ලොවෙත් නැති ලොවි ගහෙත් නැති යොහාන් බ්ලේක් | සිළුමිණ

ලොවෙත් නැති ලොවි ගහෙත් නැති යොහාන් බ්ලේක්

ඟ අද්දර පස් කන්ඩිය උඩ අඹ ගහ යට මාධ්‍ය සාකච්ඡාවක්. පුරුදු මුහුණක් නිසා ඔලුව දාලා බැලුවා. මාරයි... මේ අපේ හිමාෂයාට පැරදිච්ච යොහාන් බ්ලේක් බුවානේ. ටොමයි ජෙරියයි අපේ මීඩියා ඔස්තාර්ලාගෙන් අඹ ගහවටම පිරිලා.

හිමාෂයාට පැරදිච්ච බුවා වැල්ලේ ඔලුව හංග ගන්න ට්‍රයි කරනවා පැස්බරෙක් වගේ. ඊට වඩා අපේ මීඩියා ඔස්තාර්ලා ඇඹරෙනවා.

2012 ලන්ඩන් ඔලිම්පික්වල පොරක් වෙච්ච බුවා, හිමාෂයාට පැරදිච්ච එක ගැන මොනවද හිතන්නේ?

මොකුත් නෑ. මොනවා හිතන්නද? හිමාෂයාට කලින් පස් දෙනෙක් දිව්වා. එයා හය. අපේ තව එකෙක් හත. මම අට.

මේ පසුබෑම ගැන පසුතැවිල්ලක් නැද්ද?

නෑ. මොනවට පසුතැවෙන්නද.

මාරයි. බුවා මීඩියාකාරයන්ට ටෝක් කරනවා.

පහුගියකාලේ පුහුණුවීම් කළේ කොහෙද?

අන්න ඒක හොඳ ප්‍රශ්නයක්. උඹලගේ උන් උඹලගේ පුහුණුව හොඳ නෑ කියන කොට අපි චාන්ස් එකක් දෙනවා. මම බැලුවා මේක හරියන්නේ නෑ, ආවා මෙහෙ තත්ත්වය කොහොමද කියලා බලන්න.

මෙහෙ පුහුණුවීම් කරලා ගිහින්ද ඔච්චර හරියක් කරගත්තේ?

ඔව්, මම ලන්ඩන්වල මීටර් 100 තත්පර 9.75 යි. මීටර් 200 තත්පර 19.44 යි. මීටර් 100 රිලේ එක තත්පර 36.84, ලෝක වාර්තාවක්. ඊට පස්සේ අපේ රටේ මට වැලේ වැල් නැති වුණා. 2016 රියෝවල යන්තම් මීටර් 100 රිලේ ටීම් එකට තේරුණා. අනිත් උන් තුන්දෙනාගේ පිහිටෙන් ගෝල්ඩ් එක දිනා ගත්තා.

ඒ කියන්නේ මෙහෙ වැඩක් කෙරිලා ම නෑ?

අන්න හරි. දැන් තමයි කට්ටිය පීල්ලට ආවේ. උඹලගේ රටේ පුහුණු වෙන්න තැනක් තියෙනවද? වැඩ්ඩෙකුට වැඩක් කරගෙන ඉන්න පුළුවන්ද?

දියගම දියවෙලාම ගිහින්. සුගතදාසේ ගැන කතා කරන්න දෙයක් නෑ. එහා පැත්තෙන් බ්ලූමැන්ඩල් කුණු කන්ද. මෙහා පැත්තෙන් නාය ගිය මීතොටමුල්ල කුණු කන්ද.

නාහයක් - කටක් තියාගෙන කෑම ටිකක් කාලා, හුස්මක් අරගෙන දුවන්නේ කොහොමද?

ඔය ගඳ ගගහා බුවා කාගේ ළඟද පුහුණුවීම් කළේ?

ඒඊඩ්ඹ්ඡ්ඊධ්ඛ්ඉ ඔස්තාර්ලා කිහිප දෙනෙක්ම සෙට් වුණා. ඒ ඔස්තාර්ලා ළග තියෙන්නේ මං ඉපදෙන්නත් කලින් තිබ්බ ක්‍රම සහ විධි විතරයි. හැබැයි ටෝක් කරන්නේ නම් බෝල්ටත් ගහන්න.

මෙහෙ කෑම එහෙම බුවාට අල්ලලා ගියාද?

පට්ට, බත් පිඟානයි ජාතික ආහාරය පානුයි - පරිප්පුයි. සම්බෝල, පොල් කිව්වට නමට විතරයි. බිත්තර ගෙඩියක් දෙකක් මාලු කෑල්ලක්, සුදු කවුපි ටිකක් තම්බලා, අල - බෝංචි - ගෝවා තම්බලා, වතුර බැරල් එකකට අලිගැටපේර දහයක් විතර දිය කරලා, මැනින් මාකට් එකෙන් ගන්න තැලිලා අහක් කරපු පලතුරු වර්ග දෙකක් විතර. මේ පට්ට කෑම ගැන මෙහෙ මීඩියා ඔස්තාර්ලා වචනයක් කතා කරන්නේ නැහැනේ.

තව ටිකක් වෙලා ගියොත් බුවා අපේ උන්ගේ රෙදීත් ගලවයි කියලා හිතුණා. අපේ මීඩියා ඔස්තාර්ලා ගල් ගිල්ලා වගේ බලාගෙන ඉන්නවා.

දැන් මේ පරාජය ගැන බුවාලා රටේ ප්‍රතිචාරය මොන වගේද?

ඇති යන්තම් සායම යන්න කලින් ජෙරියා කතා කළා.

මොකුත් නෑ.

ඇයි ඒ?

2012 මම අපේ රටට වැඩ්ඩෙක් වුණාට (අපේ වීරයා බෝල්ට්) ඊට පස්සේ මාව පහුකරගෙන කී දෙනෙක් ආවාද? මං ගැන කතා කරලා උඹලාගේ රටේ පොරක් කළාට කොහොම ස්තුති කරන්නද මන්දා.

දැන් මම අපේ රටේ ලොවෙත් නැති ලොවි ගහෙත් නැති බුවෙක් විතරයි. හග්... හග්... හග්.... කියලා බුවා මහා හඬින් හිනා වෙන්න ගත්තා.

එලාම් එක වදින කොට තමයි ඇහැරුණේ.

 

Comments