
කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ඉගැන්වීම් ඉගෙනුම් ව්‍යාපෘතියක් ලෙස මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසින් ප්‍රතිරචනා කොට අධ්‍යක්ෂණය කරන ලද නවතම රංග නිර්මාණය වන සුරූපිය හා මෘග (Beauty and the Beast) නාට්‍යය දුටු මට හැඟුණේ සමස්ත නිර්මාණයම නූතන රංග භූමියට සපැමිණි නවීන යාතුකර්මයක් ලෙසිනි. එහිලා අංකුරභාවය ලෙස සැලකිය හැකි මානසික අවපීඩනයෙන් පෙළෙන මෘග (මානවකයකු) සුවපත් කිරීමට සුරූපියකගේ කාරුණික ඔසුව ලෙස සැලකිය හැකි සුන්දරීය හදකින් පානා උත්තරීය ප්‍රේමය අවශ්‍ය බව පෙන්නුම් කරයි. ඒ අනුව උත්තම ප්‍රේමය යනු සුන්දරත්වයම බව නිර්මාණයේ දැක්වෙන විවරණය අපූරුවට එය රූපණය කළ ශිල්පීහු දෙදෙන පෙන්නුම් කරති.
එබැවින් ප්‍රථම කොට මෙම නිර්මාණය ශාන්තිකර්ම ප්‍රතිකාරයක් ලෙස මම සලකමි. එෙහත් මා සමඟ කෙනකු එකඟ නොවන්නට ද පුළුවන. නාට්‍ය නිර්මාණ ශිල්පියා වන රචක හා අධ්‍යක්ෂ මහාචාර්යවරයා ඒ අරමුණ මුදුන්පත් කරන අවස්ථා කීපයක් ම සිය කෘතියේ පෙන්නුම් කරයි. එහි ප්‍රථම අදියර වන්නේ මානසික ඔත්පල බවින් පෙලෙන වෙල හෙළදාමෙන් පීඩනයට පත් වන ධනදාස වාණිජයාගේ මනැස ඔහුගේ දූවරුන් තිදෙනා විසින් සුවපත් කරනු ලැබීමයි. සියල්ල සිදුවන්නේ, එනම් රංග කාර්යය සිදුවන්නේ වනපෙතක බැවින් මුළු වනයම ඔසු උයනක්ය යන හැඟුමක් ද ප්‍රේක්ෂකයා තුළ හට ගනියි. මුළු ඔසු උයනක් ම ප්‍රේක්ෂාගාරය අමතන බවක් විදහා දැක්වීමෙන් හැම රූපණ ශිල්පියකු ම එක්වන් ව සිදු කරන මහා රංග කාර්යයක් සේ සමස්ත රංගය සැලකිය හැකි ය. “වන පෙවෙත මානව සම්පතකි” යන පුරාතන කියමන මේ රංගයෙන් සනාථ කෙරේ.
අප නිර්මාතෘවරයාගේ අවධානය යොමු වන ‘සුරූපිය හා මෘග’ නම් වූ සුරංගනා කතාව බටහිරින් ගත්තත් පෙරදිගින් ගත්තත් අපට කම් නැත. මෙහිදී සිදුවී ඇත්තේ භාෂා පරිසරය ඉක්මවා එහි පැවැත්ම සනාථ වීමකි. ඊට හේතු වූ එහි පෙළ ඉක්මවා රංගය ඉස්මතු වීමයි. මෙයද කෙනෙකු මා සමඟ එකඟ නොවන සාධකයක් වනු ඇත. මට පෙනී ගියේ මේ රංගය මීට වඩා තරමක් වේගවත් රිද්මයකින් ප්‍රවේශ වූයේ නම් මේ අපූරුව තවත් සනාථ වන බවයි. එහෙත් එය කල් යාමේදී සිදුවනු නිසැකය. තවද එක් ප්‍රබල සාධකයක් ලෙස ඉස්මතු වන්නේ මානව - මෘග (Man and Beast) යන එකම සත්ත්වයකුගේ රූපාන්තරණ දෙකක් නොවේද යන්න මේ රංගනයෙන් සනාථ වීමයි. ඒ අනුව මෙහි අපූර්වතම ජවනිකාව වන්නේ මෘග බවින් මිදී කඩවසම් මානවයකු වීම පිළිබඳ සංවාද ජවනිකාවකි. මේ ජවනිකාව ආගමික හැඟීමෙන් පෝෂිත නිර්මාණයක අවශ්‍යතාව කෙතරම් ද යන්න ප්‍රේක්ෂක මනසට කාවැද්දීමක් ලෙස සනාථ කළ හැකි ය.
උත්තම සුන්දර ආත්මයක් අත්පත් කරගත් අයකුට මෙලොව කළ නොහැකි හාස්කමක් නැතිය යන ධර්මාන්විත සාධකය ද ‘සුරූපිය හා මෘග’ රංගයෙන් සනාථ වේ. එය අකට විකට ජවනිකා ඉක්මවා මවන ලද පරිණත නිර්මාණයක් සේ ආ ඇස් පනාපිට විදහා දැක්වීමට නළු කැල සමත් වේ. මේ අනුව මේ සරසවි නළු කැලේ දස්කම් මුළු දේශයක් ම කෙමෙන් පසක් කරගනු ඇතැයි අපට සිතේ. මේ රංගය ගීතාත්මක හා කාව්‍යාත්මක සංවාදවලින් පරිපෝෂිත වන හෙයින් ඒ කෙරෙහිද ප්‍රේක්ෂක අවධානය යොමු විය යුතු යයි මම සිතමි. මේ සඳහා ස්වදේශීය සංගීතය තව තවත් මිශ්‍රණය කළේ නම් මැනවයි යන හැඟුම මා තුළ ජනිත විය. එහෙත් සංගීත නිමැවුම මිහිරිය.
උචිත ය. සුරූපිය හා මෘග රංග නිර්මාණය සඳහා උපයුක්ත වන්නේ ග්රොටව්ස්කි විසින් අනුදත් නිදහස්වාදී රංග රීතියයි. එය උපරිමයම මෙහි භාවිතයට ගැනීම නිසා අපට නළු කැලේ චර්යාවන්හී සැහැල්ලුවක් දැනී යයි. එම සැහැල්ලුව කෙමෙන් තීව්‍ර වන අවස්ථාවලදී නළු කැලේ ස්වීයභාවයක් ද දිස්වේ. මේ රංගය පාසල්වල හා විශ්වවිද්‍යාලවල රඟ දැක්වීමෙන් රංග කලා රුචිකත්වය පිළිබඳ අපූරු කතාබහකට මුල පිරිය හැකි යයි මම තරයේ විශ්වාස කරමි. දෙවැනි වතාවට පෙන්වන ලද ‘සුරූපිය හා මෘග’ දැක ගැනීමට අවස්ථාව ලබාදීම පිළිබඳ මගේ ගෞරවය ජනසන්නිවේදන අධ්‍යයන අංශයම හිමි වේ. සමස්ත රංග කාර්යයම එම අධ්‍යයන අංශය ඉමහත් භක්ත්‍යාදරයකින් වැලඳගෙන ඇති බවක් ද මට හැඟිණ.