ඔබේ අම්මා ඔබ එනතුරු බලා ඉන්නවා... | සිළුමිණ

ඔබේ අම්මා ඔබ එනතුරු බලා ඉන්නවා...

ප්‍රශාන්ත ඇල්පිටිය

විහිළු කිරීම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයි. එසේ වුවත් එය ඇස් රතුවන විහිළු නම් එවිට ගැටලු ඇතිවේ. පසුගියදා එවැනි විහිළුවක් නිසා ක්‍රීඩා ලොව උණුසුම් විය. එයට සම්බන්ධ වූයේ ටෙනිස් ක්‍රීඩාවේ සුපිරිතම තරු යුගලයකි. ඒ රුමේනියාවේ ඉලී නස්ටාසේ සහ අමෙරිකාවේ සෙරිනා විලියම්ස්ය.

සෙරිනා මේ වන විට ජාත්‍යන්තර ටෙනිස් පිටියෙන් ඉවත්ව සිටින්නීය. ඒ කාන්තාවකට ලැබිය හැකි උතුම්ම මවු පදවිය ලැබීමේ බලාපොරොත්තුවෙනි. සෙරිනා දැන් ගැබිනියකි.

ටෙනිස් ක්‍රීඩාවේ දී පැවැත්වෙන ප්‍රධානතම වාර්ෂික කාන්තා කණ්ඩායම් තරගාවලිය වනුයේ ෆෙඩරේෂන් කුසලාන තරගාවලියයි. මෙම වසරේ ෆෙඩ් කුසලාන තරගාවලියේ තවත් තරගයක් පැවැත්වූයේ රුමේනියාව සහ බ්‍රිතාන්‍යය අතරය. ඒ පිළිබඳ පැවැති මාධ්‍ය හමුවේදී සෙරිනාගේ ගැබිනි බව ගැන මාධ්‍ය ඉලීගෙන් විමසීය.

ඊට හෙතෙම විහිළුවක් ලෙස උත්තරයක් ලබා දුන්නේය. "අපි බලමු ලැබෙන බබා මොන පාටද කියලා. චොකලට් පාටද? කිරි පාට ද කියලා." ඉලීගේ උත්තරය එය විය. එහෙත් මෙය ඇස් රතුවන විහිළුවක් බවට පත් විය. ඉලී මෙම මාධ්‍ය හමුවට සහභාගි වූයේ රුමේනියානු ෆෙඩරේෂන් කුසලාන කණ්ඩායමේ ක්‍රීඩා නොකරන නායකයා ලෙසටයි.

සෙරිනා පිළිබඳ මීට පෙරත් ඔහු මතභේදාත්මක ප්‍රකාශයක් කර තිබුණි. එනම් සෙරිනා තහනම් උත්තේජක භාවිතා කරන බවයි. ඉලීගෙන් මෙවැනි ප්‍රකාශ බලාපොරොත්තු වීම සාමාන්‍ය දෙයකි. 1946 වසරේ ජුලි මස 19 වැනිදා හෙතෙම උපත ලැබීය. ඔහු 1969 සිට 1985 දක්වා ජාත්‍යන්තරව ක්‍රීඩා කළේය. ලොව අංක 01 ක්‍රීඩකයාත් විය. අඩි 6 ක් උසැතිය. ඔහු හිමිකරගත් මුළු කේවල (තනි) ශුරතා ගණන 58 කි. ඊට ප්‍රංශ විවෘත (1973) සහ අමෙරිකානු විවෘත (1972) ශූරතා ද අයත්ය. මීට අමතරව ඉලී 1972 සහ 1976 විම්බල්ඩන් කේවල අනුශූරයාත් වූයේය.

ඉලී ක්‍රීඩා කරන යුගයේදීත් මතභේදාත්මක එහෙත් අතිශය ජනප්‍රිය චරිතයකි. ඔහුගේ ජීවිතයේ කළු චරිතය සෙරිනාගේ සිදුවීම නිමාවට පත් වී ඉතා කෙටි දිනකින්ම යළිත් දක්නට ලැබුණි. ඒ බ්‍රිතාන්‍යය සමග පැවැති ෆෙඩ් කුසලාන තරගය අතරතුරදීය.

එම තරගයට පෙර පැවැති තවත් මාධ්‍ය හමුවකදී ඉලී ප්‍රසිද්ධියේම බ්‍රිතාන්‍ය කණ්ඩායමේ ක්‍රීඩා නොකරන නායිකාව වන ඈන් කියොතාවොන්ගෙන් ඉල්ලීමක් කළේය. එනම් ඇගේ හෝටල් කාමරයේ අංකය තමන්ට ලබා දෙන ලෙසටය. 33 හැවිරිදි ඈන් හිටපු ක්‍රීඩිකාවකි. එපමණක් ද නොව එම තරගය අතරතුරදී ප්‍රධාන විනිසුරුට මෙන්ම බ්‍රිතාන්‍ය කණ්ඩායමේ යොහානා කොන්ටා සහ නායිකාව වන ඈන්ට නින්දා සහගත ආකාරයෙන් බැන වැදුණේය. ඉලීගේ හැසිරීම පිළිබඳ වහාම ක්‍රියාත්ක වූ අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය ඔහුට එරෙහිව ටෙනිස් ක්‍රීඩා තහනමක් පැනවීය. එමෙන්ම සෙරිනාගේ සිදුවීමට අදාළව වෙනම පරීක්ෂණයකුත් ඇරඹීය.

ඉලීගේ අදහසට එරෙහිව සෙරිනා විශේෂ ප්‍රකාශයක් නිකුත් කළාය. එමඟින් ඇය පැවසුවේ ඔහු ජාතිවාදියකු බවය. සෙරිනාගේ සහකරු වනුයේ ධනවත් ව්‍යාපාරික එමෙන්ම සුදු ජාතික ඇලෙක්සිස් ඔහානියන්ය.

"ඉලී නස්ටාසේ වැනි ජාතිවාදී ප්‍රකාශ කරන මිනිසුන් සිටින සමාජයක අපිට තවමත් ජීවත්වීමට සිදුවීම ගැන මම කනගාටු වෙනවා. මම මීට පෙරත් මෙය පැවසුවා. නැවතත් එයම මම කියනවා. මේ ලෝකය දීර්ඝ ගමනක් ආවා. ඒ වගේම අපිට තව සෑහෙන දුරක් යායුතුව තිබෙනවා. ගත වූ කාලයේ දී අපි විවිධ බාධක රැසක් බිඳ දැම්මා. ඒ වුණත් එසේ බිඳ දැමිය යුතු තවත් විශාල ප්‍රමාණයක් ඉතිරිව තිබෙනවා." සෙරිනා සිය විශේෂ ප්‍රකාශයේ එසේ සඳහන් කළාය.

ඉලීගේ මෙවැනි ජාතිවාදී ප්‍රකාශ තුළින් සිය ගමන නතර කර දැමිය නොහැකි බවටත් ඇය තම විශේෂ ප්‍රකාශයෙන් තවදුරටත් සඳහන් කළාය.

"මෙවැනි හෝ වෙනත් දේවලින් මාව නතර කරන්න බැහැ. තවදුරටත් අනෙකුත් අය වෙනුවෙන් මගේ ආදරය, පිරිනමනවා. ඔවුන්ගේ ජීවිතවලට ආලෝකයක් වෙනවා. ඒ වගේම ධනාත්මක බවත් එක්කරනවා. එමෙන්ම තවදුරටත් නිවැරදි දේ වෙනුවෙන් ඉදිරියට ඇවිත් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා."

සිය දරුවා වෙනුවෙන් ද සෙරිනා තම මතය තවදුරටත් ප්‍රකාශ කළාය. "මගේ දරුවා මට ලොකු ශක්තියක් ගෙන දෙනවා. එමෙන්ම සාමකාමී බව මට ලැබුණේ මේ දරුවා නිසයි. දරුවා ලැබෙනතුරු මම හරිම නොඉවසිල්ලෙන් සිටින්නේ. ඔයාගේ ආදරණීය අම්මා ඔබ එනතුරු බලාගෙන ඉන්නවා."

35 හැවිරිදි සෙරිනා ඉලී නාස්ටාසේ ගැන විශේෂ පරික්ෂණයක් කිරීමට අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය තීරණය කිරීම පිළිබඳ තම ස්තූතිය පළ කළාය.

මේ අතර සුප්‍රකට අමෙරිකානු මානව හිමිකම් ක්‍රියාකාරිනියක් සහ ලේඛිකාවක් වූ මායා ඇන්ජෙලො විසින් රචිත වදන් පෙළකුත් සිය විශේෂ ප්‍රකාශයට ඇතුළත් කිරීමට සෙරිනා අමතක නොකළාය. "මම ඔබ වගේ බය නැත. ඒ වගේම බියගුළුත් නැත. මගේ හැසිරීම ඔබව අවුල් කළාද? අඳුරත් සමඟ ඔබ ඉතා හොඳින් ඇසුරු කරන්නේ ඇයිද?

ඔබේ වචනවලින් මට වෙඩි තියන්න පුළුවන්. ඔබේ වෛරයෙන් මාව මරන්න උත්සාහ කරන්න පුළුවන්. එහෙත් සුළඟ වගේ මම නැඟී සිටිනවා."

සැමියා අගය කරන සෙරිනා

ඉලී නස්ටාසේ විසින් සෙරිනා සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශ කිරීමට පෙර ඇය සිය සැමියා මෙසේ අගය කර තිබුණාය.

"මගේ සැමියා ඉතා ප්‍රසන්න පුද්ගලයෙක්. මම පෙම් කළ විට ඔවුන්ගේ වර්ණය මම දුටුවේ නැහැ. මෙය විශේෂයෙන්ම කියන්න ඕනෑ මම පෙම් කළ කළු ජාතික පෙම්වතුන්ට වඩා ඇලෙක්සිස් මට ඉතා හොඳින් සැලකුවා."

මේ අතර සෙරිනා ජාත්‍යන්තර ටෙනිස් ක්‍රීඩාවට තවත් පණිවිඩයක් ලබා දුන්නාය. "මම අනිවාර්යයෙන්ම ලබන වසරේදී නැවත ක්‍රීඩා කරනවා."

  

Comments