
ලාංකේය ක්‍රීඩාවේ ගමන් මග පිළිබඳ අද ඇත්තේ අවිනිශ්චිතභාවයකි. අතෑරුණු තැන් බොහෝය. කෙවිට අතට ගත්තෝ සමස්ත ක්‍රීඩාවම ඔහෙ දක්කාගෙන ගියා මිසක් හැරවුම් ලක්ෂයක්වත් හඳුනා ගන්නට වෙරදැරූ බවක් නොපෙනේ.
ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි පුහුණුව සහ මඟ පෙන්වීම නිවැරැදිව ලැබේ නම් ලෝකයම වුවද සොලවනු ඇත. මේ සඳහා මුලින්ම ලාංකේය ක්‍රීඩාවේ පරිපාලන රටාව මෙන්ම නිවැරැදි ක්‍රීඩා පුුහුණුවද නිසි මඟකට ගෙන එන්නේ නම් ජයග්රහන අත ළඟ බව නොරහසකි. නමුත් පරිපාලනය මෙන්ම පුහුණුවද නිද්‍රාශීලි නම් ප්‍රතිඵල පිළිබඳ අටුවාටීකා සෙවීමට වැඩි වෙහෙසක් දැරිය යුතු නොවේ.
මෙකී කොදෙව්වෙන් එහා උන්ගේ හකු පන්නන්නට, කරටි කඩන්නට, හෝ මාලිගාවල වීදුරු බිඳින්නට මත්තෙන් අඩු තරමේ එයට ඇවැසි ක්‍රමවේදයක් සොයා ගත යුතුය. මේ කිසිවක් නැතුව රැළි පිට පිට නගිමින් ලාංකේය ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ගේ නාසයට උඩින් ජලය ගලා ගියද පරිපාලකයන්ට නම් වගේ වගක් නැති බව නම් පැහැදිලිය. ආසියානු ග්‍රෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව අත්පත් කරගත් පසුබෑම සුළුපටු නොවේ. එයින් එළැඹෙන ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට ඇතිකරන බලපෑම ද සුළු පටු නොවනු ඇත.
ක්‍රීඩා ලෝකයේ ප්රාතිහාර්යය පෑ නොහැකි බව අවබෝධ කරගෙන කවුරු කවුරුත් වැඩට බසින්නේ නම් යහපත්ය. කොටින්ම එසේ කිරීමට හැකි වටපිටාවක් ද මේ වර්ග කිලෝමීටර් හැටපන්දහස තුළ නැත. ක්‍රීඩාව පිළිබඳ ප්රමාණීය දැනුමකින් හෙබි නිර්මාණශීලි වැඩකරුවන් කිහිප දෙනෙකු හෝ හඳුනා ගෙන මේ වැටී ඇති නරා වළෙන් ගොඩ ඒමට හැකි මංපෙත් හඳුනා ගැනීමට වෙරදැරිය යුතුය.
විශේෂයෙන් ලාංකේය ක්‍රීඩාව වල පල්ලට දක්කාගෙන යමින් එකී ඕජස් ගොඩේම බඩපිනුම් ගසමින් එයින්ම සිය උදර පෝෂණය සරිකරගන්නා නිලධාරි පැලැන්තියට එරෙහිව දැඩි සටනක් නිර්මාණය කළ යුතුය.