
කොළඹ හා සදාසන්න ප්‍රදේශවල ජනතාවගේ ගමන් පහසුව ඇති කිරීම හා නාගරික මාර්ග තදබදයට පිළියමක් වශයෙන් විදුලි බලයෙන් ක්‍රියා කරන විද්යුත් බස් (Electric Bus) 1000ක් ගෙන්වා ධාවනයට යෙදවීමට කටයුතු කර ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සිළුමිණට කීය.
මුදල් අමාත්‍යවරයාගේ හා බස්නාහිර පළාත් හා මහානගර සංවර්ධන අමාත්‍යවරයාගේ සහායෙන් මේ කර්තව්‍යය සිදු කිරීමට අදහස් කරනු ලබන බවත් එම බස් රථ ගෙන්වා පළමුව මොරටුව විශ්වවිද්‍යාලයේ අධීක්ෂණයට යොමු කරන බවත් ඒ මහතා කීය.
බස් රථ ප්‍රමුඛතා මාර්ගවල මේ බස් රථ ධාවනයට පියවර ගන්නා බවද මේ හරහා මඟී තදබදය අඩුවන අතර පරිසර හානියක් සිදු නොවන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ වන විට බස් රථ වර්ග 3ක් සාම්පල සඳහා චීනයෙන් ආනයනයට කටයුතු යොදා ඇතැයිද ඒ මහතා පවසයි.
මේ බස් රථ උදය වරුවේ පැය 3ක කාලයක් සහ පස්වරුවේ පැය 3ක කාලයක්ද ධාවනය කරනු ලබන අතර, රාත්‍රී 8 සිට 12 දක්වා විශේෂිත සේවාවක් සැපයීමට කටයුතු කරනු ලබන බවද ඒ මහතා කීය.
සුඛෝපභෝගී බස් රථ යෙදවීම නිසා කොළඹ නගරයට පැමිණෙන වාහන සංඛ්‍යාව අවම කරගැන්මට හැකියාව ලැබෙනු ඇතැයිද ඒ මහතා විශ්වාසය පළ කෙළේය.