යොවුන් ආසියානු දැල්පන්දු ශූරතාවලිය ශ්‍රී ලංකාව කිරුල රැක ගැනීමේ සටනට | සිළුමිණ

යොවුන් ආසියානු දැල්පන්දු ශූරතාවලිය ශ්‍රී ලංකාව කිරුල රැක ගැනීමේ සටනට

ප්‍රශාන්ත ඇල්පිටිය

ක්‍රීඩා ලොවේ දී වඩාත් අසීරුතම දෙය වනුයේ පිට පිට ශූරතා හිමිකර ගැනීමය. විශේෂයෙන්ම කණ්ඩායම් ක්‍රීඩාවලදී එය තවත් අසීරුය. නමුත් එය කිරීමට සමත් වූ කණ්ඩායම් ද සිටිති. ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු (නෙට්බෝල්) කණ්ඩායමටත් එම දුලබ දස්කම කිරීමට අවස්ථාව උදා වී තිබේ.

ඒ දකුණු කොරියාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 21 න් පහළ ආසියානු යොවුන් දැල්පන්දු ශුරතාවලිය නැවත වතාවක් හිමිකර ගැනීමට හැකි වුවහොත්ය. ජියොන්ජු නුවරදී මෙවර ශූරතාවලිය පැවැත්වෙන්නේ මැයි මස 06 සිට 13 දින දක්වාය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙවර ශූරතාවලියට සහභාගි වනුයේ ගියවර එනම් 2015 ශූරියෝ වශයෙනි. එමෙන්ම 2013 අනුශූරියෝ වූයේත් ශ්‍රී ලංකාවයි. මෙවර ශී‍්‍රි ලංකා යොවුන් කණ්ඩායමේ නායිකාව ලෙසට ක්‍රියා කරන්නේ නදී ප්‍රනාන්දුය.

නදී කළුතර දිස්ත්‍රික් සංගමය නියෝජනය කරන්නීය. කළුතර ශුද්ධ වු පවුලේ කන්‍යාරාමයෙන් ඇය ක්‍රීඩාවට පිවිසුණාය. එමෙන්ම ගියවර (2015) යොවුන් ආසියානු ශුරතාව හිමිකර ගත් කණ්ඩායමේත් සාමාජිකාවකි. එම කණ්ඩායමට ක්‍රීඩාකළ ක්‍රීඩිකාවන් අතරින් මෙවර තරගාවලියටත් සහභාගි වන්නේ ක්‍රීඩිකාවන් තිදෙනෙක් පමණකි. ඒ නායිකාව වන නදී, උපනායිකා හෂිනි පෙරේරා සහ සචිනි රුද්‍රිගුය.

2015 දී මෙන්ම මෙවරත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩයමේ පුහුණුකාරිණිය ලෙසට තමාරා ලියනගේ මහත්මිය කටයුතු කරනු ඇත. 2015 වසරේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ආසියානු ශූරතාව හිමිකර ගත්තේ ගයනි දිසානායකගේ නායකත්වය මතය.

මෙවර තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට පාසල් ක්‍රීඩිකාවන් දෙදෙනකුත් අයත්ය. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් පසුගිය දිනවලදී පුහුණුවීම් කටයුතුවල නිරත වූයේ නාවලපිටිය ජයතිලක ක්‍රීඩා සංකීර්ණයේදීය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම

(නායිකාව) නදී ප්‍රනාන්දු (කළුතර දිස්ත්‍රික් සංගමය), හෂිනි පෙරේරා (උප නායිකාව - යුද හමුදා ක්‍රීඩා සමාජය), සචිනි රැද්‍රිගු (යුද හමුදා ක්‍රීඩා සමාජය), කවීනා රාජපක්ෂ (යුද හමුදා ක්‍රීඩා සමාජය), පූර්ණිමා ලක්ෂානි (යුද හමුදා ක්‍රීඩා සමාජය), මලීෂා රත්නායක (සෙලාන් බැංකුව), මන්දිරා සම්පත් (සෙලාන් බැංකුව), ටී. එන්. හපුආරච්චි (නාවික හමුදා ක්‍රීඩා සමාජය), නිර්මානි පෙරේරා (නාවික හමුදා ක්‍රීඩා සමාජය), හංසිමා දිසානායක (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය), රශ්මි පෙරේරා (ප්‍රෙස්බිටීරියන් බාලිකා විද්‍යාලය - දෙහිවල), තරුෂි ඉලංගරත්න (විශාකා විද්‍යාලය)

මෙවර ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියේ දී වැඩි දස්කම් දැක්වීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට වැදගත් වේ. එනම් එම අත්දැකීම් ලබන ජුලි මාසයේදී පැවැත්වෙන යොවුන් ලෝක ශූරතාවලියට යොදා ගත හැකි බැවිනි. ශ්‍රී ලංකාව එම ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබුවේ ආසියානු ශූරියන් වශයෙනි.

2017 ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියට සත්කාරක දකුණු කොරියාව, ශ්‍රී ලංකාව, චීන තායිපේ, ඉන්දියාව, හොංකොං, මලයාසියාව, මාලදිවයින, පාකිස්තානය, සිංගප්පූරුව සහ තායිලන්තය වැනි රටවල් සහභාගි වීමට නියමිතය.

ආසියානු යොවුන් දැල්පන්දු ශුරතාවලිය මෙවර පැවැත්වෙන්නේ තෙවැනි වරටයි. එහි පළමු ශූරතාවලිය බෲනායි රාජ්‍යයේදී පැවැත්විණි. ඊට සහභාගි වූ රටවල් ගණන 10 කි. එහිදී ශූරතාව මලයාසියාවටත් අනුශූරතාව ශ්‍රී ලංකාවටත් තෙවැනි තැන සිංගප්පූරුවටත් හිමිවිය.

එහි දෙවන ශූරතාවලිය හොංකොංහිදී පැවැත්විය. ඊට රටවල් 12 ක් සහභාගි විය. එහිදී ශ්‍රී ලංකාවට ශුරතාවයයි. මලයාසියාවට අනුශූරතාවයයි. එවරත් තෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිංගප්පූරුවට සිදුවිය.

Comments