
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමත් සමඟ රටේම අවධානය දැන් යොමුව තිබෙන්නේ කුණු දෙසටය. කන්දක් මෙන් ගොඩ ගැසුණු මීතොටමුල්ල කසළ ගොඩ මෙන් තවත් කුණු කඳු තමන්ගේ ප්‍රදේශවලත් බිහි වනු ඇතැයි බියෙන් දැන් කොළඹ කුණු බාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් බස්නාහිර පළාත තුළ මහජන උද්ඝෝෂණ දියත් වෙමින් තිබේ. මෙයට හේතුව කුණු ප්‍රශ්නය සඳහා බලයේ සිටි ආණ්ඩු ලබා දීමට උත්සාහ කළ විසඳුම් එක තැන පල් වීමය. කුණු ප්‍රශ්නයට ස්ථිර විසඳුම් නොදී පැලැස්තර විසඳුම් දෙමින් බලයේ සිටි ආණ්ඩු ගෙන ගිය වැඩපිළිවෙළට නැවතීමේ තිත තබන්නට මීතොටමුල්ල කුණු කන්දම මුල පුරා තිබෙන අතර දැන් වගකිවයුත්තන් සියලු දනා ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට උත්සාහ දරන බවක් පෙනෙන්නට ඇත. කුණු අවිධිමත් ලෙස බැහැර කිරීම සම්බන්ධව රජයට චෝදනා කරන අය අතරින් කුණු ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ඉදිරිපත් කරන්නට උත්සහ ගන්නේ රටේ කීයෙන් කී දෙනාද? එවන් අතළොස්සක් වූ පිරිස අතරට එක්ව කසළ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් දෙන්නට උත්සාහ කළ ගම්පොළ දොළුව අඹකුඹුර පදිංචි විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න නිපදවූ කසළ, යාන්ත්‍රිකව කැබලි කර වෙන් කිරීමේ උපකරණය සම්බන්ධව දැන් රටේම අවධානය යොමුව තිබේ.
සිලින්ඩර් හයේ එන්ජිමක් සහිත බස් රථයකට සම්බන්ධ කර නිපදවා ඇති යන්ත්‍රය මගින් දවසකට ට්රැක්ටර් 300ක කසළ කැබලි කර වෙන් කර ගැනීමට හැකි බව විකුම් පවසයි. රුපියල් ලක්ෂ 37ක පමණ මුදලක් වැය කර නිපදවා තිබෙන මේ නව උපකරණය මෙරට දැවෙන ප්‍රශ්නයන් වන කසළ ගැටලුවට කදිම විසඳුමක් බව විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශයද පිළිගෙන තිබේ. එපමණක්ද නොව, එය තවත් වැඩි දියුණු කිරීම සඳහා සහයෝගය දැක්වීමට එකඟතාවද පළකර ඇත. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ යාන්ත්‍රික හා භ්‍රමණ අංශයේ කාර්මික නිලධාරියකු ලෙස කලක් සේවය කර තිබෙන විකුම් සිය යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය මෙසේ විස්තර කළේය.
"එන්ජිමක මූලික කාර්යය තමයි ගියර් පෙට්ටියට සම්බන්ධව තිබෙන ඩිෆරන්සල් එක කරකවන එක. මම මේ නිර්මාණය සඳහා ධාවන තත්ත්වයේ පවතින සිලින්ඩර හයක ධාරිතාවකින් යුත් දොර දෙකේ බස් රථයක් රුපියල් ලක්ෂ 10ක පමණ මුදලකට මිලදී ගත්තා. ඒකේ ගියර් පෙට්ටියට අමතරව තවත් ගියර් පෙට්ටියක් සම්බන්ධ කර එහි ආධාරයෙන් ඩිෆරන්සල් එකට අමතරව හයිඩ්‍රොලික් පොම්පයක් කරකවා ගත්තා. එමඟින් නිපදවෙන අධිපීඩන හයිඩ්‍රොලික් ධාරාව වැල්ව් බොක්ස් එකකට රැගෙන ඒම මූලික සිද්ධාන්තයයි. තැනින් තැනට ගොස් කසළ එකතු කිරීම සඳහා රථය තැනින් තැනට ධාවනය කිරීමට එක් අයකුත්, හයිඩ්‍රොලික් ධාරාව මගින් ක්‍රියාත්මක වන කසළ එකතු කිරීම, ඇඹරීම හා පිට කිරීම යන ක්‍රියාවලිය පාලනය කිරීම සඳහා තවත් අයකුත් අවශ්‍යයයි.
එන්ජිමේ ක්රෑන්ක් පුලිය මගින් අධිබැලැති බෙල්ට්එකක් ආධාරයෙන් කැබලි වූ කසළවලට රසායනික ද්‍රව්‍යය විදීමට හැකි අතර එමඟින් දුගඳ පැතිරීම වැළැක්වීමක් කසළ දිරාපත් වීමේ ශීඝ්‍රතාව වැඩි කිරීමත් සිදු කළ හැකියි. මෙහි කසළ එකතු වන බක්කිය දිගින් අඩි දහයක් සහ පළලින් අඩි පහක ප්‍රමාණයේ එකක් වන අතර, ඒ තුළ හයිඩ්‍රොලික් බලයෙන් අඟලේ ඝනකමින් යුත් වීල් 240ක් කැරකැවෙනවා. මේකට ත්‍රිරෝද රථයක් දැම්මත් අනික් පැත්තෙන් ඒක පිට්ටු වගේ කෑලිවලට වෙන් වෙලා එන්නේ. මම මේක සැලසුම් කළේ දිරන නොදිරන සියලු කසළ වර්ගීකරණයකට ලක් නොකර යන්ත්‍රයට දාලා කැබලි කරගන්නා ද්‍රව්‍යය ගෙලිඔය අක්කර 08ක මගේ පෞද්ගලික ඉඩමට රැගෙන ගොස් එහිදී සල්ලඩ කර එකිනෙක වෙන් කරගැනීමටයි. එම ක්‍රියාවලියත් යාන්ත්‍රිකව සිදුකෙරෙන අතර, තේ කර්මාන්ත ශාලාවක තේ හලන ආකාරයෙන් විශාල සල්ලඩයකට කැබලි වූ අපද්‍රව්‍ය යොමු කිරීම මුලින් සිදු කෙරෙනවා. එක් පැත්තකින් පොලිතීන් වැනි දේ ඇද ගන්න සුළං ආධාරයෙන් වැඩකරන උපකරණයක් ක්‍රියාත්මක වෙත්දී තවත් පැත්තකින් අධිබැලැති කාන්දමක් මගින් එහි ඇති යකඩ කැබලි ඇදගන්නවා. සල්ලඩය මගින් කුඩා ද්‍රව්‍ය පහතට වැටෙන අතර, ඒවා පොහොර ලෙස යොදා ගන්න පුළුවන්."
විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ උපදෙස් මත ඉංජිනේරු පර්යේෂණ ආයතනය මගින් මේ යන්ත්‍රය තවත් වැඩිදියුණු කිරීම සඳහා උපදෙස් ලබාදී තිබෙන අතර, ඒ යටතේ මූල්‍ය අනුග්‍රහය දැක්වීමටද ඔවුන් එකඟතාව පළකර තිබේ.
තමාගේ යන්ත්‍රය දිරාපත් නොවන ද්‍රව්‍යය, දිරාපත් වන ද්‍රව්‍යය හා ප්ලාස්ටික් වෙනම එකතු කර ප්‍රතිචක්‍රීකරණයකට යොමු කිරීමට හැකි අන්දමට වෙනස් කරන ලෙස ඉංජිනේරු පර්යේෂණ ආයතනය උපදෙස් දුන් බවත් ඒ අනුව අදාළ උපදෙස් මත තමන් යන්ත්‍රය යළිත් නිර්මාණය කරමින් සිටින බවත් විකුම් පැවසීය.