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මම ජාතික 15 කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් තරගාවලිය.

සත් සාමාජික සහ පළමු පෙළ තරග පිළිබඳ බලාපොරොත්තු තබා ගෙන සිටින මරිජා,

කොහොමත් තව තරගාවලියක් සහ මහනුවර වෙනුවෙන් තව තරග වාරයක් ක්‍රීඩා කරන්න තරම් ශක්තියක් මගේ ළඟ තියෙනවා කියලා විශ්වාස කරනවා.

තම අන්තර් සමාජ ක්‍රීඩා දිවිය සම්පූර්ණයෙන්ම මහනුවර කණ්ඩායම වෙනුවෙන් ම කැප කළ මරිජා, ලාංකේය රග්බි තරු අතර ඉහළින්ම බැබළුණු තරුවක් ලෙසද ගෞරවාදරයට පාත්‍ර වූවෙකි.

 

Comments