
විමර්ශන
කර්තෘ සිරිසමන් විජේතුංග
සුබෝධි ප්‍රකාශනයකි.
මිල - රු. 300.00
හිටපු පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ විද්‍යාපති සිරිසමන් විජේතුංග වර්තමාන ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයන් අතර බෞද්ධ සංස්කෘතිය හා සම්බන්ධ පුරාස්ථාන පිළිබඳව අපේ දැනුම නිරතුරුව යාවත්කාලීන කිරීමෙහි නිරත කෘතහස්ත ලේඛකයෙකි. ලාංකේය පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුළ මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගෙන් ආරම්භව මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක, මහාචාර්ය ශිරාන් දැරණියගල, මහාචාර්ය අබය ආරියසිංහ වැනි කීර්තිධර මහා විද්වතුන් විසින් ඉදිරියට ගෙන ආ ශාස්ත්‍රීය සම්ප්‍රදායෙහි අභිමානවත් උරුමකරුවකු වූ විෙජ්තුංග මහතා පුරාවිද්‍යාව සහ සංස්කෘතිය පිළිබඳ දැනුම ජනතාව වෙත ගෙන යාමෙහි ලා සමත්කම් විදහා දක්වන ප්‍රවීණ ලේඛකයෙකි. භාරතීය සහ ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා ගවේෂණ ඇසුරෙන් ග්‍රන්ථ රාශියක් රචනා කර ඇති එතුමාගේ නවතම ග්‍රන්ථය ගෝතම බුදුරජාණන් වහන්සේගේ ඓතිහාසිකත්වය විෂයෙහි මෑතකදී පුරාවිද්‍යාවෙන් මතු වූ ප්‍රබලතම සාධකයක් පිළිබඳව සිංහල පාඨකයන් වෙත සන්නිවේදනය කරනු වස් සම්පාදනය කර ඇත. පුරාවිද්‍යාව මෙන් ම මානව විද්‍යාව සහ බෞද්ධ ශිෂ්ටාචාරය හදාරන විද්‍යාර්ථීනට ද ඒ පිළිබඳ උද්‍යෝගයක් දක්වන පොදු පාඨකයනට ද අර්ථවත් වන පරිද්දෙන් මෙම අනර්ඝ කෘතිය ඉදිරිපත් කර ඇත.
පෙරදිග සංස්කෘතියෙහි දීප්තිමත් ප්‍රභාලෝකය වූ ගෝතම බුදුරජාණන් වහන්සේගේ මුලින් ම කියැවූ ඇතැම් බටහිර ලේඛකයෝ බෞද්ධ සාහිත්‍යයෙහි එය ඉදිරිපත් කර ඇති චමත්කාරජනක ප්‍රවාදරූපී ස්වභාවය හේතුවෙන් උන්වහන්සේ ඓතිහාසික පුද්ගලයකු නොව සූර්ය මිථ්‍යාවේ ම එක්තරා ස්වරූපයක් බව පළ කළහ. එහෙත් බුදුරදුන් පිළිබඳ ඓතිහාසික යථාතත්වය ශාස්ත්‍රීයව තහවුරු කරන ලද්දේ ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් විසිනි. භාරතයේ සිදු වූ හින්දු සහ මුස්ලිම් ක්‍රියාකාරකම් හේතුවෙන් අමතක කර වනගතව විනාශ වන්නට හැර පැවති බෞද්ධ පුරාස්ථාන සොයා ගැනීම ඔවුන් අතින් ඉටු වූ මහඟු සේවයකි.
පැරණි ඉතිහාස පොත්වලින් මෙන් ම චීන සංචාරකයන්ගේ ගමන් වාර්තාවලින් හෙළි වන තොරතුරු සහ ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේදී ධර්මාශෝක අධිරාජයාණන් විසින් පිහිටුවූ ශිලාලේඛන ඇසුරෙන් ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් ප්‍රමුඛ පිරිස විසින් බුද්ධචරිතය හා සම්බන්ධ වූ ඓතිහාසික ස්ථාන නැවත හඳුනා ගන්නා ලදී. මුලින් ම ලුම්බිනිය සොයා ගන්නා ලද්දේ එම ගවේෂණයන්ගේ ප්‍රතිඵලයක් වශයෙනි. ඇලෙක්සැන්ඩර් කනිංහැම්ට අතිරේකව බුදුරදුන් උපන් ස්ථානය වූ ලුම්බිනිය හඳුනා ගැනීමෙහිලා දායක වූවන් ලෙස ඇලෝසියස් ඒ පූෂේ, ජේම්ස් ප්‍රින්සෙප්, රිස් ඩේවිඩ්ස්, වින්සන්ට් ස්මිත්, බී.සී. ලෝ, ඩී.ආර්. භාණ්ඩාර්කාර්, කේ.එම්. ශ්‍රීවාත්සව, රිජාල් බාබු, ඩී.එස්. අග්‍රවාල් සහ පී.ඩී. මුඛර්ජි යන අයගේ නම් ද සැමරිය යුතු බව කතුවර සිරිසමන් විජේතුංග මහතා සටහන් කරයි. එමෙන් ම මුළුමනින් ම අමතකව තිබුණු කපිලවස්තුව සොයා ගැනීමෙහිලා එසේ ලුම්බිණිය හඳුනාගෙන තිබීම පෙප්පෙ මහතාට මහෝපකාරී වූ අයුරු ද කතුවරයා දක්වයි. එමෙන් ම දඹදිව බෞද්ධ පුරාස්ථානයන් අබෞද්ධ සතුරු පිරිස් විසින් විනාශ කර දැමීමේ ක්‍රියාවලියට එරෙහිව දිවි දෙවනකොට සටන් කළ අනගාරික ධර්මපාල සිරිමතුන්ගේ අමරණීය සේවය පිළිබඳව අවස්ථාවෝචිත පරිදි කෘතවේදීව අගය කිරීමට අමතක නොකිරීම ද අගය කළ යුතු ය.
සිරිසමන් විජේතුංග මහතාගේ ග්‍රන්ථයෙහි විශේෂත්වය නම් හුදෙක් ලුම්බිනිය පිළිබඳ පුරාවිද්‍යා ගවේෂණය පිළිබඳ තොරතුරු වාර්තාවක් බවට එය සීමා නොකර සිද්ධාර්ථ කුමාරෝත්පත්තියේ පටන් ම ඓතිහාසික සහ සාමාජික තොරතුරු ද අනතුරුව ලුම්බිනි පුද බිම අන්තර්ජාතික බෞද්ධයන්ගේ ගෞරවෝපහාරයට ලක් වෙමින් පැවති ක්‍රමයෙන් අමතක වී යෑම පිළිබඳ පුරාවෘත්තය ද සවිස්තරව සහ විමර්ශනාත්මකව ඇතුළත් කර තිබීමයි. විශේෂයෙන් ම ධර්මාශෝක රාජ සමය පිළිබඳව කරුණු දක්වද්දී එතුමන්ගේ අභිලේඛන ආශ්‍රිත සන්නිවේදන කටයුතු පිළිබඳව සාමාන්‍ය පාඨකයනට ආගන්තුක විය හැකි බොහෝ වැදගත් තොරතුරු ඇතුළත් කර තිබේ. මේ සමස්ත කාල පරිච්ඡේදය තුළ බෞද්ධ සංස්කෘතික තොරතුරු අවබෝධ කර ගැනීමෙහිලා මහෝපකාරී වන ශිලා ලේඛන සහ පුරාවස්තූන්ගේ ඡායාරූප සහ භූමි සිතුවම් ද නොමසුරුව ඇතුළත් කර තිබීම වැදගත් ය.
ලුම්බිනියේ පුරාවිද්‍යා ගවේෂණයෙහි අතිශයින් ම වැදගත් සොයා ගැනීම් සිදු වී ඇත්තේ ඉතා මෑත කාලයේදී ය. සිරිසමන් විජේතුංග මහතාගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ එම මෑතකාලීන ගවේෂණයන්ගෙන් මතු වූ තොරතුරු සවිස්තර ලෙස සිංහල පාඨකයන් හමුවේ තැබීමයි. බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්ය රොබින් කනිංහැම් විසින් 2011 සිට ආරම්භ කරන ලද කැණීම් කටයුතු මඟින් මායාදේවි විහාරය සොයා ගැනීම පිළිබඳව එතුමා අප සවිස්තර ලෙස දැනුවත් කරයි. අන්තර්ජාලයෙන් හෝ වෙනත් එබඳු තොරතුරු මූලයන්ගෙන් පවා අනාවරණය නොවූ වැදගත් තොරතුරු සම්භාරයක් මේ පොත මඟින් දැනගත හැකි වීම සිංහල පාඨකයනට හිමි වන විශේෂ ලාභයක් බව සඳහන් කළ යුතු ය.
දිව්‍යාවදානය නම් පැරණි සංස්කෘත ග්‍රන්ථයේ දැක්වෙන පරිදි මහාමායා දේවිය සිදුහත් කුමරුන් ප්‍රසූත කළ වෘක්ෂය අසල ධර්මාශෝක රජතුමා විසින් ශිලාලිපියක් සහිත ස්තම්භයක් පිහිටුවන ලද අතර රජතුමාගේ ධර්මාචාර්ය වරයකු වූ උපගුප්ත හිමියන් විසින් ඒ වටා ගල්වැටක් කරවන ලදී. ක්‍රි.වර්ෂ පස්වන සියවසේදී එහි පැමිණි චීන සංචාරක ෆාහියන් හිමියෝ එම වෘක්ෂය සහ ගල්ටැඹ මෙන් ම මහාමායා දේවිය ස්නානය කළ පොකුණ ද තමන්ට දක්නට ලැබුණු බව වාර්තා කළහ. හත්වන සියවසේ දී භාරතයට පැමිණි හ්ශ්චිං ත්සාං හිමියෝ ද තමන් ඒ සියල්ල දුටු බව මෙන් ම ඒ වනවිට ස්තම්භය මුදුණේ වූ අශ්ව රූපය කඩා වැටී තිබුණ බව ද සඳහන් කළහ. 1977 - 78 සමයෙහි කළ කැණීම් වලදී එම අශ්ව රූපය ලැබී සොයා ගන්නා ලදී.
ඉතා වැදගත් ම කැණීම් සිදුවූයේ 2011 – 2013 අතර දී මහාචාර්ය රොබින් කනිංහැම්ගේ මූලිකත්වයෙන් බව දක්වන විජේතුංග මහතා එම අවස්ථාවේදී මතු වූ දැව කොටස් විද්‍යාත්මක පරීක්ෂණවලට ලක් කිරීමෙන් සනාථ වූ වැදගත් ඓතිහාසික කරුණු පිළිබඳ සමාලෝචනයක් ඊට පෙර කරන ලද කැනීම් පිළිබඳ යුනෙස්කෝ වාර්තා ද සමඟ ඉදිරිපත් කරයි. එම ස්ථානය බෝසතුන් උපන් තැන ඉදි කරන ලද මායාදේවී විහාරය බව පුරා විද්‍යාඥයන්ගේ මතය වන අතර එහි සත්ව බිලි පූජා ආදිය සිදු නොවූ බවට සාධක ඇති හෙයින් බ්‍රාහ්මණික සිද්ධස්ථානයක් නොවන බව ද තහවුරු කර ඇත. වඩාත් ම වැදගත් කරුණ වන්නේ එය අයත් සමඟ ක්‍රිස්තු පූර්ව හයවන සියවස බව විද්‍යාත්මකව තහවුරු කර තිබීමයි. එයින් සනාථ වූයේ සිදුහත් කුමරුන්ගේ උපත සිදුවූයේ ථෙරවාදී වාර්තාවන්හි දැක්වෙන අන්දමට ම ක්‍රි.පූර්ව හයවන සියවසේ බව ය.
ලුම්බිනියේ මායාදේවි විහාරය සොයා ගැනීම සහ එහි කාලනිර්ණය නිවැරැදිව වාර්තා කිරීම බෞද්ධ බැතිමතුන්ට මෙන් ම බෞද්ධ ඉතිහාසය සහ ශිෂ්ටාචාරය හදාරන කාට වුව ද අතිශයින් වැදගත් සංසිද්ධියක් බව ඉතා පැහැදිලි ය. මෙය බුදුරජාණන් උප්පැන්න සහතිකය සොයා ගත්තා වැනි උත්කෘෂ්ට සාධනයක් බව ඇමෙරිකාවේ කීර්තිමත් මහාචාර්යවරයකු වූ ලුවී ලැන්කැස්ටර් ප්‍රකාශ කළේ එහෙයිනි. වෙනත් කිසිම ශාස්තෘවරයකුගේ ජීවිතය පිළිබඳව මේ තරම් නිශ්චිත පුරාවිද්‍යාත්මක සාධකයක් ලැබී තිබේද? මේ අතිශය වැදගත් ගවේෂණය පිළිබඳ සියලු තොරතුරු සම්පූර්ණ ඉතිහාස කථාව ද සමඟ මෙසේ ඉදිරිපත් කිරීමෙන් සිරිසමන් විජේතුංග මහතා කර ඇත්තේ අගනා ශාස්ත්‍රීය සේවයකි. මේ හා සම්බන්ධ මාතෘකා කීපයක් පිළිබඳව කතුවරයා විසින් පුවත්පත් සඟරා සඳහා සැපයූ ලිපි කීපයක් උප ග්‍රන්ථයක් වශයෙන් එක් කර තිබීම පොතේ අගය තවත් වැඩි කරයි.