
ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති,
ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ
ජාතික පුස්තකාලයේ වසර විසිහතක ඉතිහාසය සමරමින් සිදු කළ සැමරුම් උලෙළේදී මේ රටේ ශාස්ත්‍රෝන්නතිය වෙනුවෙන් මහඟු සේවාවන් සිදු කළ විද්වත් පිරිසකගේ ආලේඛ්‍ය චිත්‍ර ඵලක නිරාවරණය කිරීමක් සිදුවුණා. ඒ පිළිබඳ ව පැහැදිලි කිරීමක් කළොත්?
මේ රටේ ඉහළ ම විද්වතුන් රැසකගේ ඡායාරූප ආලේඛ්‍ය චිත්‍රයට නඟා ජාතික පුස්තකාලයේ ඒ වනවිටත් ප්‍රදර්ශනය කරමින් තිබුණා. ඒ අතර විශේෂ පුද්ගලයන් කීපදෙනකුගේ චිත්‍රවල අඩුවක් පැවතුණා. අපි ඒ විද්වතුන්ගේ චිත්‍ර ප්‍රවීණ චිත්‍ර ශිල්පී කරුණාසිරි විජේසිංහයන් ලවා නිර්මාණය කරවා ජාතික පුස්තකාලයේ විසිහත් වැනි සංවත්සරය දින ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළා. එසේ චිත්‍රයට නැඟීම සිදු වුණේ ආනන්ද කුමාරස්වාමි, මාර්ටින් වික්‍රමසිංහ, සෙනරත් පරණවිතාන, ජී.බී.සේනානායක සහ ආතර් සී ක්ලාක් යන විද්වතුන්ගේ ඡායාරූපයි. මේ චිත්‍ර ජාතික පුස්තකාලයේ පහළ මාලයේ ප්‍රදර්ශනය කරනවා. ඒ වගේ ම මේ වසරේත් තවත් විද්වතුන්ගේ ඡායාරූප කීපයක් මෙසේ ආලේඛ්‍ය චිත්‍රයට නඟා ප්‍රදර්ශනය කිරීමට අපි කටයුතු සම්පාදනය කරනවා.
මේ විද්වත් පිරිස පමණක් තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබේද?
ආචාර්ය ආනන්ද කුමාරස්වාමි කියන්නේ ශ්‍රී ලංකවේ බිහි වූ විශිෂ්ටතම ප්‍රාඥයෙක්. එතුමා ශ්‍රී ලංකාවේ උපන් ද්‍රවිඩ ජාතිකයෙක්. එංගලන්තයේ වැඩිදුර අධ්‍යාපනය ලබන එතුමා පසුව ශ්‍රී ලංකාවේ පළමු භූගර්භ විද්‍යාඥයා ලෙස කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ පමණක් නොවෙයි, ආසියාවේ කලාව පිළිබඳවත් එතුමා දීර්ඝ කාලීන පර්යේෂණ සිදු කළා. කලාව මෙන් ම ආගම දර්ශනය වැනි විෂය පිළිබඳවත් එතුමා අධ්‍යයනය කළා. හින්දු දහම සහ බුද්ධ ධර්මය පිළිබඳවත් ගැඹුරින් අධ්‍යයනය කර පර්යේෂණ කෘති පළ කළා. මේ කෘති බොහොමයක් ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි මේ වනවිට පළවී තිබෙන්නේ. මධ්‍යකාලීන සිංහල කලා කෘතිය වැනි කෘති පමණයි සිංහල බසින් දක්නට ලැබෙන්නේ. කෙසේ නමුත් ආචාර්ය ආනන්ද කුමාරස්වාමි කියන්නේ අපට ආඩම්බර විය හැකි අන්තර්ජාතික මට්ටමේ ශ්‍රී ලාංකික විද්වතෙක්.
මාර්ටින් වික්‍රමසිංහයන් කියන්නේ පසුගිය ශතවර්ෂයේ ශ්‍රී ලංකාවේ ඉහළ ම ලේඛකයායි. බුද්ධිතෙක්, සාහිත්‍ය නිර්මාණකරුවෙක් මෙන් ම විචාරකයකු ලෙසත් එතුමා හඳුන්වන්න පුළුවන්. එතුමාගේ කෘති විශාල ප්‍රමාණයක් අන්තර්ජාතික වශයෙන් ඉංග්‍රීසි, රුසියානු සහ ප්‍රංස භාෂාවන්ට පරිවර්තනය වී තිබෙනවා.
සෙනරත් පරණවිතානයන් කියන්නේ ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පුරාවිද්‍යාඥයා මෙන් ම ඉතිහාසඥයායි. ජී.බී. සේනානායකයන් මෙ රටේ ඉහළ ම නවකතාකරුවායි. ඔහු පිළිබඳවත් මේරටේ අවශ්‍ය ප්‍රමාණයට අධ්‍යයනය වී නැහැ. ඒ වගේ ම ආතර් සී. ක්ලාක් බ්‍රිතාන්‍ය ජාතිකයකු වුණත් ශ්‍රී ලාංකිකයකු ලෙසයි සැලකෙන්නේ. ඔහු තමන්ගේ නිජ භූමිය ලෙස තෝරා ගන්නේ ශ්‍රී ලංකාවයි. ඔහු චන්ද්‍රිකා තාක්ෂණය ලොවට හඳුන්වා දුන් විද්‍යාඥයා පමණක් නොවෙයි විද්‍යා ප්‍රබන්ධ රචනාකළ සාහිත්‍යකරුවෙක්. අපට සිටි ශ්‍රී ලාංකික ඉහළ ම ඉංග්‍රීසි ලේඛකයා වන්නේත් ඔහුයි.
ජාතික පුස්තකාලය පිළිබඳ ව ජනතාව සතු දැනුම තවමත් තිබෙන්නේ ඉතා පහළ තැනක බවයි දක්නට ලැබෙන්නේ?
ජාතික පුස්තකාලය ලෙස අපි දෙස් විදෙස් මෙන් ම සිංහල ඉංග්‍රීසි දෙමළ ආදී ලක්ෂ දහයක පමණ අති විශාල පොත් ප්‍රමාණයක් පාඨකයා වෙනුවෙන් සංරක්ෂණය කරනවා. ශ්‍රී ලංකාවේ දැනට සොයා ගත හැකි විශාලතම පොත් ප්‍රමාණය මෙයයි. එමෙන් ම සෑම වසරක ම අපි දෙස් විදෙස් වශයෙන් විශාල පොත් ප්‍රමාණයක් මිලදී ගන්නවා. කෝෂ ග්‍රන්ථ, නිර්මාණ ග්‍රන්ථ, ඉතිහාස ග්‍රන්ථ ආදී විශාල ග්‍රන්ථ ප්‍රමාණයක් ඊට ඇතුළත් වෙනවා. ග්‍රන්ථ නාමාවලි සකස් කිරීම, පුස්තකාල උපදේශන සේවාව මෙන් ම පාසල් හා ප්‍රාදේශීය පුස්තකාලයන්ට ආධාර ලබා දීමත් මේ අතර සිදු වෙනවා. ඒ වගේ ම අන්තර්ජාතික පොත් අංකගත කිරීම (ISBN) වාර ප්‍රකාශන අන්තර්ජාතික අංකගත කිරීමත් (ISSN) සංගීත නිර්මාණ අන්තර්ජාතික අංකගත කිරීමත් (ISMN) සිදු වන්නේ ජාතික පුස්තකාලයෙන්.
මේ රටේ වසරකට බිහි වන කෘති සංඛ්‍යාව පිරික්සා බලනවිට දක්නට ලැබෙන්නේ ශාස්ත්‍රීය පර්යේෂණ කෘති පළවන්නේ ඉතා අවම ප්‍රමාණයෙන් බවයි. එහෙත් රටක ශාස්ත්‍රෝන්නතියක් ඇතිවන්නේ එබඳු පර්යේෂණ බිහි වීමෙනුයි. ශාස්ත්‍රීය පර්යේෂණ කෘති වැඩි වශයෙන් බිහි කිරීම උදෙසා ජාතික පුස්තකාලයට වැඩපිළිවෙළක් තිබෙනවාද?
අද ශාස්ත්‍රීය පිපාසය තිබෙන්නේත් ඉතා අවම මට්ටමකයි. විශ්වවිද්‍යාලය හා උගතුන් මූලිකවී මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. ග්‍රන්ථ නාමාවලි නිර්මාණය කරනවිට අපත් දකිනවා, ශාස්ත්‍රීය කෘති අඩුවී සැහැල්ලු නිර්මාණ කෘති එන්න එන්න ම වැඩි වශයෙන් පළ වන බව. ඒ නිසා අපි පසුගිය වසරේදී ශාස්ත්‍රීය පර්යේෂකයන් දිරිමත් කිරීමට ශාස්ත්‍රීය කෘති සඳහා අපේ ප්‍රකාශන ව්‍යාපෘතිය මඟින් අනුමතවන කෘතිවලට රුපියල් ලක්ෂ දෙකක උපරිම ආධාරයක් ලබා දීමට අලුතෙන් තීරණයක් ඇතුළත් කළා. ඒ වගේ ම මේ ව්‍යාපෘතියට ඉදිරිපත් කරන අනෙක් උසස් කෘති සඳහාත් සාධාරණයක් ඉටු කරනවා.
මේ වනවිටත් බොහෝ ලේඛකයන්ගේ කෘති පළ කිරීම හෝ නොකිරීම නියාමනය වන්නේ පෞද්ගලික අංශයේ ප්‍රකාශකයන්ගේ තීරණ මතයි.
ජාතික පුස්තකාලයේ ලේඛකාධාර ව්‍යාපෘතිය වැනි රාජ්‍ය මට්ටමේ ව්‍යාපෘති වලදී පක්ෂපාතී වීම පිළිබඳ ව හා කල් මැරීම පිළිබඳ ව ඇතැමෙක් චෝදනා කරනවා. ලේඛකයාට සිය කෘතිය ප්‍රකාශයට පත් කරගැනීමේ දුෂ්කරතාව තවමත් මගහැරී නැහැ නොවේද?
ජාතික පුස්තකාලයේ මේ ව්‍යාපෘතිය කොහෙත් ම පක්ෂපාතී නැහැ. අපට එවැනි චෝදනාවකුත් නැහැ. ආධාර ලබා දෙන කෘති තේරීම සිදුවන්නේ සමීක්ෂණ මණ්ඩලයක් මඟින්. අපේ නිලධාරීන් කිසිවකු ඊට මැදිහත් වන්නේ නෑ. බාහිර විද්වතුන් විසින් සමීක්ෂණය කරන කෘතිවලටයි ආධාර හිමි වන්නේ. එහෙත් ඔබ පවසන ආකාරයේ යම් ප්‍රමාදයක් සිදු වෙනවා. ඊට හේතුව මේ කටයුතු සඳහා සැලකිය යුතු කාලයක් ගත වීමයි. සමීක්ෂණය, ගිවිසුම් අත්සන් කිරීම වැනි කටයුතුවලට කාලයක් ගත වෙනවා. එහෙත් එය අනවශ්‍ය කාලයක් නොවෙයි.
මේ වනවිට ඇතැම් විදෙස් රටවල අන්තර්ජාලය ඔස්සේ කෘති අලෙවි කිරීම් මෙන් ම මිලදී ගැනීම් සිදු වෙනවා. එමෙන් ම ශ්‍රී ලංකාව තුළත් කෘති අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමත්, අන්තර්ජාල කෘති පළ කිරීමත් ශීඝ්‍රයෙන් සිදු වෙනවා. ඉදිරියේදී නිල වශයෙන් මේ ක්‍රමය හඳුන්වා දීමක් හා අන්තර්ජාල කෘති ප්‍රමිතිගත කිරීමක් සිදුවන්නේ නැද්ද?
අපේ ලේඛකයන්ගේ කෘති අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීම සඳහා පහසුකම් සැලසීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට අප මේ වනවිට කටයුතු කරමින් සිටිනවා. ජාතික පුස්තකාල මණ්ඩලය හා ටෙලිකොම් ආයතනය මේ සඳහා සම්බන්ධවී කටයුතු කරනවා. එහිදී ලේඛකයකුගේ කෘතියක දෘඪ පිටපතකට වඩා අඩු මිලකට මෘදු පිටපතක් අන්තර්ජාලයෙන් ලබා ගැනීමේ අවස්ථාව පාඨකයාට හිමි වෙනවා. එයින් ලේඛකයාට සිය කෘතිය අන්තර්ජාතිකවද අලෙවි කරගැනීමේ හැකියාව ලැබෙනවා. මේ ව්‍යාපෘතියට සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයේ ම කෘති ඇතුළත් වෙනවා. මෙහිදී සිංහල කෘතියකට වුවත් ලෝකයට යෑමේ අවකාශය උදාවෙනවා.
දිනෙන් දින ලෝකයේ කඩදාසි භාවිතය අවම වන තත්ත්වයක් දක්නට ලැබෙන බැවින් ඊට විකල්ප ලෙස හඳුනාගෙන තිබෙන අන්තර්ජාලය ම භාවිතා කරමින් වෙබ් පුස්තකාලයක් නිර්මාණය වීමකට කාලය එළැඹෙමින් තිබෙනවා යැයි හැඟෙනවා.
අපේ ඉහත වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරියේදී එක් අතකින් වෙබ් පුස්තකාලයක් නිර්මාණය වේවි. ඒ වැඩසටහන ඔස්සේ කතෘ අයිතිය නොමැති සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයේ ම සම්භාව්‍ය කෘති පාඨකයාට නොමිලයේ ම ලබාගත හැකි වෙනවා. ඒ අනුව අපි එවැනි කෘති හැකිතාක් අන්තර්ජාලයට මුදා හැරීමට කටයුතු කරනවා. එහෙත් කතෘ අයිතිය ඇති කෘති එසේ නොමිලයේ ලබා දීමක් සිදු කළ නොහැකියි. ඒ සඳහා යම් ගෙවීමක් සිදු කළ යුතු වෙනවා. එහිදී අවශ්‍ය නම් ලේඛකයන්ට තමන්ගේ කෘතිය මුද්‍රණය නොකර මෘදු පිටපතක් ලෙස ම අන්තර්ජාලයට මුදා හැරීමටත් හැකියාව තිබෙනවා. එවිට ඔබ සඳහන් කරන වෙබ් පුස්තකාලයක් ඉබේ ම නිර්මාණය වේවි.
එහෙත් අප නිරන්තරයෙන් වග බලාගත යුතුයි පාරම්පරික පුස්තකාලය ආරක්ෂා කිරීමට මෙන් ම පෝෂණය කිරීමටත්. මේ වනවිට පවතින තත්ත්වය වන්නේ පොතක සුවඳ හා ස්පර්ශය කියන කාරණා පාඨකයාට වටිනවා. ඒ වගේ ම අන්තර්ජාලයේ විශ්වසනීයත්වය පිළිබඳව ගැටලු තිබෙනවා. අන්තර්ජාලය තුළ විශ්වකෝෂ කොපමණ තිබුණත් විශ්වසනීයත්වය පවතින්නේ මුද්‍රිත විශ්වකෝෂයටයි. ඒ නිසා මේ දෙක ම තුළනාත්මකව ආරක්ෂා කළ යුතුයි. අපේ තරුණ තරුණියන් බස් රථයේදී, දුම්රියේදී ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයට පිවිස උසස් පොතක් කියවන තැනට සමාජය වෙනස් වෙනවා නම් එය හොඳ ප්‍රවණතාවයක් වෙනවා. මේ වැඩසටහනේ බලාපොරොත්තුව නවීන ක්‍රම ඔස්සේ කියවීම ප්‍රවර්ධනය කිරීමයි.