
දිනපතා නොනවත්වාම අප අවට එක්රැස් වන විවිධ තරාතිරමේ කැළි කසළ අපට මහත් වූ හිසරදයකි. නිවෙස්වලින්, කඩ සාප්පුවලින්, කාර්යාලවලින්, පාසල්වලින්, රෝහල්වලින්, කර්මාන්ත ශාලාවලින් මෙන්ම ඇතැම් විට ගොවි බිම්වලිනුත් බැහැර කෙරෙන කැළි කසළ තවත් තැනෙක යෝධ කුණු කන්දක් වන සැටි අපි කොතෙකුත් දැක ඇත්තෙමු. කැළි කසළ පරිසරයේ තැනින් තැන එකතු වනවා හා සමානවම, සමහරවිට එයටත් වඩා වැඩියෙන් මේ කුණු කඳු මිනිස් සමාජය තුළ අර්බුද මතු කරයි. කුණු කඳු ආශ්‍රයෙන් මීයන්, මැස්සන් වැනි සතුන් බෝ වීම, කුණු කඳුවලින් හමා එන අධික දුර්ගන්ධය ඒ අතර ප්‍රධාන තැනක් ගනී. මේ ගැටලු නිසා දුකට පත් මිනිසුන්ගේ මුවින් නැඟෙන දුක් අඳෝනා අපට නුහුරුම නැත.
අනෙක් අතට විධිමත්ව වර්ග කිරීමක් නැතිව මිශ්‍රණයක් හැටියට එවැනි කුණු කඳුවල කුණු පවතී. ඒ අතර රෝහල්වලින් ඉවත් කෙරෙන එන්නත් කටු, බෙහෙත් වර්ග, රසායනික ද්‍රව්‍ය වුව තිබෙන්නට පුළුවන. කුණු කඳුවලට ගොස් කුණු තේරීමෙහි නියැළී සිටින පිරිස් අපට අලුත් දසුනක් නොවේ. එසේ කුණු තෝරන පිරිස් ආරක්‍ෂිත ඇඳුම් කට්ටලවලින් සැරසී සිටින වගක් කොහෙත්ම දකින්නට ලැබෙන්නේ නැත. යට කී එන්නත් කටු, රසායනික ද්‍රව්‍ය වැනි අන්තරාකාරී දෙයින් එවැනි අයට හානියක් නොපැමිණෙතැයි කියා අප කෙසේ නම් සිතන්නද? මෙවැනි ගැටලු ගැන සිතා බලන විට අපේ කැළි කසළ ගැටලුවට නිසි පිළියමක් වුවමනා බව යළි යළිත් කියන්නට කාරණයක් නොවේ.
කැළි කසළ ගැටලුව ජනගහනයත් සමඟ වර්ධනය වුණු ගැටලුවකි. එය හුදෙක් අප රටට පමණක් බලපාන්නක්ද නොවේ. මේ ලිපියෙන් අප ඔබට ඉදිරිපත් කරන්නේ ස්වීඩනය සිය රටේ කැළි කසළ ගැටලුවෙන් අත්මිදුණු ආකාරය සම්බන්ධවය.
ලොව ධනවත්ම රටවල් අතර හත්වැනි තැනෙහිලා සැලකෙන ස්වීඩනය කැළි කසළ කළමනාකරණය අතින් ඉතා ඉහළ තාක්ෂණයක් සහ දියුණුවක් ලත් රාජ්‍යයකි. කැළි කසළ කළමනාකරණය සම්බන්ධයෙන් එරට අනුගමනය කරන ක්‍රම අපේ රටටත් ගැළපේද කියා සොයා බැලීම සැලසුම් සකසන අයගේත්, පර්යේෂකයන්ගේත්, පරිසර විද්‍යාඥයන්ගේත් යුතුකමක් සහ වගකීමක් වන්නේය.
කාර්මික කුණු ගොඩක්
වර්ග කිලෝමීටර් 3,287,263ක් වන ඉන්දියාවේ භූමි ප්‍රමාණය හා සලකන විට වර්ග කිලෝමීටර 450,295කින් සමන්විත ස්වීඩනය සාමාන්‍ය ප්‍රමාණයේ රටකි. ස්වීඩනයේ ජනගහනය මිලියන 9.6ක් පමණ වන බව වාර්තාවල දැක්වේ. ස්වීඩනය කාර්මික අතින් පුදුමාකාර දියුණුවක් ලත් රාජ්‍යයකි. Alfa Laval, SKF, Ericsson, Sandvik Asia, ABB, Volvo, Saab වැනි ලොව ප්‍රධාන පෙළේ සමාගම්, ස්වීඩනය මුල් කරගත් සමාගම්ය. මෙවැනි සමාගම් විශාල සංඛ්‍යාවක් තිබුණද ස්වීඩනය සිය බලශක්ති අවශ්‍යතා සම්පූර්ණ කරගන්නට සම්ප්‍රදායික බලශක්ති මූලාශ්‍රය මත යැපෙන්නේ නැති බව දන්නේ අල්පයක් තරම් වූ පිරිසකි.
සාර්ථක ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළක්
ස්වීඩනයේ නගර තුළ ඒකරාශී කෙරෙන කැළි කසළවලින් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් බලශක්තිය සඳහා පරිවර්තනය කෙරේ. එරට වාහන ධාවනය සඳහා යොදා ගැනෙන්නේ ජීවවායුවයි. රටට අවශ්‍ය ජීව වායුවෙන් 53%කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන්නේද ස්වීඩනය තුළමය. එකී ජීව වායු ප්‍රමාණය නිෂ්පාදනය කරගැනීම සඳහා 2012 වසර වන විට එරට තුළ ජීවවායුව නිපදවීමේ යන්ත්‍ර 242ක් ස්ථාපනය කර තිබුණු බව වාර්තාවල දැක්වේ. එයින් යන්ත්‍ර 135ක් තුළ ජීව වායු නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වන්නේ අපජලය භාවිතයෙනි. තවත් යන්ත්‍ර 5ක් තුළ නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වන්නේ කාර්මික අපද්‍රව්‍යය යන්ත්‍රවලට යොමු කිරීමෙන් බව සඳහන් වේ. නිවෙස්වලින් බැහැර කෙරෙන විවිධ වර්ගයේ කැළි කසළ යෙදීම හරහා ජීව වායුව නිපදවා ගත හැකි යන්ත්‍ර 21කුත් ස්වීඩනයේ ඇත.
කැළි කසළ භාවිතයෙන් විදුලිය නිපදවාගන්නට ස්වීඩනය හැඩගැසී තිබෙන්නේ නිවැරදිව කුණු වර්ග කිරීමේ පිළිවෙතකට එරට සාමාන්‍ය ජනයා එළඹ ඇති බැවිනි. එය සිදු වන්නේ නිවෙස් මට්ටමෙනි. තම නිවෙසින් බැහැර කෙරෙන අපද්‍රව්‍යය වර්ග කිරීමට නිවෙස් හිමියන් හුරු කර තිබේ. කඩදාසි, පොලිතීන්, වීදුරු, දිරාපත් වන ද්‍රව්‍ය යනාදී වශයෙන් තම නිවෙස්වලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය වර්ග කර අදාළ ඇසුරුම්වලට බහා තබන්නට ඔවුන්ට පුළුවන. මේ නිසා නිවෙස්වල ඒකරාශී වන කැළි කසළ, ලට-පට හැටියට අතන - මෙතැන දැමීමක් එහි කොහෙත්ම සිදු වන්නේ නැත. කෙටියෙන් කියනවා නම් අප රටේ මෙන් පාරවල් අද්දර කඳු හැටියට ගොඩගැසුණු කුණු ගොඩවල් එහි දකින්නට ලැබෙන්නේ නැත. තැනක් නොතැනක් නැතිව අපද්‍රව්‍ය හෙළීමේ කරදරය නිසා නාසය හකුලුවාගෙන ගමනක් බිමනක් යන්නට ස්වීඩනයේ මහපාරක යන පදිකයකුට කිසිදාක ඉඩක් ලැබෙන්නේද නැත.
නිවැරදි ආකල්ප සහ දැඩි විනය
ඉවත හෙළන අපද්‍රව්‍ය සම්බන්ධයෙන් ස්වීඩනයේ මෙවැනි තත්ත්වයක් ඇතිවූයේ කැළි කසළ කළමනාකරණය විෂයයෙහි ස්වීඩන ජනයා තුළ ඇති දැඩි විනය සහ නිවැරදි ආකල්ප හේතුවෙනි. කැළි කසළ කළමනාකරණය කිරීමේ විනය සාමාන්‍ය ජනයා තුළ රෝපණය කරන්නට එරට බලධාරීන් පියවර ගත්තේ එක්දහස් නවසිය හැත්තෑ ගණන් මුල භාගයේ සිටය. මුල් කාලයේදී මේ වැඩ පිළිවෙළ සාර්ථක කරගැනීම එතරම් පහසු වූයේ නැත. ප්‍රයෝගික ගැටලු එපමණටම විය. එසේ වුවද ස්වීඩන් රජය වැඩපිළිවෙළ අත්හැර දැමුවේ ද නැත. ප්‍රයෝගික ගැටලු නිරාකරණය කරගනිමින් වැඩපිළිවෙළ ඉදිරියට රැගෙන යන්නට අවශ්‍ය අණපනත් සහ නීති රීතී පද්ධතිය සකසන්නට ස්වීඩන් බලධාරීහු ක්‍රියාකළහ. ඒ හරහා කැළි කසළ කළමනාකරණ ක්‍රියාවලිය සෑම පුද්ගලයකුටම අනිවාර්ය කෙරිණ. මේ නිසා කැළි කසළ කළමනාකරණයට සම්බන්ධ නව උප සංස්කෘතියක්ද ඇති වූයේය.
සාර්ථක වැඩසටහනක ආරම්භය
නිවෙස් මට්ටමෙන් එකතු වන කැළි කසළවලින් 38%ක ප්‍රමාණයක් සාර්ථකව ප්‍රතිචක්‍රීකරණය කරන්නට 1975 වසර වන විට ස්වීඩන් බලධාරීහු සමත් වූහ. වැඩපිළිවෙළ අරඹා දශක දෙකක පමණ කාලයක් ගත වන විට කැළි කසළ නිසි පරිදි වර්ග කර ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සාමාන්‍ය ජනයා සමත්ව සිටියෝය. මේ නිසා මිනිසුන් පදිංචිව සිටින සෑම ස්ථානයකටම ආසන්නයෙන් කැළි කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මධ්‍යස්ථානයක් බැගින් ස්ථාපනය කරන්නට රජයට සිදු විය. කැළි කසළ කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළ අද වන විට ස්වීඩනයේ සාමන්‍ය ජනයාට ඉතාම සමීප කාර්යයක් වී ඇත. වෙනත් අන්දමකින් කිවහොත් එය ඔවුන්ගේ ජීවිතයේම කොටසක් බවට පත්ව ඇත යන්නය. ඒ බව මනාව පිළිබිඹු වන්නේ ඕනෑම කෙනකුට තමන් ජීවත් වන තැන සිට මීටර 300ක් ඇතුළත ඇති කැළි කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මධ්‍යස්ථානයකට ළඟා වන්නට හැකි වීම මඟිනි.
අපද්‍රව්‍ය බලශක්තියට
කැළි කසළ කළමනාකරණය එරට හඳුන්වන්නේ අපද්‍රව්‍ය බලශක්තියට ( Waste – to – Energy ) යනුවෙනි. 'අපද්‍රව්‍යයවලින් බලශක්තියට' වැඩපිළිවෙළ යටතේ සිදු වන්නේ වර්ග කරන ලද කැළි කසළ පුලුස්සා දැමීමයි. එය සිදු කෙරෙන්නේ විශේෂ යන්ත්‍ර තුළය. එනිසා විෂ සහිත වායූන් පරිසරයට එකතු වන්නට ඇති ඉඩකඩ එමඟින් අහුරා දමා තිබේ.
කැළි කසළ එසේ පුලුස්සා දැමීමෙන් නැඟෙන තාපය භාවිතයට ගෙන විදුලි උත්පාදන යන්ත්‍රයක ටර්බයින කරකැවෙන්නට සලස්වා ඇත. ඒ හරහා විදුලිය නිෂ්පාදනය කෙරේ.
නිපදවෙන විදුලි බලය සම්ප්‍රේෂණ රැහැන් ඔස්සේ ජාතික පද්ධතියට එකතු කර බෙදා හැරේ. හෙල්සින්බර්ග්හි ස්ථාපිත අපද්‍රව්‍ය බලශක්තියට හැරවීමේ යන්ත්‍රයකින් නිෂ්පාදනය කෙරෙන විදුලිය, ඒ නගරයේ තාප අවශ්‍යතාවෙන් 40%ක් පිරිමසා ගන්නට සෑහෙන බව කියැවේ. එමෙන්ම රට පුරා ක්‍රියාත්මක වන යටකී වැඩ පිළිවෙළෙන් නිවාස 950,000ක පමණ තාප අවශ්‍යතාත්, නිවාස 265,000ක පමණ විදුලිය අවශ්‍යතාත් පිරිමැසෙන බව වාර්තාවල සටහන්ව ඇත.
කැළි කසලවලින් ඉඩම් ගොඩ නොකෙරේ
කැළි කසළ භාවිතයෙන් ගොඩබිම් පුරවා දැමීම ලෝකය පුරා අද ඉතා සුලභව සිදු වන්නකි. මේ තත්ත්වය වැඩිපුරම දැකිය හැකි වන්නේ දියුණු වෙමින් පවතින රටවලය. කැළි කසළවලින් ඉඩම් ගොඩ කිරීමේ කාර්යය ස්වීඩනය සිය රටේ ක්‍රියාවට නංවන්නේ ඉතාමත් පුළුල් විද්‍යාත්මක විග්‍රහයක පිහිටා සිටයි. එරට බලධාරීන් ප්‍රකාශ කරන ආකාරයට ඉඩම් ගොඩකිරීමේ කටයුතුවලට භාවිත කරන්නේ එරට සමස්ත කැළි කසළවලින් 1%කටත් අඩු ප්‍රමාණයකි. එයට හේතුව කැළි කසළවලින් ඉඩම් ගොඩ කළ විට නොයෙකුත් පාරිසරික ගැටලු මතුවන බව තහවුරුව තිබීමයි. විශේෂයෙන්ම මීතේන්, කාබන් ඩයොක්සයිඩ් වැනි වායූන් ඉතා පහසුවෙන් වායුගෝලයට මුදාහැරෙන්නට මෙය මඟක් බව ඔවුහු පවසති. කැළි කසළ භාවිතයෙන් ඉඩම් ගොඩ කිරීම ස්වීඩනයේ ඇතැම් තැනෙක නීතියෙන්ම තහනම් කර දමා තිබෙන්නේ ඒ ආදීනව හේතුවෙනි.
කැළි කසළ යොදාගෙන ඉඩම් ගොඩ කිරීමට ඉඩ නොදෙන්නට ස්වීඩනය ගෙන ඇති තීරණය සහ එය ක්‍රියාත්මක කෙරෙන ආකාරය ඉතා ඉහළ මට්ටමක පවතින බව වර්තාවල දැක්වේ. 2010 වසර වන තුරු අමෙරිකා එක්සත් ජනපදය ප්‍රතිචක්‍රීකරණය කළේ එරට කැළි කසළවලින් 34%ක් බව එකසත් ජනපද පරිසර ආරක්ෂණ ඒජන්සිය පෙන්වා දෙයි. අමෙරිකා එක්සත් ජනපදයේ කැළි කසළවලින් 50%කට ආසන්න ප්‍රමාණයක් ඉඩම් ගොඩකිරීමට යොදාගත් බවත් යට කී ඒජන්සි වර්තාවක දැක්වේ. ඒ අනුව පෙනී යන්නේ කැළි කසළ කළමනාකරණය සහ බලශක්තිය බවට හැරවීමේ කාර්යය තුළ ස්වීඩනයේ භූමිකාව ආසන්නයටවත් අමෙරිකා එක්සත් ජනපදයට පැමිණෙන්නට බැරිව ඇති බවක් නොවේද? එය තවදුරටත් පැහැදිලි වන්නේ ස්වීඩනය සිය රට ක්‍රියාත්මක කරන “අපද්‍රව්‍ය බලශක්තියට” වැඩ පිළිවෙළේ ස්ථාවරභාවය රැකගන්නට කුණු ආනයනය කිරීම මඟිනි. සෑම වසරකටම ස්වීඩනය කුණු ටොන් ලක්ෂ අටකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කරන බව වාර්තා වේ. මේ කුණු ආනයනය කරන්නේ එක්සත් රාජධානිය, ඉතාලිය, අයර්ලන්තය සහ නෝර්වේ යන රාජ්‍යයවලිනි. එසේ නොවන්නට අපද්‍රව්‍ය බලශක්තියට හැරවීමේ යන්ත්‍ර ක්‍රියාත්මක මට්ටමෙන් තබාගන්නට ස්වීඩනයේ කුණු පමණක් ප්‍රමාණවත් නොවන බව ගණන් බලා ඇත. මේ කාරණා දෙස බලන විට පෙනී යන්නේ කුණුත් හොඳ ව්‍යාපාරයක් බව නොවේද?
ඝන අපද්‍රව්‍යවලට කුමක් කළ හැකිද?
කුමන ආකාරයක අපද්‍රව්‍ය වුව පරිසරයට මුදා හැරීම මිනිසාට දැන් කරදරයක් සහ බරක් බවට පත්ව ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ තත්ත්වය වඩාත් තදබල ලෙසම දැනෙන්නේ ඝන අපද්‍රව්‍ය සම්බන්ධයෙනි. එනිසා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව අන් කිසිදු ආකාරයක අපද්‍රව්‍යය කළමනාකරණය කිරීමකටත් වඩා අවශ්‍යම කාරණයක් වී තිබේ. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ක්‍රම කිහිපයක් ඇත. ඉඩම් ගොඩකිරීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී. ඝන අපද්‍රව්‍ය දවා අළු කිරීමත්, නැවත භාවිතයට එක්කිරීමත්, ප්‍රතිචක්‍රීකරණය කිරීමත් ලෝකය පුරා දැනට විවිධ මට්ටමින් ක්‍රියාත්මක වේ. මේ හැරුණු විට කැළි කසළ භාවිතයෙන් විදුලි බලය නිෂ්පාදනය කිරීමටත් ඇතැම් රටවල් යොමුව ඇත.
විවිධ අපද්‍රව්‍ය
මිනිසා පරිසරයට එකතු කරන අපද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් කාණ්ඩ කිහිපයකට බෙදා දක්වන්නට පුළුවන. කැළි කසළ අතර නිතර දකින්නට ලැබෙන අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරෙන්නේ ගෙදර දොර කටයුතු හෝ කාර්යාලය කටයුතු හෝ නිසාය. ඒ අන්දමින් ඉවත ලන අපද්‍රව්‍යවලට අයත් වන්නේ ඝන ද්‍රව්‍යයය. මේ ඝන අපද්‍රව්‍යය විවිධ නිර්ණායක පදනම් කරගෙන තවදුරටත් බෙදා වෙන් කර දක්වන්නට පුළුවන.
1. දිරා යන ද්‍රව්‍යය
මුළුතැන්ගෙයින් ඉවත ලන ද්‍රව්‍ය මෙහිලා දිය හැකි නිදසුනකි.
2. ප්‍රතිචක්‍රීකරණයට ලක් කළ හැකි දෑ
කඩදාසි, කාඩ්බෝඩ්, වීදුරු බෝතල්, ඇලුමිනියම් කෑන්, ඇලුමිනියම් ෆොයිල්, විවිධ ලෝහ වර්ග, සමහර ප්ලාස්ටික් වර්ග, රෙදි, ටයර, බැටරි මෙයට ඇතුළත්ය.
3. ඉදි කිරීම්වලින් සහ ගොඩනැඟිලි බිඳදැමීම්වලින් එකතු වන අපද්‍රව්‍ය
ගොඩනැඟිලි කඩාබිඳදැමීම නිසා පරිසරයට එකතු වන කොන්ක්‍රීට්, ගල්, සිමෙන්ති වැනි දෑ මෙයට ඇතුළත්ය. ඒ හැරුණුවිට ගොඩනැඟිලි ඉදි කරන අවස්ථාවලදීත් එවැනිම අපද්‍රව්‍ය පරිසරයට එකතු වේ. පරිසරයට එක් කෙරෙන වෙනත් ආකාරවල සුන්බුන් සහ පාෂාණ ආදිය අයත් වන්නේත් මේ යටතටය.
4. විද්යුත් උපාංග
මිනිසා තාක්ෂණයෙන් දියුණුවත්ම භාවිතයට ගන්නා විද්‍යුත් උපාංග ප්‍රමාණය ඉහළ ගොස් ඇත. මේ භාණ්ඩ භාවිත කර නිම වූ පසු සිදු වන්නේ ඍජුවම ඒවා ඉවත හෙළීමය. එවැනි විද්යුත් උපකරණවල ආයු කාලය ඉතා කෙටි වීම වඩාත් භයානකම තත්ත්වයයි. එවැනි දෑ අතර ජංගම දුරකතන, ඔරලෝසු, මුළුතැන්ගෙයි උපකරණ, බල්බ, රූපවාහිනී යන්ත්‍ර, පරිගණක යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර යනාදිය තිබේ. මේ ආකාරයේ අපද්‍රව්‍ය පරිසරයට මුදාහරින රටවල් අතර පළමු තැන සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදයයි. ඇමෙරිකාව වසරකට විද්යුත් උපාංග ටොන් මිලියන තුනක් පමණ අපද්‍රව්‍ය ලෙස පරිසරයට මුදාහරින බව පැවසේ. දෙවැනි තැන සිටින්නේ චීනයයි. වසරකට විද්යුත් උපාංග ටොන් මිලියන 2.3ක් පමණ අපද්‍රව්‍යය ලෙස චීනයෙන් පරිසරයට එකතු වන බව වාර්තාවල දැක්වේ.
5. මිශ්‍ර අපද්‍රව්‍ය
ඇතැම් රෙදි වර්ග, සෙල්ලම් බඩු මෙහිලා දිය හැකි නිදසුන්ය.
6. උපද්‍රව ඇති කරන අපද්‍රව්‍ය
තීන්ත වර්ග, රසායනික ද්‍රව්‍යය, ටයර, බැටරි, විදුලි බල්බ, ෆ්ලුවොරොසෙන්ට් ටියුබ්, විවිධ රසායනික ඉසීමට ගන්නා කෑන්, පොහොර වර්ග සහ විවිධ දෑ බහා තබන බහාලුම් මේ කාණ්ඩයට අයත්ය.
7. විෂ සහිත අපද්‍රව්‍ය
කෘමිනාශක, වල්නාශක, දිලීර නාශක ආදියයි. මෙවැනි අපද්‍රව්‍ය පරිසරය තුළ රැඳීමෙන් ජීවත්ව සිටින සතුන් මිය යනවා පමණක් නොව උපදින්නට සිටින සතුන් විකෘති සහිතව ඉපදීමත් සිදු වන්නට පුළුවන.
8. ඖෂධ නිෂ්පාදනය සහ භාවිතය නිසා ඇති වන අපද්‍රව්‍ය
ඊට ප්‍රධාන වශයෙන් මුල් වන්නේ බෙහෙත් වර්ගයි. ඒ හැරුණුවිට එන්නත් කටු, වෙළුම්පටි ආදිය භාවිතයෙන් පසු පරිසරයට මුදාහැරීමත් නිදසුන් හැටියට දක්වන්නට පුළුවන.
ඉහත දක්වූ ඝන අපද්‍රව්‍ය හැරුණු විට මිනිසා පරිසරයට එකතු කරන තවත් අපද්‍රව්‍ය රැසක් තිබේ. ඒ අතර අපජලයට හිමි වන්නේ විශේෂ තැනකි. විශේෂයෙන්ම මල සහ මුත්‍ර සහිත ජලය මෙයට ඇතුළත්ය. ඒවා ජල මූලාශ්‍රවලට එක්වීමෙන් ඉතා වේගයෙන් පරිසරයේ පැතිරයන්නටත් ජීවීන්ගේ දේහ අභ්‍යන්තරයට ගමන් කරන්නටත් පටන් ගනී. මෙකී කාණ්ඩය හැරුණු විට මිනිසා පරිසරයට එකතු කරන විකිරණශීලී ද්‍රව්‍ය ගැනත් සඳහන් නොකර බැරිය. විකිරණශීලී ද්‍රව්‍ය භාවිතය හේතු කරගෙන බරපතළ විනාශයන් පරිසරයට සහ එහි වසන ජීවීන්ට සිදු වේ. අපට මතක ඇති ඉතිහාසයේ එවැනි විනාශ කිහිපයක්ම සිදු විය. 2011 වසරේදී ජපානයට බලපෑ භූ කම්පන තත්ත්වය සහ සුනාමිය හේතු කරගෙන ෆුකුෂිමා බලාගාරය අනතුරට ලක් වීම එවැනි එක් අවස්ථාවකි. ඒ හැරුණු විට 1986 වසරේදී යුක්‍රේනියා සෝවියට් සමාජවාදී ජනරජයෙහි චර්නෝබිල් බලාගාරය තුළ සිදු වුණු න්‍යෂ්ටික කාන්දුව ද අමතක කළ නොහැකිය.