මිතුදමේ පහන් සිළු දල්වන කවියා මේමන් කවී | සිළුමිණ

මිතුදමේ පහන් සිළු දල්වන කවියා මේමන් කවී

පාලම

මේමන්වරුන් යනු බායි ජන කණ්ඩායමට අයත් පිරිසක් බව මා දැනගත්තේ ඔහුගෙන්ය. ලංකාව තුළ මේමන්වරුන්ගේ ඉතිහාසය ශත වර්ෂයක් තරම් ඈතට දිව යයි. මේමන්ලාගේ මුතුන් මිත්තන් ලංකාවට සංක්‍රමණය වූයේ උතුරු ඉන්දියාවෙනි. කාර්තියානා, ජුනාක්හට් හා බට්වා යන උතුරු ඉන්දියානු ප්‍රදේශ ඔවුන්ගේ මුල් බිම් වශයෙන් සැලැකේ. මේමන් කවීගේ පියා වන අබ්දූල් කරීම් අලී මොහොමඩ් ලකානා ලංකාවට ගොඩබැස්සේ නවසිය හතළිස් ගණන්වල ය. ඉන්දියන් පකිස්තාන් යුද්ධය අවසානයේ මේමන්ලාගේ පරපුර ජීවත් වූ ප්‍රදේශ ඉන්දියාවට අයත් විය. මේමන්ගේ පියා ඇතුළු පිරිස කලින් ලංකාවට පැමිණ සිටි මේමන්වරුන් සොයාගෙන කොළඹ ආවේ ඉන්දියාවට අයත් බිමක ජීවත් වීමට අකමැති වීම හේතුවෙනි.

මේමන් කවී යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුවද ඔහුගේ මුල් නම අබ්දූල් කරීන් අබ්දූල් ලකානා ය. මේමන්ලාගේ පරපුර සාහිත්‍ය කලාවන්ට රුචි කරන පිරිසක් නොවීය. රෙදිපිළි වෙළෙඳාමේ නිරත වූ ඔවුන්ගේ පරම්පරාවේ සාහිත්‍ය කලාව දෙසට යොමු වූ පළමුවැනි සාමාජිකයා ලෙස ඉතිහාසගත වන්නේ මේමන් ය. අද රත්රන් බඩු වෙළෙඳුන්ගේ පාරාදීසය බවට පත්ව තිබෙන සමුද්‍ර වීදියේ ආරම්භක වෙළෙන්දන් වූයේ රෙදිපිළි ව්‍යාපාරය සඳහා එ’දවස ලංකාවට පැමිණි මේමන්ලා‍ගේ මුතුන් මිත්තන් ය. ශූර වෙළෙන්දකු මතු නොව දැනමුත්තකු ලෙස ද ප්‍රසිද්ධව සිටි මේමන්ගේ පියාට ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන් විසින් පටබැඳ තිබූ කෙටි නම වූයේ අයිඩියා බායි (Idea Bahai) යන්න ය. මේමන්ලාගේ භාෂාවට අකුරු නොතිබූ බැවින් ඔහු ඉගෙන ගත්තේ දෙමළ බසිනි. මේමන් හාපුරා කියා අකුරු කරන්නට ගියේ ආමර් වීදියේ සාන්ත සෙබස්තියන් දෙමළ විදුහලටය. ඒ 1965 දීය. එහි වසර කිහිපයක් අධ්‍යාපනය ලැබූ ඔහු පසුව කොටහේන මැදි මහා විදුහලට ඇතුළු විය. මේමන්ගේ පියාගේ ව්‍යාපාර කටයුතු ‍අඩාළ වීම හේතුවෙන් ඔවුන්ට වසර කිහිපයක් මහනුවර ප්‍රදේශයට යෑමට ද සිදු විණි. ඒ කාලයේ මේමන් නුවර මහයියාවේ බදුර්දීන් මුස්ලිම් පාසලේ ශිල්ප කළේය.

මේමන්ගේ පියාට නුවර ජීවිතය ද ටික කලකින් එපා විය. දෙවසරකට පසු ඔවුහු යළි කොළඹ ආහ. මේමන් ද යළි පරණ පාසලට ම ඇතුළු විය. මේ වන විටත් මේමන්ගේ ජීවිතයට සරසවි බැල්ම වැටී තිබිණි. ඔහු දෙමළ බසින් පළ වන පත්තර හා පොත්පත් ආදිය කියවන්නට පුරුදු ව සිටියේය. මේ පුරුද්ද ඔහු තුළ හට ගත්තේ කෙසේදැයි කියන්නට ඔහු නොදනී. දෙමළ බස හඳුනා ගනිද්දීම ඒ බසින් ලියවුණු දෑ කියවීමේ ආශාවක් ඔහු තුළ උපන්නේය. පත්තරවලට අමතරව ඔහුගේ හිත ගියේ රහස් පරීක්ෂක කතා කියවන්නටය. මේමන් අවර ගණයේ රහස් පරීක්ෂක කතා කියවුණු දුටු ඔවුන්ගේ රෙදි කර්මාන්ත ශාලාවේ සිත්තරා ජීවිතය පිළිබඳ ගැඹුරින් විවරණය කරන නවකතා හා කෙටිකතා කියවන ලෙස මේමන්ට උපදෙස් දුන්නේය. මෙය ද තම සාහිත්‍ය චාරිකාවේ වැදගත් සංධිස්ථානයක් ලෙස මේමන් සලකයි. ඔවුන්ට දෙමළ බස ඉගැන් වූ එම්. අෂ්රොෆ් ගුරුතුමා නාට්‍යකරුවෙක් විය. ඔහුගේ ආභාසය ද මේමන්ගේ කලා රුචිය තවත් නංවාලීමට හේතු විය. මේමන් පාසල් වැඩ අතපසු කරමින් පොත් පත්තර කියවන්න විය. මට්ටක්කුලියේ පුස්තකාලයට බැඳුණේ ය. පාසලේ පාඩම් පොත් ටික එක හුස්මට කියවා පැත්තකට දැමීමට ඔහු පුරුදු වූයේ ඒවායේ ගත යුතු වැදගත් යමක් නැතැයි සිතමිනි. මෙම වෙනස දුටු පියතුමා මේමන් නොමඟ යාවි යයි බියෙන් ඔහුට අවවාද කළේ ය. තම ප්‍රජාව ව්‍යාපාර කටයුතු සඳහා මිස කලාවට උපන් පිරිසක් නොවන බව පියාණෝ මේමන්ට තදින්ම කීහ. මේමන්වරුන් නමින් ජන කොටසක් සිටින බව ලොවට කියාපෑමේ පිණිස මාර්ගයක් ලෙස සාහිත්‍ය කලාව උපයෝගී කරගත යුතු යයි සිතූ මේමන් පියාගේ බාධා කිරීම් නොතකා දිගට ම ලිවීය.

ලේඛන කලාව කෙතරම් ඔහුගේ සිතට කාවැදුණේ ද යත් මේමන්ට අධ්‍යාපනය එපා විය. අට වසරේදී ඔහු පාසලට ආයුබෝවන් කීවේය. මේමන් අධ්‍යාපනය දුටුවේ සිය නිර්මාණ කුසලතාවට කිසිදු අනුබලයක් නොදෙන ගතානුගතික ඒකාකාරී ක්‍රියාවලියක් ලෙස ය. පවුලේ ව්‍යාපාරයට හවුල් වීමට ද ඔහුගේ රුචියක් නොවිණ. ගනුදෙනුවලදී මිනිසුන්ගේ සිත් රිදවීමට සිදු වීම ව්‍යාපාරයට ඍජු ව ම සම්බන්ධ නොවී සිටීමට බලපෑ ප්‍රධාන හේතුව විනැයි මේමන් මෑතකදී මා හා පැවැසීය. බැහැර සිට ව්‍යාපාරයට උදවු කිරීමට ඔහු කැමැත්ත පළ කළ විට පියා ඊට විරුද්ධ විය. සිය අදහසට සොහොයුරා නම්මා ගැනීමට අවසානයේ මේමන් සමත් විය.

මේමන්ගේ කවියක් ප්‍රථම වරට පුවත්පතක පළ වූයේ 1974 දීය. තමා දෙමළ කවියකු ලෙස හඳුන්වා දීමේ කැමැත්ත ඇතිව ඔහු එම කවිය නම් කළේ ‘මගේ හුස්ම පොද දෙමළ බසයි’ යනුවෙනි. එවකට දෙමළ සාහිත්‍යයේ ජනප්‍රිය සඟරාවක් වන ‘මල්ලිකෛ’ සංස්කාරක ඩොමිනික් ජීවා මේ කවිය අගය කළේ තරුණ පොහොට්ටුවක් සේ මේමන් හඳුන්වමිනි. ඩොමිනික් ජීවාගේ ඇරියුමෙන් වාමවාදී දෙමළ ලේඛකයන් විසින් එම වකවානුවේ පිහිටුවා තිබූ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී ලේඛක සංගමයට බැඳුණු මේමන් ටික කලකින් ම එහි කොළඹ ශාඛාවේ ලේකම් ලෙස ද පත් විය. විධිමත් අධ්‍යාපනය අත්හළ ද අවිධිමත් අධ්‍යාපනය යටතේ සිය දැනුම වගා කරගැනීමට කල්පනා කළ මේමන් විවෘත විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වී තොරතුරු සන්නිවේදනය, පරිගණක ශිල්පය, සමාජ විද්‍යාව හා ඉංග්‍රීසි භාෂාව වැනි විෂයයන් සඳහා ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීය.

ඩොමිනික් ජීවා වැනි පරිණත ලේඛකයන් සමඟ පැවැති ඇසුරත්, ප්‍රගතිශීලී ලේඛක සංගමයේ වාම දෘෂ්ටියත් මේමන්ගේ සාහිත්‍ය ජීවිතයට සේම පෞද්ගලික ජීවිතයටත් දැඩි බලපෑමක් කළේය. පීඩිතයන් වෙනුවෙන් සටන් කිරිම, සූරා කෑමට එරෙහි වීම හා වාර්ගික සුහදත්වය මේමන්ගේ නිර්මාණවලට බොහෝ විට පාදක වූ තේමාවන් විය. එතෙක් මෙතෙක් ඔහු අතින් ලියැවී ඇති පහත සඳහන් පොත් පෙළ ඊට සාක්ෂි සපයයි. කවි රචනයට වැඩි රුචියක් දක්වන මේමන් මේ වන විට කාව්‍ය සංග්‍රහ 6ක් පළ කර ඇත. ඒවා අනුපිළිවෙළින් මෙසේය. යුහරගංගල් (යුගයේ සංගීතය, 1976) හිරෝෂීමවින් හීරොක්කල් (හීරෝෂීමා වීරයෝ, 1982) ඉයන්දිරා සූරියන් (යාන්ත්‍රික සූර්යයා, 1984) නාලයායි නොරික්ය ඉන්රිල් (අදින් හෙටට, 1990) මේමන්ගේ කාව්‍ය සංග්‍රහ දෙකකට රාජ්‍ය සම්මාන ද හිමි වී තිබේ. මීන්ඩුම් වාසිප්පතාට්කහ (නැවත ජිවත් වීම පිණිස) කෘතියට 1999 දී හා උනක්කු එදිරාන වන්මුරෙයි (නුඹට එරෙහි භීෂණය) කෘතියට 2002 දීත් වශයෙනි. මේමන්ගේ සාහිත්‍ය සේවය අගයමින් සංස්කෘතික අමාත්‍යාංශය 1990 දී ‘කලා භූෂණ’ සම්මානයෙන් ද, 1992 දී මුස්ලිම් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය Poetic Star සම්මානයෙන් හා නාවලපිටිය ආගමික හා සාහිත්‍ය කවය ‘පාරතී’ සම්මානයෙන් ද මේමන්ට ප්‍රණාමය දක්වා ඇත.

විචාරකයකු හා ශාස්ත්‍රීය ලිපි රචකයකු ලෙස ද දෙමළ සාහිත්‍ය ක්ෂේත්‍රයේ ඔහු නමක් දිනා සිටී. ඔරු වාසකනින් පිරාති (පාඨකයකුගේ සටහන්, 2010) මෝලි වේලි කඩන්තු (භාෂා මායිමෙන් ඔබ්බට, 2012 - මෙම කෘතිය දෙමළ බසට පරිවර්තනය වූ සිංහල නවකතා 12ක් අලළා කළ විචාරයක් වන අතර දෙමළ බසින් සිංහල නවකතා පසුබිම් කරගෙන ලියවුණු එකම විචාර කෘතිය ලෙස ද සැලකිය හැකිය.)

මේමන් මෙලොව එළිය දුටුවේ 1956 අප්‍රේල් 29 දාය. ඔහුගේ හැට වන ජන්ම දිනය නිමිත්තෙන් 2017 මැයි මස 6 වැනිදා වැල්ලවත්තේ දෙමළ සංගම් ශාලාවේ පැවැත්වීමට නියමිත මේමන් කවී ඇගයුම් උලෙළේදී ඔහුගේ නවතම රචනා කෘති දෙක හා කාව්‍ය සංග්‍රහය ද ජනගත කරන්නට කටයුතු යොදා ඇත. දශක හයක් පුරා මේමන් ඉටු කළ අනගි සාහිත්‍ය මෙහෙවර වෙනුවෙන් ඔහුට සුබ පැතීමට ද මෙය අවස්ථාවක් කර ගනිමු.

මේමන් කවීගේ සාහිත්‍ය ක්‍රියාකාරිත්වයේ වටිනාකම වනුයේ ලේඛකයකුගේ භූමිකාවට පමණක් සිය කාර්යභාරය සීමා නොකිරීමයි අද අපට දෙමළ හා මුස්ලිම් ලේඛකයන් නියෝජනය කරන ජාතික මට්ටමේ සාහිත්‍ය ක්‍රියාධරයකු සොයා ගැනීමට අවශ්‍ය නම් නිරායාසයෙන්ම මතකයට නැඟෙනුයේ ඔහුගේ නම ය. ඔහු වෙත දක්නට ලැබෙන ඒ සුවිශේෂී ගුණය නිසාම ය. ජාතික මට්ටමේ ලේඛක හා සමාජ සේවා සංවිධාන ගණනාවකම මේමන් කවීගේ ක්‍රියාකාරිත්වය දක්නට ලැබේ. ‘සිංහල දෙමළ ලේඛක එකමුතුව’, ‘ලංකා ලේඛක සංවිධානය’, ‘තුරාවයි විශ්වනාදන් සම්මාන ප්‍රදාන කමිටුව’, ‘ගොඩගේ සාහිත්‍ය කමිටුව’, ‘අල්හාජ් හසීම් ඕමාර්ගේ ‘පුලවරර් පූනා සංවිධානය’ ආදි වශයෙන් ඔහු වගකීම් දරන සංවිධාන රැසකි.

මේමන්ගේ කවි සිංහල, ඉංග්‍රීසි හා රුසියානු බස්වලට පරිවර්තනය වී තිබෙන අතර සපරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් මේමන්ගේ කවි පිළිබඳ නිබන්ධනයක් ද සකසා ඇත. සිනමා විචාරකයකු ද වන ඔහුගේ ඇතැම් සිනමා විචාර හා සාහිත්‍ය විචාර ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද ප්‍රකට සඟරාවල පළ වෙයි. ඩොමිනික් ජීවාගේ ‘මල්ලිකෛ’ සඟරාවට ‘පාඨකයකුගේ මිමිනුම’ නමින් මේමන් ලියූ ලිපි පෙළ ඉතා ජනප්‍රිය විය. ඔහුගේ අලුත්ම සාහිත්‍ය කාර්යය වන්නේ පශ්චාත් නූතනවාදය පිළිබඳ පොතක් ලිවීමය. කැකිරාවේ සහනා ලේඛිකාව පවසන ආකාරයට මේමන්ගේ විශිෂ්ට කුසලතා ප්‍රකට කරන කවි වන්නේ ‘සුනාමි 26’ හා ක්‍රිෂ්ණමූර්තිගේ දාර්ශනික සිතුවිල්ලක් පදනම් කරගෙන ලියූ ‘යුද්ධය තුළ මම’ නම් කවි දෙක ය.

මේමන් විවාහ ජීවිතයට පිවිසුණේ 1976 දීය. එවිට ඔහුගේ වයස අවුරුදු 19 කි. මේමන්ගේ අත ගත් ෆරීනා රසාක්ට වයස අවුරුදු 17 කි. ඔවුන්ගේ පෙම් සබඳතාව ගොඩනැඟුණේ එකල මට්ටක්කුලියේ පිහිටා තිබූ මේමන්ලාගේ රෙදි කම්හල නිසාය. එම කම්හල අසල පදිංචිව සිටි ෆරිනා සමඟ මේමන් පෙම්දමක පැටලිණි. මුස්ලිම් තරුණියක වූ ඇය සමඟ විවාහ වීමට මේමන්වරු ඉඩ නොදුන්හ. මේමන්වරයකු හා විවාහ වනවාට මුස්ලිම්වරු ද එරෙහි වූහ. එහෙත් පෙම් යුවළ දැඩි ස්ථාවරයක සිටියහ. අවසානයේ දෙපාර්ශ්වයේම කැමැත්ත දිනා ගැනීමට ඔවුහු සමත් වූහ. දැන් මේමන් ෆරීනා යුවළ දියණියන් දෙදෙනකුගේ හා මුනුපුරන් හතර දෙනකුගෙන් සමන්විත පවුලක ජ්‍යෙෂ්ඨයෝ වෙති.

මේමන් කවි ශක්‍යතා රැසකින් පොහොසත් නූතනවාදී දැක්මක් හා ප්‍රගතිශීලි මතවාදයක් සහිත ලේඛකයෙකි. ජාතික එකමුතුකමට හානි කරන කිසිදු සාහිත්‍ය හෝ දේශපාලන ව්‍යාපාරයකට මේමන් කිසි විටෙකත් අනුබල නොදෙනු ඇත. ශ්‍රී ලාංකේය සාහිත්‍යයක් ගොඩනැඟීමේ දිසාවට යන ගමනේදී ඔහු දැවැන්ත කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි යනු අපේ විශ්වාසයයි.

Comments