දුක මගේ ජීවිතයට දුරයි ජනිත සුරත් | සිළුමිණ

දුක මගේ ජීවිතයට දුරයි ජනිත සුරත්

ක්‍රීඩා ආරාධිත කුසලාන වොලිබෝල් තරගයේ ශූරයන් වූ කටාන ඒකාබද්ධ කණ්ඩායමේ නායක ජනිත සුරත් සහ අනුශූරයන් වූ දෙබෑගම රන්තරු කණ්ඩායමේ නායක ගයාන් මධුසංඛ සමඟ කතාබහකට ක්‍රීඩා මේ ඉඩකඩ වෙන්කරමු.

බන්දුල ජයමාන්න

ඔයා කවුද කියලා ඇහුවොත්?

ජනිත

මම හිතන විදියට සාමාන්‍ය විදියට ජීවත්වන සරල මනුෂ්‍යයෙක් කියලා. ක්‍රීඩා කරන වෙලාවට හැම වෙලාවේම දිනන්න තමයි බලන්නේ. හැබැයි ජය පරාජය කියන දේ ක්‍රීඩාවේදී කාටත් පොදු දෙයක්. ක්‍රීඩාවත් එක්ක ජීවත්වන නිසා ඒ දේ සතුටින් බාර ගන්නවා.

ගයාන්

ජනිත කියපු විදියට මාත් සරල කෙනෙක්. පොඩි කාලේ ඉඳලාම තමයි මේ ක්‍රීඩාව තෝරා ගත්තේ. ඒ තෝර ගත්ත ක්‍රීඩාවෙන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටම දක්වාම ඇවිත් තියෙනවා.

ජය පරාජය කියන දේ ක්‍රීඩාවේදී පොදුයි. ක්‍රීඩා කරන හැම වෙලාවකම ඒ දේ උපරිමයෙන් කරලා ජය ගන්න තමයි බලන්නේ.

තහනම් වචනය වොලිබෝල් කිව්වොත් කතා කරන්න පුළුවන්ද?

ජනිත

අනිවාර්යෙන්ම පුළුවන්. සරල විදියට ජීවත්වුණාට විනෝදයෙන් කාලය ගත කරන්න කැමැතියි. යහළුවන් සහ ගෙදර අයත් එක්ක ගොඩක් විනෝදයෙන් ඉන්න කැමැතියි.

ගයාන්

අද මම මෙතැන ඉන්නේ වොලිබෝල් ක්‍රීඩාව නිසා. වොලිබෝල් ක්‍රීඩාව අද මගේ ජීවිතය වෙලා තියෙනවා. මගේ අම්මා සහෝදරයා - සහෝදරියන්, යහළුවන්, පුහුණුකරුවන් එක්ක තමයි ජීවිතය ගෙවෙන්නේ. ඒ නිසා ක්‍රීඩාව අමතක කරන්න බෑ. ජනිත් කියපු විදියට මාත් හුඟක් විනෝදවන ක්‍රීඩකයෙක්. වොලිබෝල් කියන වචනය අමතක කරලා මට වැඩ කරන්න අමාරුයි.

ජීවිතය ගැන තියෙන දුරම මතකය?

ජනිත

මගේ ජීවිතයේ මෙතෙක් බැලුවොත් දුක කියන දේ හුඟක් අඩුවෙන් ලැබිච්ච දෙයක්. දුක් කම්කටොලු කියන්නේ ජීවිතයේ මඟහැරලා යන්න පුළුවන් දේවල් නෙවෙයි. ගොඩක්ම සතුටු වෙච්ච දවස තමයි 2016 සාග් තරගාවලියේදී රිදී පදක්කම දිනා ගත්ත එක. පාකිස්තාන් තරගය 3 - 1 ක් විදියට අපි දිනුවේ. එදා තමයි මගේ ජීවිතයේ හුඟක්ම සතුටු වෙච්ච දවස.

ගයාන්

ජීවිතයේ මතකයන් ගොඩක් තියෙනවා. දුක ගැන කතා කරන්නේ නැතුව සතුට ගැන විතරක් කතා කරන්නම්. දුක ගැන කතා කරන්න ගියොත් ගොඩක් තියෙනවා. ජනිත් කියපු විදියට 2016 සාග් රිදී පදක්කම දිනපු එක ගොඩක් සතුටු වෙච්ච දවස. ඒ කණ්ඩායම නියෝජනය කරලා පාකිස්තානය පරාද කරපු එක තමයි ලොකුම ජයග්‍රහණය.

අපේ ලොකුම බලාපොරොත්තුව වුණේ ඉන්දියාව හෝ පාකිස්තානය පරාජය කරලා අවසන් තරගයට එන සිහිනය සැබෑ වුණා. ඒ සිහිනය සැබෑ වුණු දවස තමයි හුඟක්ම සතුටු වෙච්ච දවස.

හැදුණේ වැඩුණේ ගමේද? ටවුමේද?

ජනිත්

ගමේ තමයි හැදුණේ වැඩුණේ. බෞද්ධ පරිසරයක් තිබුණේ. මම බාලයා. වැඩිමහල් සහෝදරියක් ඉන්නවා. ඒ අයගේ ආදරය මැද තමයි හැදුනේ වැඩුණේ.

සමාජය එක්ක ගැටිච්ච අවස්ථා අඩුයි. පවුලත් එක්ක තමයි වැඩිපුරම කාලය ගත වුණේ. නගරබදට වඩා ගම්බදව තමයි මගේ ජීවිතය වැඩිපුරම ගෙවුණේ.

ගයාන්

මාත් ගම්බද ප්‍රදේශක තමයි හැදුණේ වැඩුණේ. අම්මයි - සහෝදර සහෝදරියන් තුන් දෙනයි. මම පිය සෙනෙහස අහිමි වේච්ච තරුණයෙක්. එහෙම වුණා කියලා අම්මා පවුලේ අය මාව අසරණ කරලා නෑ. පවුලේ බඩපිස්සා විදියට ඒ අයගේ ආදරය රැකවරණය යටතේ හොඳ තැනක මම ඉන්නවා කියලා.

ඒ දවස්වල දැකපු ලොකුම හීනය?

ජනිත

වොලිබෝල් ක්‍රීඩකයකු විදියට දැකපු ලොකුම හීනය තමයි ජාතික කණ්ඩායම නියෝජනය කිරීම. ඒක හැබෑ වුණා. ඊට පස්සේ සාග් තරගාවලියේ අවසන් මහා තරගයට එන එක. ඒ දෙකම ඉෂ්ඨ වුණා. ගොඩක් සතුටුයි.

ගයාන්

පොඩි කාලේ වොලිබෝල් ගහනකොට හිතුණේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කිරීම. 2007 දී ඒ හීනය සැබෑ වුණා. පාසල් කාලයට එනකොට ජාතික කණ්ඩායම තමයි ලොකුම හීනය වුණේ. අද ඒක ඉෂ්ඨවෙලා. ලොකු සතුටක් දැනෙනවා.

ජීවිතයට ටාගට් එකක් තිබ්බද?

ජනිත

ඔව්. ඉස්කෝලේ යන කාලයේ ඩොක්ටර් කෙනෙක් වෙන්න තමයි ටාගට් කර ගෙන හිටියේ. ඒ වුණාට මගේ දෛවය විදියට ද දන්නේ නෑ වොලිබෝල් වලට යොමු වුණා.

ඊට පස්සේ වොලිබෝල් ක්‍රීඩාවෙන් ඉදිරියට එන්න නායකයා වෙන්න නෙවෙයි ජාතික කණ්ඩායම නියෝජනය කිරීම තමයි ලොකුම ටාගට් එක වුණේ.

ගයාන්

අපේ පවුල් පසුබිමත් එක්ක බලනකොට, පවුලේ බාලයා විදියට ලොකු වගකීමක් තිබුණා. මං පොඩි කාලයේදීම තාත්තා නැති වුණා. එතැන ඉඳලා අම්මා ලොකු කට්ටක් කාලා තියෙනවා අපේ පවුල ගොඩ දාගන්න.

අම්මා - අයියා - අක්කලා දෙන්නා තමයි මගේ ශක්තිය වුණේ. මගේ ලොකුම ටාගට් එක වුණේ මේ හතර දෙනාවම බලාගෙන ඉගෙනගෙන ක්‍රීඩා කරලා, සමාජයේ හොඳ මනුෂ්‍යයෙක් විදියට ඉදිරියට ඇවිත් පවුලට ශක්තියක් වෙන්න.

ජීවිතයට වීරයෙක් ඕනෑද?

ජනිත

ඔව්, ඇත්තටම අපේ ජීවිතවලට වීරයෙක් ඉන්න ඕනෑ. මගේ ජීවිතයේ වීරයෝ වුණේ අම්මා - තාත්තා. මේ විදියට වෙන්න ඕනා කියලා දැක්කේ තාත්තා.

වොලිබෝල් ක්‍රීඩාවට එනකොට මම හුඟක්ම ප්‍රිය කළේ ජානක ප්‍රනාන්දුට. මගේ වොලිබෝල් වීරයා ජානක.

ගයාන්

අම්මා තමයි මගේ ජීවිතයේ වීරයා. ඊට පස්සේ අයියා. ඒ දෙන්නගේ ජීවිතය දිහා බලාගෙන තමයි මම මගේ ජීවිතය හදා ගත්තේ.

මගේ වොලිබෝල් ක්‍රීඩාවේ වීරයා වෙන්නේ දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජයේ පුහුණුකරු සහ රාජසිංහ විද්‍යාලයේ පුහුණුකරු චමින්ද කුමාර ජයරත්න සර්. සර් තමයි මගේ මුල්ම පුහුණුකරු වුණේ. සර් දාලා දීපු ශක්තිමත් අඩිතාලම නිසයි අද මම මෙතැන ඉන්නේ. මගේ වොලිබෝල් ජීවිතයේ වීරයා චමින්ද කුමාර සර්.

කොයි කාලයේ විතර ඉඳලද මේ වීරයා ජීවිතයට ඇතුළු වුණේ.?

ජනිත

අවුරුද්ද විදියට ගත්තොත් 2006 දී.

ගයාන්.

ඉස්කෝලේ කාලයේ ඉඳලා 2002 දී විතර.

ඊට පස්සේ මේ වීරයාවද හැම තැනකදීම අනුගමනය කරන්න ගත්තේ?

ජනිත

හුඟක් වෙලාවල්වලදී එයාව අනුගමනය කරන්න ගත්තා. ජාතික තලයට ආවට පස්සේ ජාත්‍යන්තර තරග ගැන අවධානය යොමු කළා. එහිදී තමයි බ්‍රසීලයේ ගීබාට හිත ගියේ. ඊට පස්සේ එයා ගැන තමයි වැඩි අවධානයක් යොමු කළේ. එයාව අනුගමනය කරන්න හැම වෙලාවෙදිම වගේ උත්සහ කරනවා.

ගයාන්

ජාතික සහ ජාත්‍යන්තර තරගවලට ගියත්, චමින්ද සර් ක්‍රීඩකයෙක් විදියට කරන දේවල් අත්හදා බලනවා. ඒ අත්හදා බැලීම් සාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම යොවුන්, කනිෂ්ඨ ජේ්‍යෂ්ඨ කණ්ඩායම්වලදී නොයෙකුත් පුහුණුකරුවන් යටතේ වැඩ කරලා තියෙනවා. ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගෙන් ඉගෙන ගන්නත් මම හුඟක් කැමැතියි.

ඔයාට ඔයාව වීරයෙක් විදියට දැනිලා තියෙන සිද්ධි මොනවද?

ජනිත

මම වීරයෙක් විදියට දකිනවාට වඩා කණ්ඩායමක් විදියට දකින්න කැමැතියි. මේ කණ්ඩායම් ක්‍රීඩාවක්. එකමුතුකම - දස්කම්වල ප්‍රතිඵලයක් විදියට දකිනවට තමයි හුඟක් කැමැති.

2016 මංචි වොලිබෝල් තරගාවලියේ ශූරයා වුණා. ඒවෙලාවේ මට දැනුණා මම වීරයෙක් කියලා.

ගයාන්

ඇත්තටම ජනිත් කියපු විදියට කණ්ඩායම් ක්‍රීඩාවක්. ටීම් එකට 12 ක් ඉන්නවා. තරග කරන්නේ හයදෙනයි. ඒ හය දෙනා ක්‍රීඩා පිටියේ කරන දේවල් තමයි ජයග්‍රහණයට ඉවහල් වෙන්නේ.

29 වැනි රූපවාහිනි වොලිබෝල් තරගාවලියේ අපි ශූරයන් වුණා. ඒ තරගාවලියේ මගේ දක්ෂතා හුඟක් ප්‍රදර්ශනය කරන්න පුළුවන් වුණා කියලා හිතනවා.

ගෙදරදිද යහළුවන් අතරට ගියාම වීරයෙක් වගේද ඉන්නේ ඉන්නේ?

ජනිත

යහළුවන් අතර නම් ක්‍රීඩකයෙක් විදියට ලොකු පිළිගැනීමක් තියෙනවා. යහළුවන් අතරදි නම් ඔවුන් මාව වීරයෙක් විදියට පිළිගන්නවා.

ගයාන්

මට යහළුවෝ ගොඩක් හිටියත්, ළඟින්ම ඉන්න යහළුවෝ ටික දෙනෙක් ඉන්නවා. ඒ අය අතර ඉන්නකොට ඔවුන් මාව වීරයෙක් විදියට තමයි පිළිගන්නේ.

වීරයාගේ චරිතයට පණ දෙන්න ගිහින් අමාරුවේ වැටිච්ච අවස්ථා තියෙනවාද?

ජනිත

එහෙම නම් නෑ. මම වීරයාගේ චරිත රඟපාන අවස්ථා අඩුයි. (මහා හඬින් සිනාසෙයි.)

ගයාන්

මටත් ජනිත කියපු දේම තමයි කියන්න තියෙන්නේ. (මහා හඬින් සිනාසෙයි.)

Comments