මේ තරම් පීඩනයක් දැනිලා නෑ සනත් ජයසූරිය | සිළුමිණ

මේ තරම් පීඩනයක් දැනිලා නෑ සනත් ජයසූරිය

ප්‍රශාන්ත ඇල්පිටිය

ළඹෙන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය තේරීම් පුහුණු කාලයේ කළ අසීරුම කණ්ඩායම් නම් කිරීම බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසයි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි. සී. සී.) විසින් සංවිධානය කරනු ලබන 2017 චැම්පියන්ස් කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමි වී තිබේ. උපනායකයා ලෙසට උපුල් තරංග ක්‍රියා කරයි.

මෙම තරගාවලියට තෝරා ගත් ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට එකදු නවක ක්‍රීඩකයෙක් හෝ ඇතුළත් නොවීම විශේෂත්වයකි. ආබාධ නිසා ගිය වසරේදී ක්‍රීඩා නොකළ ලසිත් මාලිංගට මෙම තරගාවලියට සහභාගි වීමට අවස්ථාව උදා වී තිබේ.

2017 චැම්පියන්ස් කුසලාන තරගාවලිය ලබන ජුනි මස 01 සිට 18 දක්වා එංගලන්තය සහ වේල්සයේදි පැවැත්වේ. ඊට රටවල් 08 ක් සහභාගි වේ. පැවැත්වෙන මුළු තරග ගණන 15 කි. එක්දින ජාත්‍යන්තර තරගවල ඉහළම ශ්‍රේණිගත කණ්ඩායම් අට මෙවර තරගාවලියට සහභාගි වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට

ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සීක්කුගේ ප්‍රසන්න ඇතුළත්ය.

මගේ තේරීම් කමිටු ඉතිහාසය අවුරුදු දෙකයි, මේ අවුරුද්දත් එක්ක ගත්තොත් ගොඩක් අසීරුම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීම් කරපු එකතමයි මේ. මේ තරම් පීඩනයක් මීට පෙර දැනිලා නෑ.

මේක හදිසියේ අද ඊයේ ගත්ත තීරණයක් නෙවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ තේරීම් කමිටුව, නායකයා, පුහුණුකරුවන් එක්ක දිර්ඝව සාකච්ඡා කරලා තමයි, මේ කණ්ඩායම තේරුවේ.

මේක දීර්ඝතම කාලයක් සාකච්ඡා කරලා තෝරපු කණ්ඩායම කියන්න පුළුවන්. අපිට ඕනෑ වුණේ හැම පැත්තෙන්ම බලලා හොඳම ශ්‍රී ලංකා කණ්ඩායම තෝරන්න. මේ සඳහා හැම කෙනෙකුම සහයෝගය ගත්තා.

ඇන්ජලෝ මැතිව්ස් නායකයා සහ උපුල් තරංග උපනායකයා විදියට ලොකු වගකීමක් දෙන්නටම තියෙනවා. අපේ ක්‍රිකට් ක්‍රීඩාව අද කොතැනක හරි තියෙනවා නම් මෙතැනින් ඉහළට ගෙන යාම තමයි මේ තරගාවලියේ මූලිකම වන්නේ.

ලසිත් මාලිංග හුඟක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ඕවර පනහේ තරගයක් ක්‍රීඩා කරන්න. මාලිංග ලිඛිතවම සහතික වෙලා තියෙනවා ශාරීරික යෝග්‍යතාව යහපත් කියලා. ශ්‍රී ලංකා කණ්ඩායමට තේරුණොත් හොඳටම ක්‍රීඩා කරන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.

පන්දු රැකීම

පන්දු රැකීම ගැන සියයට සියයක් සහතික වෙන්න බෑ. හැබැයි මේ 15 දෙනා අතර දුර්වල පන්දු රකින්නන් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නෑ. අඩුපාඩු නැති පන්දු රකින්නෝ ලෝකේ කෙහෙවත් නෑ. අපි තියෙන අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න බලමු.

අපිට මේ තරගාවලියේදී එක ටීම් එකක් දිහා බලාගෙන තේරීම් කරන්න බෑ. අපි මූලික වටයේම දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පාකිස්තානය හම්බ වෙන්නේ. මේ හැම ටීම් එකක් ගැනම හිතලා බලලා තමයි ටීම් එක නම් කළේ.

චැම්පියන්ස් තරගාවලියට නම් කළ 15 දෙනා තමාට ලැබුණු හොඳම පහළොස් දෙනා යැයි නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

මට ලබාදීලා තියෙන හොඳම කණ්ඩායම මේ ලබාදීලා තියෙන කණ්ඩායම කියලා විශ්වාස කරනවා.

අපිට මෙහෙදි සති දෙක තුනක පුහුණුවීම් සැසි කිහිපයක් තියෙනවා. එංගලන්තයටත් අපි සති දෙකකට කලින් යනවා. එහේ සති දෙකක් විතර පුහුණුවීම් කරනවා කියන්නේ අපිට හුඟක් වටිනවා.

මට කණ්ඩායම ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. රටට ලොකු ආඩම්බරයක් ලබා දෙන්නෙ අපි ටීම් එකක් විදියටම කැප වෙනවා.

මේ අතර චැම්පියන්ස් තරගාවලියට පෙර පෙරහුරුවක් ලබාගැනීමට අවශ්‍ය සියලු පහසුකම් කණ්ඩායමට සලසා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

Comments