රෝගයට හේතුකාරක වන දෙයින් වැළකීම ප්‍රධාන පිළියමයි | Page 2 | සිළුමිණ

රෝගයට හේතුකාරක වන දෙයින් වැළකීම ප්‍රධාන පිළියමයි

අායුර්වේද වෛද්‍ය ආචාර්ය කරුණාතිලක පෙන්වා දෙන අන්දමට මිනිස් සිරුර රෝගී විය හැකි ක්‍රම රාශියක් පවතී. ආහාර, විහරණ යනාදී වශයෙන් වන එම ක්‍රම අතරින් ආහාර හේතුවෙන් මිනිස් සිරුර රෝගී වන අන්දම කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කිරීම වැදගත්ය. ඒ ආහාර සිරුරට අත්‍යවශ්‍ය වන බැවිනි. ආහාර ගැනීමෙන් බොහෝ දෙනා රෝගී වන්නේ නොදැනුවත්කම හේතුවෙනි. අනෙක් අතට සෞඛ්‍ය සම්පන්න, වස විසෙන් තොර ආහාර සැමටම එකසේ ලබා ගැනීමද එතරම් පහසු දෙයක් වන්නේ නැත.

ආයුර්වේදයේ ආහාර මගින් වැලඳෙන රෝග හඳුන්වන්නේ 'විෂ' යනුවෙනි. විෂ යනුවෙන් මෙහිදී හඳුන්වන්නේ ශරීරයට ඇතුළු වන අහිතකර දේ ය. ආහාර මගින් ශරීරයට ඇතුළු වන විෂ ඍජුවම එක්වන්නේ රුධිරයටය. ආයුර්වේදයේ ශරීරය ගොඩ නැංවී ඇති ධාතු හතක් සාකච්ඡාවට ගැනෙන අතර රුධිරයට එක්වන විෂ මේ අංශ හතට එකවර එකසේ බලපෑම් කළ හැකි වේ. රක්තය නැතහොත් රුධිරය ශරීරයේ වැදගත්ම දෙය වන අතර එයට විෂ එක්වීම රෝග රැසක මූලාරම්භය සේ සැලකිය හැකිය. ආහාර මගින් රුධිරයට එක් වන විෂ හේතුවෙන් ඉහත කී ධාතු හතම විකෘති වී යා හැකිය. එලෙස විකෘති වන ධාතු අනුව නොයෙක් රෝග සෑදීම ද ඒ අනුව සිදු විය හැකිය.

ආහාර විෂ වීම මගින් මූලික වශයෙන්ම සිදු වන්නේ ලේ විෂවීමය. ඒ හේතුවෙන් සමේ රෝග, කුෂ්ඨ, වාත රක්ත, අසාත්මිකතා යනාදිය වැලඳිය හැකිය. ආහාරවල ඇති පුංචි විසකින් වුවද මෙවැනි රෝගී තත්ත්වයන් ඇති විය හැකිය.

ආහාර මගින් වැලඳිය හැකි තවත් ප්‍රබල රෝගී තත්ත්වයක් වන්නේ පිළිකාය. මේවා ආයූර්වේදයේ හැඳින්වෙන්නේ අර්බූද යනුවෙනි. විෂ සහිත ආහාර ගැනීම පිළිකා ඇතිවීමට මූලික හේතුවක් වේ.

ඇතැම් විෂ සහිත ආහාර දීර්ඝ කාලයක් ගැනීමෙන් මානසික ව්‍යාකුලතා වුවද ඇතිවිය හැකිය. දියවැඩියාව ද ප්‍රධාන වශයෙන්ම ආහාර හේතුවෙන් වැලඳෙන බෝ නොවන රෝගයකි. මීට අමතරව ආහාර මාර්ගයේ අසාත්මික රෝග, වකුගඩු ආශ්‍රිත රෝග, අක්මාව ආශ්‍රිත රෝග යනාදී වශයෙන් රෝග වර්ග ගණනාවක් ආහාර හේතුවෙන් වැලඳිය හැකිය.

මෙවැනි රෝග වැලඳීම වළක්වා ගැනීමට නම් කළ යුත්තේ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වීමය. ඒ සඳහා කළ යුතු ප්‍රධාන දෙය වන්නේ ස්වාභාවික පරිසරයේ ඇති ආහාර වර්ග අනුභව කිරීමයි. ආයුර්වේදයේ දක්වන පරිදි රෝග වැලඳීම වළක්වා ගැනීමට වන ක්‍රම අතරින් ප්‍රධාන ක්‍රමයක් වන්නේ රෝගයට හේතු කාරක වන දෙයින් ඉවත් වීමයි. ඒ අනුව සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම යනු ආහාර මගින් වැලඳෙන්නා වූ රෝග වළක්වා ගත හැකි ප්‍රධාන ක්‍රමෝපායයි.

එහෙත් මෙතැනදී සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමට නිර්දේශ කිරීමේදී වර්තමාන අධිවේගී සමාජ ක්‍රමය සහ කාර්යබහුල ජීවන රාටාවද මිනිසුන්ගේ ආර්ථික තත්ත්වයද සැලකිල්ලට ගත යුතුය.

ඒ හැර රසකාරක යෙදූ ආහාර අනුභව නොකිරීම, කල් තබා ගැනීම සඳහා රස කාරක යෙදූ ආහාර භාවිත නොකිරීම වැනි කරුණු කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. මීට අමතරව අපිරිසුදු මෙන්ම විෂ යෙදූ ආහාර අලෙවිය වැළැක්වීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුමය.

Comments