සිසු විනය හා දැයේ දියුණුව | සිළුමිණ

සිසු විනය හා දැයේ දියුණුව

“විද්‍යා දදාති විනයං” යන පාඨය බොහෝ වැඩිහිටියනට හුරු පුරුදු ආප්තෝපදේශයකි. ඉන් කියැවෙන්නේ දැනීම හෙවත් ඉගෙනීම විනය (හික්මීම) ලබා දෙන බව ය. විනයගරුක බව සෑම යහපත් පුරවැසියකු තුළ ම දක්නට තිබිය යුතු ලක්ෂණයක් ලෙස සැලකේ.

ආදි භාරතීයයෝ විද්‍යා යන පදයට විවිධ අරුත් කීහ. විද්‍යාව යනු දැනීම, විද්‍යාව (Science), පාණ්ඩිත්වය හෙවත් උගත් බව, දර්ශනය යන අර්ථ ඒ අතරට ප්‍රකට වී ය. තවද ඔවුහු චතුර් විද්‍යාවක් හෙවත් විද්‍යා මාර්ග හතරක් ගැන කථා කළහ. ‘ත්‍රෛයි’ හෙවත් ත්‍රිවේදය ද, ආන්වීක්ෂිකී හෙවත් තර්ක ශාස්ත්‍රය හා පාරභෞතික විද්‍යාව ද, දණ්ඩනීති හෙවත් ආණ්ඩුක්‍රම විද්‍යාව ද, වාර්ත්තා (එනම්, කෘෂිකර්මය, වාණිජ්‍යය, වෛද්‍ය විද්‍යාව ආදී) හෙවත් ප්‍රායෝගික ශාස්ත්‍රයන් ද මෙම විද්‍යා යන පදයෙන් දැක්විණ. එහෙත් පොදු ජන වහරේ විද්‍යාව යනු ඉගෙනීම හෙවත් දැනීම විය. (ශ්‍රීමත් වොනියර් විලියම්ස් ගේ සංස්කෘත - ඉංග්‍රීසි ශබ්ද කෝෂය)

‘වි’ පූර්ව ‘නී’ ධාතුවෙන් නිපදෙන ‘විනේති’ යන ක්‍රියා පදයෙන් කියැවෙන්නේ පළවා හැරීම, ඉවත් කිරීම යන අරුත්වලට අමතරව මඟ පෙන්වීම, පුහුණු කිරීම, උපදෙස් දීම, ඉගැන්වම යන අරුත් ය . (P.T.S. ශබ්ද කෝෂය).

විනය යන පදය හික්මීම, හික්මවීම හෝ හික්මවිය යුතු නීති රීති ද අඟවයි. ඉංග්‍රීසි භාෂාවෙහි විනය සඳහා යෙදෙන Discipline යන පදයෙන් කිසිවකු උගත යුතු විෂය ක්ෂේත්‍රය ද ගැනේ.

ඕනෑ ම කටයුත්තක් කිරීමේ දී ඊට උචිත විනයක්, යෝග්‍ය පිළිවෙළක්, ක්‍රමවේදයක් තිබිය යුතු ය. අතිශය විවිධත්වයකින් යුත් මිනිසුන්ගෙන් පිරි සමාජයක් තුළ ඔවුනොවුන්ගේ කාරණා කටයුතු ගැටීමකින් තොරව කර කියා ගැනීමට හැකිව ඇත්තේ එකී කාර්යයන් ඉටු කිරීමේ දී අනුගමනය කළ යුතු සිරිත්විරිත් හෝ නීති-රීති මාලාවන් තිබීම ය. විනයක් නැති තැන පැවතිය හැක්කේ අවුලක් පමණි. සමාජයක යහපැවැත්ම හුදෙක් ම විනය පාදක කොට ගෙන ඇත. විධිමත් අධ්‍යාපනයේ දී විනයට මුල් තැනක් දෙන්නේ මේ නිසා ය. ගුරුවරයාට පෙර කියන ලද්දේ ශික්ෂකයා හෙවත් සිසුන් ශික්ෂණයෙහි (යහපත් හැසිරීමෙහි) පිහිටුවන්නා යනුවෙනි. ශිෂ්‍යයා යනු විනයෙහි පිහිටවනු ලැබිය යුත්තා ය.

යහපත් මිනිසුන් බිහි කිරීම නො ව, විභාග සමත්වීම හෝ සමත් කරවීම මුල් කොට ගෙන අද ව්‍යවහාර වන අධ්‍යාපනය, දරුවන් යහපත් ශික්ෂණයෙහි (හික්මවීමෙහි) පිහිටුවීමට ආයාසයක් නො ගන්නා තත්ත්වයට පත්ව ඇත.

දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට උපදෙස් දෙන පෙළ පොත් කොතෙක් තිබුණ ද සැබෑ අධ්‍යාපනය හෙවත් දරුවා ඉඳුරන් මඟින් උරා ගන්නා දේ හා කල්පනාවට බඳුන් කර ගන්නා දේ ඔහු ලබන්නේ දෙමාපියන් හා ගුරුවරයා ද අයත් වන තම පරිසරයෙනි.

වත්මනෙහි දරුවන් පොදුවේ ගත් කල අසංවර ලෙස හැසිරෙන බවක් අප දකින්නේ දරුවන්ට පාසල තුළ දී යහපත් සිරිත්-විරිත් කියා නො දෙන නිසා නො ව “පරිසර දූෂණය” නිසා ය. දරුවන් තම අදහස් හා හැඟීම් අකපට ව දැක්වීමට ඉදිරිපත් වන්නේ කුඩා කළ දී පමණි.

ගුරු පුහුණුවේ දී හෝ පොත පතින් කෙසේ කීව ද අපගේ පාසල්වල 6 වැන්නේ පමණ සිට ඉහළට ඉගැන්වීමේ ක්‍රියාවලියේ දී සිසුන්ට විමසා බැලීමට ලැබෙන ඉඩකඩ - නිදහස - ඉතා අල්ප ය. විශාල විෂය ධාරාවක් කෙටි කලකින් සිසුන්ට පෙවීමට සිදුවීම මීට ප්‍රධාන ම හේතුව වේ. ප්‍රශ්න කොට යමක් අවබෝධ කර ගැනීමට මං පාදන ගවේෂණාත්මක අධ්‍යාපන ක්‍රියාවලිය අප පාසල් තුළ ඇත්තේ බොහෝ විට නමට පමණි. නිදහස ඇහුරුණු සමාජයක - පාසලක - අධ්‍යාපනය නිසා සිසුහු ප්‍රබෝධත්වයට පත් නො වෙති.

යහපත - අයහපත ගැන, හොඳ නරක ගැන, පාසලේ දී කුමක් ඉගැන්වුව ද සිසුවා වඩාත් ප්‍රකටව දකින්නේ සමාජය තුළ පවත්නා යථාර්ථය යි. සමාජය තුළ ඇත්තේ එකිනෙකා කවරාකාරයකින් වුව ද යටපත් කරගෙන දුවන තරගයකි. එහි ඇත්තේ කුමන ක්‍රමයකින් හෝ බලයට පත්වන්නා වැජඹෙන ආකාරය යි. බලයට පත්වීමට ධනය අවශ්‍ය වේ. බොරුව සාර්ථකත්වයේ යානය යි. ධනය පිළිගැනීමේ අඩිතාලම යි. කිසිවකු දේශපාලකයකු ලෙස බලයට පත්වුව හොත් ඔහුට කළ නො හැකි දෙයක් නැත. ඒ නිසා දේශපාලකයින් වීමට අසමත් වන්නෝ ද දේශපාලකයන් පසු පස්සේ වැටෙමින් විවිධ බලතල ලබා ගනිති. මෙවන් සමාජයක සදාචාරය ගැන කතා කරන පාසල සොඳුරු ව්‍යාජයකි. පාසල තුළ බොහෝ විට ව්‍යාජ ලෝකයකට දරුවෝ අනුගත කරනු ලබති.

අපේ පාසල්වල උ.පෙළ මට්ටමට එන දරුවන් තුළ ඇත්තේ සමාජය ගැන අනල්ප වූ කලකිරීමකි. පෙර යොවුන් වියේ දී දරුවන් තුළ පවතින නිදහසට ඇති ආශාව, අමුතු දෙයක් (විප්ලවයක්) කිරීමට ඇති තද ඕනෑකම, ඔහු වෙසෙන සමාජය තුළ දක්නට ඇති ඍණාත්මක තත්ත්වයන් හා ගැටෙයි. වැඩිහිටියන් තමන්ට දෙන උවදෙස් අනුව ක්‍රියා කිරීම සිසුනට ඇති මහත් ම හිත්තැවුල වෙයි. එළිපිට පෙන්වීමට අසමත් වුව ද බො‍හෝ දරුවෝ කලකිරීමෙන් ජීවත් වෙති. පාසල් සමාජය තුළ යම් කලබලයක් වූ විට සිසුන් මුදා හරින්නේ ඔවුන් ගේ නව යොවුන් වියේ නෛසර්ගික ජවය පමණක් නොව කාලයක් තිස්සේ උග්‍රවෙමින් පවතින කලකිරීම යි. විවිධ දේ අත්හදා බැලීමට මේ වියේ දරුවන්ට ඇත්තේ පුදුම ආශාවකි.

සිසු අසහනය හෝ අවිනය නැති කිරීමට කුමක් කළ හැකි ද? මීට ඉඳුරා දිය හැකි පිළිතුරක් නැත. සිසු අවිනය බොහෝ හේතු සාධක නිසා ඇති වී තිබෙන්නාක් මෙන් ම මීට යෙදිය යුතු පිළියම් ද විවිධ ය.

සමාජය විසින් සිසු මනස කෙරෙහි ඇති කරනු ලබන නිවැරදි වූ ද ගුරු - ගෝල සබඳතාවක් පවතින්නේ න් පමණී, සිසුනට හරවත් අධ්‍යාපනයක් ලබාදිය හැක්කේ. මේ කටයුත්ත අද අසීරු තත්ත්වයකට පත්ව ඇත්තේ හුදෙක් විභාග ප්‍රතිපල බලාපොරොත්තුවෙන් කරන ඉගැන්වීම් හා මුදල් ඉපැයීම් අපේක්ෂාවෙන් කරන ඉගැන්වීමක් නිසා ය. අද ගුරුකමෙහි යෙදෙන්නෝ ඉතා අල්පය හ. වැඩි දෙනෙක් අද කරන්නේ “ගුරුවරුන් ලෙස වැඩ කිරීම පමණකි”

ගුරුවරුන් ගේ පැවැත්ම (කල්කිරියාව) සිසුන් වෙත බලපානා ආකාරය හා පරිමාණ ගැන කරන ලද කවර හෝ පර්යේෂණයක් ඇත් දැයි මම නො දනිමි. සිසුන් කල අපගේ සිත් සතන් කෙරෙහි විවිධ බලපෑම් ඇති කළ ගුරුවරුන් ගැන සිතන විට අප පොතපතින් උගත් දේට වඩා වටිනා බොහෝ දේ ගුරුවරුන් ඇසුරෙන් හා ඔවුන්ගේ චර්යා නිරීක්ෂණයෙන් ලද බව කිව යුතු ය. වර්තමාන අධ්‍යාපනය දියුණු කිරීමට පරිගණක හා ලැප්ටොප් ගැන කතාබහක් ඉතා ඉහළින් සිදුවන මේ වකවානුවේ දී ශිෂ්‍යයා ගේ පෞරුෂ සංවර්ධනය කෙරෙහි ගුරුවරයා‍ ගේ දායකත්වය අවතක්සේරු නො කළ යුතු ය.

දේශයට පිරිමහින පුරවැසියන් ද දූරදර්ශී පාලකයින් ද බිහි කිරීමේ තෝතැන්න පාසල වන හෙයින් විධිමත් පාසල් පද්ධතිය භාරව සිටින ගුරු මවුවරුන් හා ගුරු පියවරුන්ගේ කාර්යභාරය සෑම විටෙක ම පුළුල් ය, ගැඹුරු ය. ගුරු ජීවිතයට සුවිශේෂී වන මේ ගැඹුරු බව හා පුළුල් බව ඔවුන් ලබන්නේ ස්වකීය ජීවිත දර්ශනය මඟිනි. එහි එක් විශේෂ ලක්ෂණයක් වන්නේ ආදරය හා කරුණාව මුසු වූ පරහිතකාමිත්වයයි. දෙවන කරුණ වන්නේ නිදහස හා විමංසනය යි, ඒ සඳහා සිසුන්ට අවශ්‍ය ඉඩ හසර සලසා දීම යි. තෙවන කරුණ වන්නේ ජීවිතයේ නිෂ්ඨාව වන සතුට තමා තුළ මෙන් ම සෙසු අය තුළ ද උදාකරලීම යි. සැකෙවින් ගත් කල ගු‍රු ජීවිතය අවංක හා අකලංක පරහිතකාමී ජීවිතයකි. ආදර්ශවත් ජීවිතයකින් තොරව ගුරුවරයකුට සැබෑ සාර්ථකත්වයක් උදාකරගත නොහැකි ය. විෂය කරුණු ගැන නොව ජීවත් වීමට අදාළ දේ ගැන කොතෙක් කරුණු කීව ද සිසුවා එය සලකා බලන්නේ කියන්නා ගේ චර්යාවන් ඔස්සේ ය. විෂය ඉගැන්වීමෙන් ද - ආශ්‍රයෙන් ද, ගුරුවරයාගෙන් සිදුවිය යුත්තේ සිසුවාට “ඉගෙනීමට ඉගැන්වීම ය, ස්වශක්තියෙන් ම ප්‍රඥාව පහළකර ගැනීමට ඉඩ හසර සලසාදීම ය.” අතිශය සූක්ෂ්ම වූ ඉගැන්වීමේ මේ සියුම් කලාව උදෙසා පාඨමාලා හෝ නිශ්චිත ගුරූපදේශ පොත් හෝ ලිවීම අසීරු ය. සැබෑ ගුරුකම තම තමන් විසින් උපයාගත යුත්තකි.

පාසල් සිසුන් ගේ විනය පිරිහීමට සැඟවුණු ප්‍රබල තවත් හේතුවක් වේ. එනම්, බොහෝ පාසල්වල පවත්නා ඒකාධිපතිවාදී පාලන ක්‍රමය යි. සැබෑ විදුහල්පතිවරයකු කිසි විටෙකත් පාලකයකු නො ව, සහභාගිත්ව කළමනාකරුවෙකි. මින් කියැවෙන්නේ ඔහු සෑම විටෙක ම පාහේ ගුරු - සිසු - ආදිසිසු - දෙගු‍රු හා විදුහලේ සුභපතන්නන් ගේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කොට බැස ගන්නා තීරණ ක්‍රියාත්මක කරවන්නකු බව යි. අද දියුණු යැ යි කියනු ලබන බොහෝ විදුහල්වල සිදුවන්නේ විදුහල්පතිවරයා ආදි ශිෂ්‍ය සංගමයේ හා ආචාර්ය මණ්ඩලයේ හිතවතුන් කීප දෙනකුගේ අනුග්‍රහය ඇති ව සිදු කෙරෙන අත්තනෝමතික පාලනයකි. පාලනය දැඩි වීම යනු ඇතැම් විට කළමනාකරණ ක්‍රියාවලිය සාවද්‍ය බව අඟවන සාධකයකි.

සැබෑ අධ්‍යාපනය ගැන නිනව්වක් නැති දෙමාපියන්ට තම දරුවා උදේට පාසල් ගොස් සවසට නිරුපද්‍රැතව ගෙදර එන්නේ නම් ඒ හොඳට ම සෑහෙයි. පාසලක සංවර්ධනය සංඛ්‍යාත්මකව මැනීම ප්‍රමාණවත් නැත. පාසලේ සියලු ම දරුවන්ට, තමාට උගන්වන ගුරු මව හෝ ගුරු පියා තමාට ම ඉගැන්වීමට සිටිති යි යන කල්පනාව බිහි වන්නේ නම් ඔහු හෝ ඈ සාර්ථක ගුරුවරයෙකි. එවන් ගුරුවරයකු ගේ සිත රිදවීමට කිසිදු ශිෂ්‍යයෙක්/ශිෂ්‍යාවක් උත්සුක නො වෙයි. බොහෝ දුරට විනය ඉබේ ම ආරක්ෂා වෙයි. යහපත් සිසු විනයක අඩිතාලම ගුරුවරුන් හා සිසුන් අතර වන නිවැරදි සබඳතාව යි.

රජයේ පාසල් පද්ධතියේ දක්නට ලැබෙන විශේෂත්වයකි, ඒ ඒ පාසල මඟින් දියත් කෙරෙන විවිධ විෂය සමගාමී කටයුතු තිබීම. විෂය සමගාමී කටයුතු ලෙස ගැනෙන්නේ “විදුහලේ ශාස්ත්‍රීය අධ්‍යාපනයට අයත් නො වුව ද පාසල විසින් ආරම්භ ‍කොට සිදු කෙරෙන, එහි ජීවයේ අත්‍යවශ්‍ය අංශයක් වන ක්‍රියා සමුදායකි. මීට විවිධ ක්‍රීඩා, පාසල් තූර්යවාදන කණ්ඩායම්, විවිධ සන්නිවේදන කටයුතු ආදිය අයත් වෙයි. අප ගේ පාසල් විසින් විවිධ ක්‍රියාකාරකම් ක්‍රියාවට නැගුණ ද, ඒ පිළිබඳ මනා සැලසුමක් ඇති බවක් නො පෙනේ. නිදසුනක් ගත හොත්, පාසල් දෙකක් අතර ක්‍රිකට් වැනි ක්‍රීඩා තරගක් පැවැත්වෙන කල ඇතැම් විට සිසුන් නීති විරෝධී ලෙස වාහනවල ගමන් කරමින් හා වාහන ධාවනය කරමින් සිදුකරනා ප්‍රජා පීඩාව කවර නම් අධ්‍යාපන සැලසුමක් අනුව කරන ලද්දක් ද? පිරිමි විදුහලක සිසු පිරිසක් කාන්තා විදුහලකට කඩා පනින්නේ එය සදාචාර සම්පන්න ක්‍රියාවක් ලෙස ඔවුන් දක්නා නිසා ද?

යම් විෂය සමගාමී ක්‍රියාවක් සිසුන්ගේ පෞරුෂ වර්ධනයට දායක වෙති යි කිව හැක්කේ එය සංවරශීලී පුරවැසියකුගේ බිහිවීමට හේතු වන්නේ නම් පමණි.

Comments