රටක සාහිත්‍යයට වෙනත් රටක ලොකු බලයක් පතුරවන්න පුළුවන් | සිළුමිණ

රටක සාහිත්‍යයට වෙනත් රටක ලොකු බලයක් පතුරවන්න පුළුවන්

කැලුම් වැලිගම

• ඔබ පුද්ගල සංවර්ධනය පිළිබඳ හා මානව සංවර්ධනය පිළිබඳව ලේඛකයකු මෙන් ම දේශකයකු ද වෙනවා. අපේ රටේ මේ වන විට මේ ක්ෂේත්‍රයේ දේශකයන් හා ලේඛකයන් විශාල ප්‍රමාණයක් සිටිනවා. මෙසේ සමාජය සංවර්ධනය කරා ගෙනයන දේශකයකු සතුව තිබිය යුතු සුදුසුකම කුමක්ද?

සමාජය සංවර්ධනය කරා ගෙන යෑමට විශේෂ සුදුසුකමක් අවශ්‍ය වන්නේ නෑ. එහෙත් ආයතන සමඟ ගනුදෙනු කරනවිට යම් යම් සුදුසුකම් අවශ්‍ය වෙනවා. මා අලෙවි කළමණාකරණය පිළිබඳව උපාධියත්, එංගලන්ත වරලත් අලෙවිකරණ ආයතනයේ අලෙවිකරණ පාඨමාලාවත් ඇතුළු ව වරලත් ගණකාධිකරණ ආයතනයේත් පාඨමාලා හදාරා තිබෙනවා. එහෙත් පුද්ගල සංවර්ධනය කියන පුළුල් විෂයය මේ කියන උපාධි හෝ වෙනත් පාඨමාලා මඟින් හසු කරගැනීම අපහසුයි: ඒ සඳහා වෙන ම ස්වයං අධ්‍යයනයක් කළ යුතුයි. පුහුණු විය යුතුයි. ලෝකයේ සිටින පුද්ගල සංවර්ධන දේශකයන් අධ්‍යයනය කර තිබෙන්නේ ඒ ඒ අයට ආවේණික විවිධ විෂයයන්.

රොබින් ෂර්මා කියන ලෝක ප්‍රකට දේශකයා නීති උපාධිධරයෙක්. එය පුද්ගල සංවර්ධනයට ඍජු බලපෑමක් නෑ. අවශ්‍ය වන්නේ අනෙකා අභිප්‍රේරණය කිරීමට තමා තුළ ඇති වන සැබෑ ආශාවයි. මෙය රැකියාවක් ලෙස කරනවා නම් එය සාර්ථක නැහැ. වෘත්තීය මට්ටමින් මිදී නොමිලයේ මේ සේවාව ලබාදුන් බුදු රජාණන් වහන්සේ, ගාන්ධි තුමා, නෙල්සන් මැන්්ඩලා වැන්නන් මිල කළ නොහැකි පුද්ගල සංවර්ධනයක් කළා. එහෙත් මෙය ආයතනගත වන විට වෘත්තීය මට්ටමක් ඇති වී තිබෙනවා. එහිදී ආකර්ෂණීය ලෙස හා විධිමත් පරිදි සිදු කිරීමට වෘත්තීය මට්ටමක් අවශ්‍ය වෙනවා.

• ඔබ සඳහන් කරන්නේ මේ සඳහා අධ්‍යයනය කළ යුතු විෂයයක් තවමත් නිර්මාණය වී නැති බවයි?

ඔව්. එක් විෂයයක් නැහැ. බොහෝ විෂය පිළිබඳ දැනුම තමයි මේ සඳහා අවශ්‍ය වන්නේ. කෙසේ නමුත් අවසානයේ මිනිස් මනස පිළිබඳව අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වනවා. මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ ව අධ්‍යයනය කිරීමත් මෙහිදී වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේ ම කළමනාකරණය පිළිබඳවත් දැනුම අවශ්‍යයි. අපි කුඩාවට සැලකුවත් ආත්ම විශ්වාසය, පුරුදු සහ බුද්ධිය කියන කාරණා ත්‍රිත්වය තමයි පුද්ගලයා වෙනස් කරන්නේ. එය වෙනස් කිරීම පහසු දෙයක් නෙවෙයි. ඒනිසා මේ වෙනස සිදු කිරීම පිළිබඳ ව පර්යේෂණාගාර තුළ පවා පරීක්ෂණ සිදු වී තිබෙනවා. දේශකයන් මේ පිළිබඳ ව කියවා දැනුම්වත් ව සිටීම වැදගත් වෙනවා.

• පුද්ගල සංවර්ධන දේශන රට පුරා ඕනෑ තරම් සිදුවෙනවා. එහෙත් ඒ තරමට ම පුද්ගල සංවර්ධනයක් සිදුවනවා යැයි ඔබ සිතනවාද?

මා විශ්වාස කරන්නේ දේශනයකට සහභාගි වන සාමාජිකයන්ගෙන් සියයට පහක පමණ ප්‍රමාණයක් තමයි මේ දේ තේරුම් ගන්නේ. එතනදි අසා සිටින පුද්ගලයාටත් වගකීමක් තිබෙනවා අහන දේ ප්‍රායෝගිකව ක්‍රියාවේ යොදවන්න. මේක අපේ හැම ක්ෂේත්‍රයට ම අදාළයි. ඒ නිසා තමයි අපේ රටේ මෙ තරම් අදූරදර්ශී තීරණ ගැනෙන්නේ. අපි ගොඩක් දේ දන්න නමුත් ඒ දේ ක්‍රියාවේ යොදවන්න තරම් කැපකිරීම් අපි කරන්නේ නෑ. ඒක දේශනයේ කියන තරම් ඉක්මනින් වෙන්නේත් නෑ. ඒ සඳහා ඉවසීමක් තිබිය යුතුයි.

• සාහිත්‍යය හා අලෙවිකරණය වෙන් කර හඳුනා ගත යුතු විෂයයන් දෙකක්. ඔබගේ පර්සෝනා නවකතාව සඳහා අලෙවිකරණ උපක්‍රම ගණනාවක් භාවිතා වෙනවා. එ මෙන් ම ඒ නවකතාවේදී ලිංගිකත්වය වැඩි වශයෙන් උලුප්පා දැක්වීමක් සිදුවන්නේත් උලෙවිකරණය ඉලක්ක කරගෙනද?

ලිංගිකත්වය ආදරය කියන කාරණා මිනිසාට බැහැර කරන්න බැහැ. මා ගොඩනගන කතාව පුද්ගල සංවර්ධනය පිළිබඳ කතාවක් නමුත් අලෙවිකරණය සඳහා ලිංගිකත්වය යොදාගැනීම මා අනුමත කරන්නේ නැහැ, වගේ ම යොදා ගන්නේත් නෑ. ලිංගිකත්වය නිර්මාණයකට ඇතුළත් වන විට ම ඒ විදියට කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ලෝකයේ පැවැත්ම වෙනුවෙන් සිදුවන ප්‍රධාන ම දෙයක් වන ලිංගිකත්වය නරකයි කියලා කියන්නේ කොහොමද? කාන්තාවක් මවක් වන්නේත් පිරිමියා පියකු වන්නේත් ඒ දෙයින් නම් ඒක නරක වෙන්නේ කොහොමද? මේ කතාවේ ලිංගිකත්වය තමන්ගේ අරමුණු වෙනුවෙන් පාවිච්චි කරන ගැහැනියක පිළිබඳවයි කතා කරන්නේ. ඒ සංදර්භය තුළ අ‍ෙලවිකරණයක් ඇතුළත් කළේ නෑ. ඒත් කෘතියක් විදියට එය එළිදැක්වීමේදී ඊට අලෙවිකරණ සංකල්ප ඇතුළත් කළා. නවකතාවට ගීතයක් වගේම දැන්වීමක් කළා. එළිදැක්වීම අන්තර්ජාලය ඔස්සේ කළා.

ඒත් ඒ දේවලින් මට විශේෂ අලෙවියක් ලැබුණේ නෑ. අපේ රටේ එවැනි දේ වලින් විශේෂ අ‍ෙලවියක් නොවන බව දැනගෙනමයි මා මේ දේවල් කළේ. මට අවශ්‍ය වුණේ අලුත් මොඩලයක් නිර්මාණය කරන්නයි. පොතක් ලියනවා නම් එය පාඨකයා අතරට රැගෙන යෑම කළ යුතුයි. එහිදී අලෙවිකරණය වැදගත් වෙනවා. එහෙත් අපේ රටේ සාහිත්‍යය හා අලෙවිකරණය අතර සම්බන්ධයේ දුරස්ථ බවකුයි දක්නට ලැබෙන්නේ. පොතක් ලියලා දැන් මගේ වගකීම අවසන් යැයි කියා බලා සිටීම වැදගත් වන්නේ නෑ. පාවුලෝ කොයියෝ වැනි ප්‍රකට ලේඛකයකුගේ මුහුණුපොතකයි අපේ ප්‍රකට ලේඛකයකුගේ මුහුණු පොතකයි මොන තරම් වෙනසක් ති‍ෙයනවාද? ඒ අයගේ මුහුණු පොත තවත් පොතක් වගෙයි.

අපේ අයගෙ තියෙන්නේ ඒ අයගේ දේශපාලන ඉලක්කයි පොඩි ළමයින්ගේ වගේ Like සහ Comment දා ගැනීම් පමණයි. කෙනකුට හිතෙන්න පුළුවන් කොයියෝ වැනි කෙනෙක් අලෙවිකරණයක් කරණවා කියලා. ලේඛකයා අලෙවිකරණය නරක වැඩක් කියලා හිතාගෙන සුචරිතවාදියකු වෙන්න හදනවා නම් ඒක සාර්ථකත්වය නෙවෙයි. මේ නිසා තමයි අපට තවමත් ජාත්‍යන්තරයට විකිණිය හැකි කෘති නිර්මාණය කරගන්න බැරි වී තිබෙන්නේ. අපට හොඳ ලේඛකයන් සිටියත් අපට පාලමක් නෑ. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නැද්ද හැරීපෝටර්ට වඩා හොඳ පොත් ඇයි ඒවා ජාත්‍යන්තරයට නොයන්නේ? අපට පොත් කර්මාන්තයක් නෑ. ඇමරිකාව වැනි රටක හොඳ පොතක් මිලියන ගණනකින් විකිණෙනවා. භාෂා ගණනකට පරිවර්තනය වෙනවා. අපේ හොඳ පොත් රාක්කවල තියෙද්දි අනෙක් පොත් විකිණෙනවා. මේක කර්මාන්තයක් වන තුරු මේ තත්ත්වය විසඳන්න බැහැ.

අපේ බොහෝ දෙනා හිතනවා ජාත්‍යන්තරයට යන්න නම් ඉංග්‍රීසි භාෂාවෙන් ලිවිය යුතුයි කියලා. පාවුලෝ කොයියෝගේ පොත් භාෂා පනස් හයකට පරිවර්තනය වෙනවා. ඒත් ඔහු පොත් ලියන්නේ පෘතුගීසි භාෂාවෙන්.

අපට භාෂාවේ ප්‍රශ්නයක් නෑ. අපේ පොත් පාඨකයා අතට පත් කරන්න තරම් කර්මාන්තයක් නැතිකමයි එක ම ගැටලුව. ඒකට අලෙවිකරණය අවශ්‍යයි. ඒ අලෙවිකරණය පෙතේ මුල් පිටුවට අඩ නිරුවත් රූපයක් දැමීමෙන් හෝ ලිංගිකත්වය ඇතුළත් කිරීමෙන් කරන්න බැහැ. ඊට හොඳ කළමනාකරණයක් අවශ්‍යයි. අපට අඩු ම තරමේ ඉන්දියාවටවත් අපේ පොතක් යවන්න පුළුවන් නම් ඒකෙන් අපේ රටට බලයක් ලැබෙනවා. අපි නොදන්නවා වුණත් රටක සාහිත්‍යයට වෙනත් රටක් තුළ ලොකු බලයක් පතුරවන්න පුළුවන්.

Comments